2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශයන් ද අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් කරන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු වූ කරුණු ද සලකා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිතුමාගේ ද උපදෙස් ලබා ගනිමින්, වෝහාරික විගණනයන් පැවැත්වීමට සැලසුම් යොදන ලදී. මෙම විගණන කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් මගින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල ව, ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් තෝරා ගනු ලැබූ අතර, එම විගණන කණ්ඩායම් සම්පූර්ණයෙන් ම විදේශීය සාමාජිකයින්ගෙන් සමන්විත විය. මෙම ප්‍රසම්පාදනය සඳහා වූ අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිරීක්ෂකයෙකු වශයෙන් විගණකාධිපතිතුමාගේ නියෝජිතවරියක්ද කටයුතු කරන ලදී.















