මූල්‍ය වෙළෙඳපොළ - සමස්ත විග්‍රහය

ණය හා ප්‍රාග්ධනය පිළිබඳ වෙළෙඳපොළ වන මූල්‍ය වෙළෙඳපොළ, මුදල් වෙළෙඳපොළ හා ප්‍රාග්ධන වෙළෙඳපොළ වශයෙන් බෙදා වෙන් කළ හැකි ය.  මුදල් වෙළෙඳපොළ යනු, භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍ර, තැන්පතු සහතික වැනි වසරකට අඩු පරිණත කාලයක් සහිත කෙටිකාලීන පොලී උපයන වත්කම් සඳහා වන වෙළෙඳපොළ යි.  ආර්ථිකය තුළ ද්‍රවශීලතාව කළමනාකරණය සඳහා පහසුකම් සැපයීම මුදල් වෙළෙඳපොළෙහි ප්‍රධානතම කර්තව්‍යය යි. මුදල් වෙළෙඳපොළෙහි ප්‍රධාන නිකුත්කරුවන් ලෙස රජය, බැංකු සහ පෞද්ගලික සමාගම් කටයුතු කරන අතර, ප්‍රධාන ආයෝජකයන් ලෙස රක්ෂණ සමාගම් හා විශ්‍රාම අර්ථසාධක අරමුදල් කටයුතු කරයි.  භාණ්ඩාගාර බැඳුම්කර, පෞද්ගලික ණය සුරැකුම්පත් (බැඳුම්කර සහ ණයකර) හා කොටස් වැනි පරිණත කාලය වසරකට වැඩි වත්කම් අලෙවිය සිදුවන වෙළෙඳපොළ ප්‍රාග්ධන වෙළෙඳපොළ යි. ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි ප්‍රධාන කර්තව්‍යය වනුයේ, දිගුකාලීන අරමුදල් සඳහා පහසුකම් සැපයීම යි.  ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි ප්‍රධාන නිකුත්කරුවන් වනුයේ රජය, බැංකු සහ පෞද්ගලික සමාගම් වන අතර ප්‍රධාන ආයෝජකයන් විශ්‍රාම සහ අර්ථසාධක අරමුදල් හා රක්ෂණ සමාගම් වේ.

භාවිත වන උපකරණවලට අනුව ද, මූල්‍ය වෙළෙඳපොළ, ණය වෙළෙඳපොළ සහ කොටස් වෙළෙඳපොළ ආදී වශයෙන් වර්ග කළ හැකි ය.  ණය වෙළෙඳපොළ, ස්ථාවර ආදායම් සුරැකුම්පත් වෙළෙඳපොළ ලෙස ද හැඳින්විය හැකි අතර, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ (භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර) හා පෞද්ගලික ණය සුරැකුම්පත් වෙළෙඳපොළ (වාණිජ පත්‍ර, පෞද්ගලික බැඳුම්කර සහ ණයකර) එහි කොටස් වේ. ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ යනාදී වශයෙන් තවත් වර්ගීකරණයක් හඳුනාගත හැකි ය.  ප්‍රාථමික වෙළෙඳපොළ වනුයේ කොටස් සහ ණය සුරැකුම්පත් අලුතින් නිකුත් කරන වෙළෙඳපොළ වන අතර, දැනට නිකුත් කර ඇති සුරැකුම්පත් අලෙවි කරන වෙළෙඳපොළ ද්වීතියික වෙළෙඳපොළ යි.

මහ බැංකුව, සිය මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවීම හරහා මූල්‍ය වෙළෙඳපොළෙහි විවිධ ඛණ්ඩවලට වෙනස් ප්‍රමාණවලින් බලපෑම් ඇති කරයි. මුදල් වෙළෙඳපොළෙහි කොටසක් වන අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළට සහ ස්ථාවර ආදායම් සුරැකුම්පත් වෙළෙඳපොළෙහි කොටසක් වන රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික විශාල ලෙස බලපෑම් ඇති කරයි. මුදල් වෙළෙඳපොළට සමීප සබඳතාවක් ඇති අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළ කටයුතුවලට ද මහ බැංකුව මැදිහත් වේ.