ව්‍යවහාර මුදල් කළමනාකරණය

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය ශ්‍රී ලංකා මහබැංකුව සතු වේ. මෙම කර්තව්‍යය සිදුකරනු වස් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිර්මාණය කිරීම, මුද්‍රණය / ටංකනය කිරීම හා බෙදාහැරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇත. ව්‍යවහාර මුදල් කළමනාකරණයේ පරමාර්ථය වන්නේ ව්‍යවහාර මුදල්වල වටිනාකම හා විශ්වාසනීයත්වය ආරක්ෂා කර ගැනීම හා ආර්ථිකයේ මනා ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන, ව්‍යවහාර මුදල් සඳහාවන ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත්වන පරිදි ‍තොග පවත්වාගෙන යාම තුළින් මුදල් පිළිබඳ මහජන විශ්වාසය ගොඩනඟා පවත්වාගෙන යාමයි.

නිර්මාණය කිරීම හා නිෂ්පාදනය කිරීම

කාසි හා නෝට්ටු නව නිකුතුවක් නිර්මාණය කිරීමට මාස කීපයක් ගතවේ. නෝට්ටු/කාසි නිර්මාණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද පුද්ගලයෙකු විසින් හෝ නෝට්ටු මුද්‍රණ ශීල්පීන් හෝ කාසි නිෂ්පාදකයන් මගින් සිදු කෙරේ. මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙන්  එහි වටිනාකම, මෝස්තරය හා නෝට්ටුවේ වෙනත් ලක්ෂණ සඳහාත් කාසියක් සම්බන්ධයෙන් එහි ලෝහය, බර, ප්‍රමාණය, මෝස්තරය, වටිනාකම හා වෙනත් ලක්ෂණ සඳහාත් අනිවාර්යයයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේත් ඊට සමගාමීව මුදල් අමාත්‍යවරයාගේත්  අනුමැතිය ලබාගත යුතු වේ. අනුමැතිය ලද පසු ශ්‍රී ලංකා මහ බැංකුව අදාල ක්‍රියාපටිපාටි හා මඟ පෙන්වීම් වලට අනුගතව මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන/ කාසි ටංකනය කරනු ලබන සමාගමට කොන්ත්‍රාත්තුව භාර දෙනු ලබයි.

බෙදාහැරීම

ශ්‍රී ලංකා මහ බැංකුව මහජන අවශ්‍යතා හා ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් වන අයුරින් කාසි හා නෝට්ටු තොග පවත්වා ගනිමින් සැපයුම් කරනු ලබයි.එම මුදල් නැවත වාණිජ බැංකු තැන්පතු ස්වරූපයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිවිසේ. මෙම මුදල් නෝට්ටු, නෝට්ටු සැකසුම් යන්ත්‍ර හරහා නෝට්ටු හරි වැරදි බැලීම්, ගණනය කිරීම හා වර්ග කිරීම සිදුකෙරේ. භාවිතයට නුසුදුසු නෝට්ටු මෙම ක්‍රියාවලිය තුළදීම කුඩා කොටස්වලට කැපී යයි. භාවිතයට සුදුසු නෝට්ටු නැවත වාණිජ බැංකුවලට නිකුත් කෙරේ. මේසය මත තැබිය හැකි කුඩා ගණක යන්ත්‍ර මගින් ගණිනු ලබන නෝට්ටු ද සංසරණය සඳහා නැවත වාණිජ බැංකුවලට නිකුත් කරන අතර භාවිතයට නුසුදුසු නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනාශ කරනු ලබයි.

පිරිසිදු මුදල් නෝට්ටු  ප්‍රතිපත්තිය

සංසරණයේ පවතින මුදල් නෝට්ටු ඉහළ ගුණාත්මකභාවයෙන් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරිසිදු මුදල් නෝට්ටු  ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ විවිධ වැඩසටහන් පවත්වයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සංසරණයේ පවතින මුදල් නෝට්ටු වල ගුණාත්මකභාවය සතුටුදායක මට්ටමකට වර්ධනය වී ඇත.

මුදල් නෝට්ටු භාවිතයේ හොඳ පුරුදු

• මුදල් නෝට්ටු නැවීමකින් තොරව එහි අගයන්හි අනුපිළිවෙලට මුදල් පසුම්බි තුළ තැබීමෙන් පහසුවෙන් භාවිතා කළ හැකිය.

• තෙතමනය හෝ අධික උෂ්ණත්වය ඇති ස්ථානවල හෝ කෘමින්ගෙන් හානි වන පරිදි නෝට්ටු තැබීමෙන් වළකින්න.

• අපිරිසිදු අත්වලින් නෝට්ටු ඇල්ලීමෙන් වළකින්න.

• මුදල් නෝට්ටු කැපීමෙන්, ඒ මත ලිවීමෙන්, ඇඳීමෙන් ඒවාට හානි කිරීමෙන් හෝ විකෘති කිරීමෙන් වළකින්න.

• සැමවිටම පිරිසිදු මුදල් නෝට්ටු හුවමාරු කිරීම මඟින් ඔබ මුදල් නෝට්ටු වල පිරිසිදුභාවය පිළිබඳව සැළකිලිමත් බව අන් අයට වටහා දෙන්න.

• පිරිසිදු මුදල් නෝට්ටු  භාවිතයෙන් අප රට පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගේ.

 කාසි භාවිතයේ හොඳ පුරුදු

• කාසි සඳහා නියමිත බඳුනක් නිවසෙහි භාවිතා කිරීමට පුරුද්දක් ඇති කරගන්න.

• බස් රථයට මුදල් ගෙවීමේදී මෙම බඳුනේ මාරු කාසි භාවිතා කරන්න.

• වැඩිපුර කාසි ඔබ නිතර භාණ්ඩ මිලදී ගන්නා වෙළඳසැළක් හෝ බැංකුවක් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලය සමඟ හුවමාරු කර ගන්න.

• නිවසේ තැන තැන රැඳී තිබෙන කාසි එකතු කර ඒවා බැංකුවෙහි තැන්පත් කිරීමට  දරුවන්ට පුරුදු කරන්න.

• අනාගතය සාර්ථක කර ගැනීමට  මූල්‍ය විනයේ ඇති වැදගත්කම පිළිබඳව දරුවන් දැනුවත් කරන්න.