ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය

ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ වැඩසටහනකි. මෙය ස්ථාපිත කළේ වර්තමාන හා අනාගත පරපුර සඳහා ශ්‍රී ලංකාව එදා සිට මේ දක්වා පැමිණි වටිනා හා විවිධත්වයෙන් පිරුණු ආර්ථික ගමන් මඟ පිළිබඳ අවබෝධයක් ලබාදීම සඳහා යි. 

වර්තමානයේ, ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරයෙන් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ  ව්‍යවහාර මුදල් කෞතුකාගාරයට අදාළ කටයුතුයි. මෙහි විශාල ප්‍රදර්ශන භාණ්ඩ ප්‍රමාණයක් පවතින අතර ලෝකයේ ව්‍යවහාර මුදල්වල විකාශනය හා වෙනස්වීම, ක්‍රිස්තු පූර්ව තෙවන ශත වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් භාවිතය හා වර්තමානයේ භාවිත වන කාසි හා නෝට්ටු දක්වා වූ ප්‍රදර්ශන භාණ්ඩ මෙහි ප්‍රදර්ශනය කෙරෙයි. අනුරාධපුර, පොළොන්නරු, කෝට්ටේ හා මහනුවර රාජධානි යුගවල භාවිත කෙරුණු කාසි හා නෝට්ටු, ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යවාදී පාලන සමයේ භාවිත වූ ව්‍යවහාර මුදල් සහ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කළ කාසි හා නෝට්ටු විශාල ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. ප්‍රදර්ශනයට තබා ඇති ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යවාදී පාලන සමයේ භාවිත වූ මුදල් වර්ග අතරින් විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් ඒවා ය. එ මෙන් ම, කාසි ටංකනය හා නෝට්ටු මුදුණයට අදාළ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ ප්‍රදර්ශන භාණ්ඩ කිහිපයක් කාසි ටංකනය කිරීමේ හා නෝට්ටු මුද්‍රණය කිරීමේ අයතන විසින් ප්‍රදනය කර ඇත. මුදල් නෝට්ටුවල ආරක්ෂිත සලකුණු පිළිබඳ ව තනි ව ඉගෙනීමට දායක වන උපකරණ හා ව්‍යවහාර මුදල් පිළිබඳ වීඩියෝ පට ද මෙම කෞතුකාගාරයේ ඇතුළත් වෙයි. පාසල් ළමුන්ට හා අනෙකුත් පුද්ගලයින්ට නොමිලේ ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය නැරඔීමේ පහසුකම් පවතී. ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශන මහජනයාට නිකුත් කිරීමට ස්ථාපනය කර ඇති ප්‍රකාශන අලෙවි කවුළුව සඳුදා සිට සිකුරාදා දක්වා (පෝය හා බැංකු නිවාඩු හැර) උදැසන 9.00 සිට සවස 3.00 දක්වා විවෘත ව පවතින අතර සමරු කාසි ආදිය නිකුත් කරන කෞතුකාගාර හා ව්‍යවහාර මුදල් කවුළුව එම දිනවල පස්වරු 5.00 දක්වා විවෘත පවතී. දිවා අහාරය සඳහා දහවල් 1.15 සිට 2.15 දක්වා වසා ඇත.

ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය අංක 54, චැතැම් වීදිය, කොළඔ 01 ලිපිනයේ සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලේ පිහිටා ඇත. මෙම ගොඩනැගිල්ල ඉතා වටිනා ඉතිහාසයකට උරුමකම් කියන අතර ප්‍රථමයෙන් ම මහජනයා වෙත විවෘත වූයේ 1914 වර්ෂයේ දී ය. එවකට කොළඹ නගරයේ පිහිටි උසම ගොඩනැගිල්ල මෙය වූ අතර ගෝලීය රක්ෂණ සමාගමක් වූ නැෂනල් මියුචුවල් ලයිෆ් ඇසෝසියේෂන් ඔෆ් ඔස්ට්‍රලේෂියා ලිමිටඩ්හි කර්යාලය පිහිටි ගොඩනැගිල්ල ද විය. මෙම ඓතිහාසික ගොඩනැගිල්ල කොළඔ කොටුවේ ප්‍රසිද්ධ ඔරලෝසු කණුවට එහායින් පිහිටා ඇති අතර එම ඔරලෝසු කණුව හ්‍රී ලංකාවේ මහාමාර්ග ජාලයේ “සෙන්ට්‍රල් පොයින්ට්”  ලෙස සැලකේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු හා පැරැණි කාසි පිළිබඳ දේශනයකට උද්‍යෝගයෙන් සවන් දෙන පාසල් ළමුන් කණ්ඩායමක්