මුදල් ප්‍රතිපත්තිය
![]() |
![]() |
![]() |
![]() |
![]() |
| සමස්ත විග්‍රහය | ප්‍රතිපත්ති නිවේදන පිළිබඳ විස්තර | ප්‍රතිපත්ති රාමුව | තීරණ ගැනීමේ/සකස් කිරීමේ ක්‍රියාවලිය | දින දර්ශනය | උපකරණ/මෙවලම් | වාර්තා/ප්‍රකාශන | නිතර අසනු ලබන ප්‍රශ්න |
සමස්ත විග්‍රහය
මුදල් ප්‍රතිපත්තිය යනු කුමක්ද ?
මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් මහ බැංකුවක් විසින්, පිරිවැය (එනම්, පොලී අනුපාතිකය) සහ මුදල් ප්‍රමාණය (එනම්, මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලිය යි.
ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය වන අතර, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තීරණය කිරීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ. මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්‍රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි. එබැවින්, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය භාවිත කරනු ලබයි.
මිල ස්ථායීතාව
මිල ස්ථායිතාව යනු ආර්ථිකයේ පොදු මිල මට්ටමේ පුළුල් උච්චාවචනයන් නොමැති තත්ත්වයක් වන අතර එය තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට උපකාරී වේ. මිල ගණන් අඩු වේගයකින් උච්චාවචනය වන විට, කුටුම්භ සහ ව්‍යාපාර ආදී ආර්ථික නියෝජිතයින්ගේ ආර්ථික තීරණ කෙරෙහි ඉන් සැලකිය යුතු බලපෑමක් ඇති නොකරයි. තව ද, මිල ස්ථායිතාව මහජනතාවගේ උද්ධමන අපේක්ෂා වඩා හොඳින් පාලනය කිරීමට උපකාරී වන අතර, එමගින් සැබෑ උද්ධමනය අඩු සහ ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම පහසු කරවයි. එබැවින්, ස්ථාවර මිල ගණන් මගින් නිෂ්පාදනය කළ යුත්තේ කුමක්ද සහ නිෂ්පාදනය කරන්නේ කෙසේද යනාදී ආර්ථික තීරණ මත අනිසි බලපෑම් ඇති නොවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ සම්පත් කාර්යක්ෂම ව බෙදා හැරීමට උපකාරී වෙමින් දිගු කාලීන ව ආර්ථික ස්ථායිතාව සහ ආර්ථිකයේ තිරසාර වර්ධනයට හේතු වේ. ඒ අනුව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව, මහ බැංකුව, දේශීය මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යෑමේ මූලික අරමුණ ඉටු කරගැනීමේ දී, වෙනත් කරුණු අතර, ආර්ථිකය එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වීම ද සැලකිල්ලට ගත යුතු ය.
ප්‍රතිපත්ති නිවේදන පිළිබඳ විස්තර
| නිවේදන අංකය. | රැස්වීම් දිනය | නිවේදනය කරන දිනය | මෙවලම් | මුදල් ප්‍රතිපත්ති වාර්තාව |
| 1 | 2026 ජනවාරි 27 අඟහරුවාදා | 2026 ජනවාරි 28 බදාදා |
|
|
| 2 | 2026 මාර්තු 24 අඟහරුවාදා | 2026 මාර්තු 25 බදාදා | ||
| 3 | 2026 මැයි 25 සඳුදා | 2026 මැයි 26 අඟහරුවාදා |
|
|
| 4 | 2026 ජූලි 21 අඟහරුවාදා | 2026 ජූලි 22 බදාදා |
|
|
| 5 | 2026 සැප්තැම්බර් 29 අඟහරුවාදා | 2026 සැප්තැම්බර් 30 බදාදා |
|
|
| 6 | 2026 නොවැම්බර් 19 බ්‍රහස්පතින්දා | 2026 නොවැම්බර් 20 සිකුරාදා |
|
මුදල් ප්‍රතිපත්ති නිවේදන පිළිබඳ විස්තර - 2025
මුදල් ප්‍රතිපත්ති රාමුව
දේශීය මිල ස්ථායිතාව පවත්වා ගෙන යෑමේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ (Flexible Inflation Targeting) රාමුවට අනුකූල ව මුදල් ප්‍රතිපත්තිය සකස් කිරීම සහ නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ වගකීම දරයි. මෙම නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව මගින් මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකුව අතර ඇති කරගත් මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුම (MPFA) මගින් තීරණය කර ඇති, ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගෙන යෑම අරමුණු කෙරේ. 2023 ඔක්තෝබර් මස 5 වැනි දින රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව මහ බැංකුව විසින් කාර්තුමය මතුපිට උද්ධමනය සියයට 5ක මට්ටමේ පවත්වා ගෙන යා යුතුය.
උද්ධමන ඉලක්කය ළඟා කර ගැනීමේ අරමුණ ඇතිව අපේක්ෂිත දිශානතිය ඔස්සේ කෙටි කාලීන පොලී අනුපාතික මෙහෙයවීම සඳහා මහ බැංකුව සිය ප්‍රතිපත්ති උපකරණ භාවිත කරයි. මුදල් වෙළඳපොළෙහි කෙටි කාලීන පොලී අනුපාතික සඳහා මඟ පෙන්වීමට, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පෙන්නුම් කරනු ලබන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය වන එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR), වරින් වර සමාලෝචනය කර අවශ්‍ය වන්නේ නම් සුදුසු පරිදි වෙනස් කරනු ලැබේ. කෙටි කාලීන මුදල් වෙළඳපොළ පොලී අනුපාතිකයක් වන, බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ මෙහෙයුම් ඉලක්කය ලෙස ක්‍රියාත්මක වේ. තවද, කෙටිකාලීන පොලී අනුපාතික අපේක්ෂිත මට්ටම් කරා මෙහෙයවීම සඳහා දේශීය මුදල් වෙළඳපොළෙහි ද්‍රවශීලතා තත්ත්වයන් කළමනාකරණය කිරීමට විවට වෙළඳපොළ කටයුතු (OMOs) ද පවත්වනු ලැබේ. දෛනික වෙන්දේසියේ දී තම ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වූ සහභාගීවන මූල්‍ය ආයතන සඳහා නිත්‍ය පහසුකම් සපයනු ලැබේ.
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වා දීමට පෙර, නිත්‍ය පහසුකම් අනුපාතික, එනම්, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස ක්‍රියාත්මක විය. ඊට පෙර, මහ බැංකුව මුදල් ඉලක්කකරණය සහ නම්‍යශීලී උද්ධමනය ඉලක්කකරණය යන ක්‍රමවේද දෙකෙහි ම ලක්ෂණවලින් සමන්විත වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුවක් තුළ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ ය. මෙම රාමුව යටතේ උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායිව පවත්වා ගැනීමට මහ බැංකුව ක්‍රියා කළේය. වර්තමානයේ දී මෙන්, බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) මෙහෙයුම් ඉලක්කය ලෙස භාවිත කෙරිණි. 1980 දශකයේ මුල් භාගයේ මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස මුදල් ඉලක්කකරණය අනුගමනය කළ අතර, මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන නාමික විචල්‍ය ලෙස මුදල් සමස්ත යොදා ගනු ලැබිණි. මුදල් ඉලක්කකරණ රාමුව යටතේ මිල ස්ථායිතාව සඳහා බලපාන ප්‍රධාන සාධකය ලෙස මුදල් සැපයුමේ වෙනස්වීම් සලකන ලදී. කෙසේ වෙතත්, මුදල් සැපයුම සහ උද්ධමනය අතර පැවති දුර්වල සම්බන්ධතාවක් මධ්‍යයේ මුදල් ගුණකයේ සහ ප්‍රවේගයේ ඉහළ යන අස්ථාවරත්වය සැලකිල්ලට ගෙන, නාමික විචල්‍යයක් ලෙස මුදල් ඉලක්කවල කාර්යභාරය අවිනිශ්චිත වීම සහ අතර මහ බැංකුවේ සන්නිවේදන උපායමාර්ගය ද සංකීර්ණ වීම හේතුවෙන්, මහ බැංකුවට සිය මුදල් ප්‍රතිපත්ති රාමුව වැඩි දියුණු කිරීම සිදු විය.
|
|
| ශ්‍රී ලංකා මහ බැංකු පනත | මුදල් ප්‍රතිපත්ති රාමුව |
තීරණ ගැනීමේ/ සකස් කිරීමේ ක්‍රියාවලිය

මුදල් ප්‍රතිපත්ති කමිටුව (MPC)
මහ බැංකු පනතේ සඳහන් පරිදි, රටේ මුදල් ප්‍රතිපත්තිය තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම මහ බැංකුව සතු ප්‍රධාන කාර්යයක් වේ. කාලයත් සමග මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සමග, ආර්ථිකය සහ විශේෂයෙන්ම මූල්‍ය අංශය, වඩාත් ශක්තිමත් වී වැඩි දියුණු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මුදල් ප්‍රතිපත්ති නිර්ණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු කාර්යභාරය ද වඩාත් සංකීර්ණ වී ඇත. එබැවින්, මුදල් ප්‍රතිපත්ති විශ්ලේණය සහ සම්පාදනය ශක්තිමත් කිරීම සඳහා වන මහ බැංකු ප්රයත්නයේ කොටසක් ලෙස සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි දියුණු කිරීමේ පියවරක් වශයෙන් 2001 වසර මුල් භාගයේ දී විධිමත් මුදල් ප්‍රතිපත්ති කමිටුවක් පිහිටුවන ලදී.
වර්තමානයේ දී, අධිපතිවරයා විසින් මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සභාපතීත්වය දරන අතර, එය පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත වේ:
සභාපති
- අධිපති
සාමාජිකයින්
- සියලු නියෝජ්‍ය අධිපතිවරු
- ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන සහ වෙළෙඳපොළ මෙහෙයුම් දෙපාර්තමේන්තු පිළිබඳ වගකීම දරන සහකාර අධිපති/අධිපතිවරු
- අධ්යක්ෂ - ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
- අධ්යක්ෂ - සංඛ්‍යාන දෙපාර්තමේන්තුව
- අධ්යක්ෂ - වෙළෙඳපොළ මෙහෙයුම් දෙපාර්තමේන්තුව
- ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ, මුදල් සහ බැංකු කටයුතු අංශය අධීක්ෂණය පිළිබඳ වගකීම දරනු ලබන අතිරේක අධ්යක්ෂ
- මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ලේකම්
- ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මුදල් සහ බැංකු කටයුතු අංශය අධීක්ෂණය පිළිබඳ වගකීම දරනු ලබන නියෝජ්‍ය අධ්යක්ෂ - (විකල්ප ලේකම්, අංශ ප්‍රධානී, මුදල් සහ බැංකු කටයුතු)
දේශීය මිල ස්ථායීතාව සහතික කර ගැනීම යන මහ බැංකුවේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, නැගී එන ආර්ථික වර්ධන සහ සාර්ව ආර්ථික පුරෝකථන ඇගැයීම සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අවධානය පිණිස සුදුසු අනාගත මුදල් ප්‍රතිපත්ති දිශානතීන් පිළිබඳ ව නිර්දේශ ඉදිරිපත් කිරීම මුදල් ප්‍රතිපත්ති කමිටුවේ මූලික කාර්යය වේ.
මුදල් ප්‍රතිපත්ති කමිටුව, විධිමත් කාල පරතරයකින් යුතු ව (වර්තමානයේ දී වසරකට සය වරක්) රැස් වේ. මෙම රැස්වීම්වල දී, මුදල්, විදේශ විනිමය වෙළෙඳපොළ සහ මිල ප්රවණතා පිළිබඳ ව මෙන් ම, රාජ්‍ය මූල්‍ය අංශය, විදේශ අංශය සහ මූර්ත අංශයේ වර්ධනයන් පිළිබඳ ව ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් දෙපාර්තමේන්තු විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා සාමාජිකයින් විසින් සලකා බලනු ලබන අතර, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැකසීමේ දී මුදල් ප්‍රතිපත්ති කමිටුවේ සාකච්ඡා සඳහා එම වාර්තා පාදක වේ. වර්තමානයේ දී, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන තාක්ෂණික විශ්ලේෂණ විශේෂයෙන් ම උද්ධමනය සම්බන්ධ ඇතුළු සාර්ව ආර්ථික පුරෝකථන ද ඇතුළු ව පුළුල් ආර්ථිකය හා මුදල් විග්‍රහයක් මත පදනම් වේ.
පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුව (SEC)
ශ්‍රී ලංකා මහ බැංකුව තුළ මීට පෙර ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව (MPCC) සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව (FSSCC) ප්‍රතිස්ථාපනය කරමින් 2022 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුව ස්ථාපිත කර ඇත. ප්‍රවීණ වෘත්තිකයින්, විද්වතුන් සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයන් ඇතුළු විවිධ අංශවල පාර්ශ්වකරුවන්ගෙන් මෙම කමිටුව සමන්විත වන අතර, ඔවුන්ගේ විශේෂඥ දැනුම් සහ පළපුරුද්ද තුළින් මහ බැංකුවේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
මුදල් ප්‍රතිපත්ති උපකරණ/මෙවලම්
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR)
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) යනු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික යාන්ත්‍රණය යටතේ පවතින (2024 වසරේ නොවැම්බර් 27 සිට බලපැවැත්වෙන පරිදි), මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය යි. එය මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීම සඳහා භාවිත කරනු ලබන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය වේ. මුදල් වෙළෙඳපොළෙහි දිනක දී සිදුවන ගනුදෙනු සඳහා වන මිනුම්දණ්ඩ ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ක්‍රියා කරයි. අපේක්ෂිත උද්ධමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ආර්ථිකයේ පොලී අනුපාතික ව්‍යුහය සඳහා මගපෙන්වීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය කලින් කලට සමාලෝචනය කර, අවශ්‍ය වන්නේ නම් සුදුසු පරිදි වෙනස් කරනු ලැබේ.
විවට වෙළෙඳපොළ කටයුතු (OMOs)
ද්‍රවශීලතා තත්ත්වය කළමනාකරණයට සහ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ හෝ ඒ ආසන්න අගයක කෙටි කාලීන ප්‍රතිපත්ති අනුපාතික පවත්වාගෙන යෑම සඳහා, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් කලින් තීරණය කරන ලද ආන්තිකයක් සමග එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධ කර ඇති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) මගින් සකසනු ලබන නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව (SRC) තුළ සක්‍රීය විවට වෙළෙඳපොළ කටයුතු ක්‍රමය යටතේ මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවයි.
වෙළෙඳපොළ අතිරික්ත ද්‍රවශීලතාවක් පවතී නම් ද්‍රවශීලතාව අවශෝෂණය කර ගැනීමට හෝ ද්‍රවශීලතා හිඟයක් පවතී නම් ද්‍රවශීලතාව සැපයීම සඳහා මහ බැංකුව විසින් විවට වෙළෙඳපොළ කටයුතු පවත්වාගෙන යනු ලබන අතර එමගින් කෙටි කාලීන පොලී අනුපාතික ස්ථාවර ව පවත්වා ගැනීම සිදු වේ. රජයේ සුරැකුම්පත් ස්ථාවර හෝ තාවකාලික පදනම මත මිල දී ගැනීමේ/විකිණීමේ වෙන්දේසි හරහා විවට වෙළෙඳපොළ කටයුතු පවත්වනු ලැබේ. (විවට වෙළෙඳපොළ කටයුතු පැවැත්වීමේ ක්‍රියාවලියේ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න). මෙම වෙන්දේසිය බහු ලංසු, බහු මිල ක්‍රමයක් යටතේ පැවැත්වේ. මුදල් වෙළඳපොළ සහභාගිවන්නන්ට එක් කෙටි කාලීන වෙන්දේසියක දී උපරිම ලංසු තුනක් සහ එක් දිගු කාලීන වෙන්දේසියක දී උපරිම ලංසු හයක් දක්වා ලංසු ඉදිරිපත් කළ හැකි අතර, සාර්ථක වන ලංසු තබන්නන්ට අදාළ ලංසුවේ සඳහන් අනුපාතික යටතේ ඔවුන්ගේ ඉල්ලීම් ලැබෙනු ඇත. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර වන්නේ ද්‍රවශීලතා පුරෝකථනයයි (විස්තර සඳහා පිවිසෙන්න)
විවිට වෙළඳපොළ කටයුතුවලට එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සමග සමපාත ව වෙළඳපොළ පොලී අනුපාතික මෙහෙයවීම අරමුණු කරගත් උපකරණ රාශියක් ඇතුළත් වේ. මෙම උපකරණ අතරට ද්‍රවශීලතා සැපයීම් සහ ඇප සුරැකුම්පත් සහිත ව ද්‍රවශීලතා අවශෝෂණ අයත් වන ප්රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් වෙන්දේසි සහ ද්විතීයික වෙළඳපොළෙන් මහ බැංකුව විසින් රජයේ සුරැකුම්පත් විකිණීම හෝ මිලදී ගැනීම ඇතුළත් වන ස්ථීර පදනම මත වෙන්දේසි ඇතුළත් වේ. වෙළඳපොළ පොලී අනුපාතිකවල ස්ථායි බව සහතික කිරීම සඳහා මෙම සෑම මෙහෙයුමක් ම එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සමග උපායමාර්ගික ව ගළපා ඇති අතර එමගින් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය ශක්තිමත් වේ. එක්දින සහ කෙටි කාලීන ප්රතිමිලදී ගැනීමේ වෙන්දේසිවල ලංසු අනුපාත සඳහා ඉහළ සීමාව ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ක්‍රියා කරන අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) පහළ සීමාව ලෙස ක්‍රියා කරයි. ප්‍රතිවිකුණුම් වෙන්දේසිවල ලංසු අනුපාත සඳහා වන පරාසය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අතර වේ. මහ බැංකුව එක් දින සහ කෙටි කාලීන වෙන්දේසිවල ලංසු අනුපාත මෙම පරාස තුළ උච්චාවචනය වීමට ඉඩ සලසන අතර, ද්‍රවශීලතා ගැළපීම් සඳහා පාලනය කළ, නමුත් නම්‍යශීලී යාන්ත්‍රණයක් සපයයි.
නිත්‍ය පහසුකම්
දෛනික වෙන්දේසිවල දී තම ද්‍රවශීලතා අවශ්‍යතා ලබා ගැනීමට නොහැකි වූ සහභාගීවන මූල්‍ය ආයතන සඳහා නිත්‍ය පහසුකම් භාවිත කළ හැකි ය. උදාහරණයක් ලෙස, විවට වෙළඳපොළ වෙන්දේසියකින් පසුව ද සහභාගිවන්නෙකුට අතිරික්ත මුදල් තිබේ නම්, සහභාගිවන්නාට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) යටතේ නිත්‍ය තැන්පතු පහසුකම හරහා එවැනි අරමුදල් තැන්පත් කළ හැකි ය. ඒ හා සමාන ව, අරමුදල් හිඟයක් පවතින අවස්ථාවක සහභාගිවන්නෙකුට ද්‍රවශීලතාව අවශ්‍ය නම්, සහභාගිවන්නාට නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) යටතේ නිත්‍ය ණය පහසුකම හරහා ප්‍රතිවිකුණුම් පදනම මත අරමුදල් ණයට ලබා ගත හැකි ය. ඒ අනුව, මෙම පහසුකම් එක්දින පොලී අනුපාතිකයන්හි ඇති වන පුළුල් උච්චාවචනයන් පාලනය කිරීමට උපකාරී වේ.
ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව (SRR)
ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව යනු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිය තැන්පතු වගකීම්වලින් මහ බැංකුවෙහි මුදල් තැන්පතුවක් ලෙස පවත්වාගෙන යා යුතු ප්‍රමාණයයි. ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මහ බැංකුව මගින් නිශ්චය කරනු ලබන සංචිත ප්‍රමාණයක් මහ බැංකුවෙහි පවත්වාගෙන යා යුතු වේ. වර්තමානයේ දී ශ්‍රී ලංකා රුපියල්වලින් නම් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන ඉල්ලුම්, කාලීන හා ඉතුරුම් තැන්පතු ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවට යටත් වේ.
මුදල් සැපයුම කෙරෙහි බලපෑම් කිරීම සඳහා අතීතයේ දී ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව බහුල වශයෙන් යොදා ගන්නා ලදී. කෙසේ වෙතත්, වෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්තියට වැඩි වශයෙන් නැඹුරු වීමත් සමග මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව කෙරෙහි යොමු වීම ක්රමානුකූල ව අඩු වී ඇති අතර, එම නිසා ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව පැනවීම හේතුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් දැරිය යුතු වක්රාකාර පිරිවැය ද අඩු වේ. ඒ අනුව, වෙළඳපොළ තුළ අඛණ්ඩ ව පවත්නා ද්‍රවශීලතා ගැටලු විසඳීම සඳහා වර්තමානයේ දී මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව භාවිත කරයි. (ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න).
වෙනත් මුදල් ප්‍රතිපත්ති උපකරණ
මෙම උපකරණවලට අමතර ව, ආර්ථිකයේ අවශ්‍යතා සහ ස්වභාවය මත පදනම් ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය මත ප්‍රමාණාත්මක සීමා කිරීම්, පොලී අනුපාතික මත උපරිම සීමා පැනවීම්, ශිෂ්ට ප්‍රයෝග මෙන් ම, සන්නිවේදනය සහ ඉදිරි මාර්ගෝපදේශ ද භාවිතා කිරීමට මහ බැංකුවට හැකියාව ඇත.
වාර්තා/ප්‍රකාශන
- විනිවිදභාවය
|
|
- වගවීම
- වෙනත්
නිතර අසනු ලබන ප්‍රශ්න
මුදල් ප්‍රතිපත්තිය යනු කුමක්ද?
මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් මුදලේ පිරිවැය (එනම්, පොලී අනුපාතිකය) සහ මුදල් ප්‍රමාණය (එනම්, මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලියකි.
මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම කවුරුන් සතු වේ ද?
ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ වගකිව යුතු ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වේ. 2023 සැප්තැම්බර් 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත බලාත්මක කිරීමත් සමඟ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ ගනු ලබයි.
මහ බැංකුවේ ප්‍රාථමික අරමුණ වන දේශීය මිල ස්ථායිතාව පවත්වා ගෙන යෑම සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ නම්‍යශීලී උද්ධමනයක් ඉලක්ක කොටගත් රාමුව හා අනුකූල ව නම්‍යශීලී විනිමය අනුපාතික පාලනයක් ක්‍රියාත්මක කිරීම යන කාර්යයන් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත පැවරී තිබේ.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත මුදල් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම දරනුයේ අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන මුදල් ප්‍රතිපත්ති කමිටුව (Monetary Policy Committee) විසිනි. නැගී එන ආර්ථික වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථන ඇගයීම සහ දේශීය මිල ස්ථායිතාව තහවුරු කිරීමේ මහ බැංකුවේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සලකා බැලීම සඳහා මුදල් ප්‍රතිපත්තියේ සුදුසු අනාගත දිශානති පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානතම කාර්යභාරය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන මුදල් ප්‍රතිපත්ති රාමුව කුමක් ද?
ආර්ථික වර්ධනයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතරම උද්ධමනය මැදිකාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථායි ව පවත්වා ගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ දී සිය මුදල් ප්‍රතිපත්තිය නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.
රජය සහ මහ බැංකුව අතර ඇතිකර ගත් වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුකරණ ගිවිසුම 2023 ඔක්තෝබර් 05 වන දින රජයේ ගැසට් පත්‍රයෙහි පළ කෙරිණි.
නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යනු කුමක් ද?
නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් යටතේ සිදු කෙරෙන මුදල් ප්‍රතිපත්තිය මගින් මූර්ත ආර්ථිකයට අවම බලපෑමක් ඇති වන පරිදි උද්ධමන ඉලක්කයක් වටා උද්ධමනය ස්ථායි ව පවත්වා ගැනීමට අරමුණු කරයි. වර්තමානයේ දී, මහ බැංකුව සහ මුදල් අමාත්‍යවරයා අතර ඇතිකර ගත් මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුම (ගැසට් නිවේදනය) මගින් තීරණය කර ඇති පරිදි උද්ධමනය සියයට 5ක අගයෙහි පවත්වා ගෙන යෑමේ අරමුණින්, මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවකට අනුකූල ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබයි.
මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිත කරනු ලබන උපකරණ මොනවා ද?
මුදල් ප්‍රතිපත්ති උපකරණ ලෙස භාවිත කළ හැකි උපකරණ රාශියක් මහ බැංකුව සතු ව තිබේ. එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR), විවට වෙළඳපොළ කටයුතු (OMOs), නිත්‍ය පහසුකම් සහ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව (SRR) ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණ වේ. මීට අමතර ව, ණය මත ප්‍රමාණාත්මක සීමා කිරීම්, පොලී අනුපාතික මත උපරිම සීමා පැනවීම් සහ ශිෂ්ට ප්‍රයෝග මෙන් ම, සන්නිවේදනය සහ ඉදිරි මාර්ගෝපදේශ ද භාවිතා කළ හැකි වේ. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු උපකරණ තෝරා ගැනීමේ නිදහස මහ බැංකුව සතු වේ.
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) යනු කුමක් ද?
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය යනු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය යටතේ පවතින මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය යි (2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි). එය මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීම සඳහා භාවිතා කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය වේ. අපේක්ෂිත උද්ධමන මට්ටම ළඟාකර ගැනීමේ අරමුණින් ආර්ථිකයේ පොලී අනුපාතික ව්‍යුහය සඳහා මඟපෙන්වීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මෙම එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය කලින් කලට සමාලෝචනය කර, අවශ්‍ය වන්නේ නම්, සුදුසු පරිදි වෙනස් කරනු ලැබේ.
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වා දීමත් සමඟ 2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස ලෙස සලකනු නොලැබේ. මහ බැංකුවේ නිත්‍ය පහසුකම් සඳහා අදාළ වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් කලින් තීරණය කරන ලද ආන්තිකයක් සමග එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හා සම්බන්ධ කර ඇත. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අන්තර් බැංකු ඒක්ෂණ මුදල් අනුපාතික සඳහා, පිළිවෙළින්, පහළ සීමාව සහ ඉහළ සීමාව ලෙස අඛණ්ඩ ව පවතී.
බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) යනු කුමක් ද?
බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය යනු අන්තර් බැංකු ඒක්ෂණ මුදල් ගනුදෙනුවල එනම් එක් දින පදනමින් වාණිජ බැංකු අතර සුරැකුම් රහිත ව සිදු කරන ගනුදෙනුවල බරිත සාමාන්‍ය පොලී අනුපාතිකයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස මෙම අනුපාතිකය යොදා ගනු ලබයි.
විවට වෙළෙඳපොළ කටයුතු යනු කුමක් ද?
පිළිගත හැකි සුරැකුම්පත් භාවිත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය හා ගැළපෙන පරිදි වෙෙළඳපොළ ද්‍රවශීලතාව පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන වෙෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් කටයුතු විවට වෙළෙඳපොළ කටයුතු ලෙස හැඳින්වේ. රජයේ සුරැකුම්පත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් විවට වෙෙළඳපොළ කටයුතු සඳහා භාවිත කළ හැකි වේ.
පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ කාර්යභාරය කුමක්ද?
පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ප්‍රවීණ වෘත්තිකයන්, විද්වතුන් සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයන් ඇතුළු විවිධ අංශවල පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත වේ. විශේෂයෙන් ම, ආර්ථිකයේ මුදල් සහ මූල්‍ය අංශවල මෙන් ම සමස්ත ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ආර්ථික තත්ත්වයන් සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳ ව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්රයේ අදහස් හා අපේක්ෂා ඉදිරිපත් කිරීම මෙම ඉහළ මට්ටමේ උපදේශන කමිටුවේ මූලික කාර්යභාරය වේ. එසේ ම, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පිළිබඳ ආර්ථිකයේ පාර්ශ්වකරුවන්ගේ දැක්ම අනුව අදහස් දැක්වීම පාර්ශ්වකරුවන්යේ සහභාගිත්ව කමිටුව වෙතින් අපේක්ෂා කරන අතර එමගින් වඩාත් උපදේශනාත්මක ආකාරයකින් දැනුම්වත් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදල් සමස්ත මොනවා ද?
ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන පහත පරිදි වේ;
- සංචිත මුදල්/පදනම් මුදල්/අධිබලැති මුදල් - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඇතුළත් වේ.
- පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ.
- පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු ඇතුළත් වේ.
- පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ.
- පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු ඇතුළත් වේ.
බරිත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR) යනු කුමක්ද? / බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය (AWPR) යනු කුමක් ද?
වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දී ඇති සියලුම නොපියවූ රුපියල් ණය සහ අත්තිකාරම්වල පොලී අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාසිකව බරිත සාමාන්‍ය ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ.
සතියක් තුළ වාණිජ බැංකු විසින් සිය ප්රමුඛ ගනුදෙනුකරුවන් වෙත පිරිනමනු ලබන ණය පොලී අනුපාතික පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ. සතිපතා බරිත සාමාන්‍ය ප්රමුඛ ණය අනුපාතිකවල මාසික සාමාන්‍යය ද ප්‍රකාශයට පත් කරනු ලැබේ.
බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR) යනු කුමක් ද? / බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR) යනු කුමක් ද?
වාණිජ බැංකු වෙතැති සියලු පොලී උපයන රුපියල් තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය පොලී අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය මාසිකව ගණනය කරනු ලැබේ.
වාණිජ බැංකු වෙතැති සියලුම නොපියවූ කාලීන රුපියල් තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය මාසිකව ගණනය කරනු ලැබේ.
බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR) යනු කුමක් ද? / බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR) යනු කුමක් ද?
මාසයක් තුළ වාණිජ බැංකුවල තැන්පත් කර ඇති සියලු ම පොලී උපයන නව රුපියල් තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය පොලී අනුපාතික මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය මාසිකව ගණනය කරනු ලැබේ.
මාසයක් තුළ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දී ඇති සියලු ම නව රුපියල් ණය සහ අත්තිකාරම්වල පොලී අනුපාතික මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය මාසික ව ගණනය කරනු ලැබේ.
නෛතික/වෙෙළඳපොළ පොලී අනුපාතිකය යනු කුමක් ද?
1990 අංක 06 දරන සිවිල් නඩු විධාන (සංශෝධන) පනත යටතේ නෛතික පොලී අනුපාතිකය නිර්වචනය කර ඇති අතර, එය මුදලක් අය කර ගැනීම සම්බන්ධයෙන් වූ ඕනෑ ම නීතිමය ක්‍රියා මාර්ගයක දී අදාළ වේ. 1990 අංක 02 දරන ණය ආපසු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ වෙෙළඳපොළ අනුපාතික නිර්වචනය කර ඇති අතර, එය ණය දෙන ආයතන විසින් වාණිජමය ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ රු.150,000/-කට වඩා වැඩි ණය මුදලක් අය කර ගැනීමේ දී ඒ සඳහා එකඟ වූ පොලී අනුපාතිකයක් නොමැති විටක අදාළ වේ.
ඉදිරි වසර සඳහා බල පවත්වන වෙළෙඳපොළ පොලී අනුපාතිකය සහ නෛතික පොලී අනුපාතිකය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ දෙසැම්බර් මාසයේ දී ගණනය කර ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරනු ලැබේ.
මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර මුදල් ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමේ අරමුණ කුමක්ද?
මුදල් ප්‍රතිපත්ති රාමු ගිවිසුමක් මගින් සාමාන්‍යයෙන් රටක බොහෝ විට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් මෙහෙයවනු ලබන, රජයේ විධිමත් ගිවිසුමක් නියෝජනය කෙරේ. මහ බැංකුව සහ රජය විසින් සහයෝගීව සිදු කරනු ලබන දැඩි කැපකිරීමක් වන, නිශ්චිත උද්ධමන ඉලක්කයක් නිර්වචනය කර ඊට අනුකූල වීම සඳහා ව්‍යුහාත්මක රාමුවක් නිර්මාණය කිරීම එහි මූලික අරමුණ යි. සාර්ව ආර්ථික ස්ථායිතාව අත්කර ගැනීම සඳහා විශ්වාසය ගොඩනැඟීමේ දී සහ මැනවින් පහදන ලද මාර්ගයක් ලබා දීමේ දී මෙම ගිවිසුම මගින් වැදගත් කාර්යභාරයක් සිදු කෙරේ.
රජය සහ මහ බැංකුව අතර ඇතිකර ගත් වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුකරණ ගිවිසුම 2023 ඔක්තෝබර් 05 වන දින රජයේ ගැසට් පත්‍රයෙහි පළ කෙරිණි.
වත්මන් උද්ධමන ඉලක්කය කුමක්ද, උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට මහ බැංකුව අපොහොසත් වී ඇත්නම් එය මැනිය හැක්කේ කෙසේද සහ උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට මහ බැංකුව අසමත් වුවහොත් කුමක් සිදුවේ ද?
කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතය සියයට 5 ඉලක්කයේ පවත්වා ගැනීම වර්තමාන උද්ධමන ඉලක්කය වේ. මෙහි දී, “කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතය” යන්නෙන් අදාළ කාර්තුවේ මාස තුන සඳහා මාසික කොළඹ පාරිභෝගික මිල දර්ශනයෙහි වාර්ෂික ලක්ෂ්යමය ප්‍රතිශත වෙනස්වීම්වල සරල සාමාන්‍යය යන්නෙන් අදහස් වන අතර, “CCPI” යනුවෙන් ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකය අදහස් කෙරේ.
මතුපිට උද්ධමන අනුපාතිකය අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා සියයට 5 ක උද්ධමන ඉලක්කයෙන් සියයට +/- 2 කට වඩා වැඩි ප්‍රමාණයකින් විචලනය වුවහොත්, මහ බැංකුව උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට අසමත් වූ බව සැලකෙයි.
උද්ධමන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට මහ බැංකුව අපොහොසත් වී ඇත්නම්, පහත සඳහන් තොරතුරු සහිත වාර්තාවක් මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මහ බැංකුව බැඳී සිටින අතර, එම තොරතුරු ද මහජනතාවට ලබා දිය යුතු ය.
(අ) උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට අසමත් වීමට තුඩු දුන් හේතු;
(ආ) මහ බැංකුව විසින් ගැනීමට යෝජිත පිළියම් ක්‍රියාමාර්ග කවරේද; සහ
(ඇ) උද්ධමන ඉලක්කය සපුරා ගත යුතු කාල සීමාව පිළිබඳ ඇස්තමේන්තුවක්.


















