මුදල් ප්‍රතිපත්තිය

 

සමස්ත විග්‍රහය

මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව ළඟා කර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් ආර්ථිකයක් තුළ මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියයි.

ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ. ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා  ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්‍රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි. ඒ අනුව, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය භාවිත කරනු ලැබේ.

ආර්ථික සහ මිල ස්ථායිතාව

ආර්ථික සහ මිල ස්ථායිතාව යනු  තිරසාර වර්ධනයක්  ළඟා කර ගැනීමට උපකාරී වන අන්දමින් පොදු මිල මට්ටමේ සිදු වන පුළුල් විචලනයන් අවම මට්ටමක පවත්වා ගැනීම යි. මිල ගණන් අඩු වේගයකින් වෙනස් වන විට ආර්ථිකය තුළ කුටුම්භ සහ ව්‍යාපාරික ආයතන විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති නො කෙරේ. තව ද, මිල ස්ථායිතාව ජනතාවගේ උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට උපකාරී වන අතර, එය සත්‍ය උද්ධමනය අඩු සහ ස්ථායි මට්ටමක පවත්වා ගැනීමට හේතු වේ.  එම නිසා, ආර්ථිකයේ කුමන නිෂ්පාදනයක් කළ යුතු ද, කෙසේ නිපදවිය යුතු ද යනාදී ආර්ථික තීරණ ගැනීමේ දී විකෘතිතාවක් ඇති නො කිරීමට ස්ථායි මිල ගණන් හේතු වන බැවින් දිගුකාලීන ආර්ථික ස්ථායිතාවට හා තිරසාර වර්ධනයට මඟ පෑදෙන සේ සම්පත් කාර්යක්ෂම ව යෙදවිය හැකි වේ.

මුදල් ප්‍රතිපත්ති රාමුව

වර්තමානයේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ (Flexible Inflation Targeting) රාමුවකට අනුකූල ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ආර්ථික වර්ධනයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතර ම උද්ධමනය මැදිකාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ව පවත්වා ගැනීමට අරමුණු කර ගනී. මෙම මුදල් ප්‍රතිපත්ති රාමුවෙහි මෙහෙයුම් ක්‍රියාවලිය සැලකූ විට, කෙටිකාලීන පොලී අනුපාතික මෙහෙයවීම සඳහා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති උපකරණ භාවිත කරනු ලබන අතර, විශේෂයෙන්ම මෙහෙයුම් ඉලක්කය ලෙස බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (Average Weighted Call Money Rate) යොදා ගනී.

මෙම මුදල් ප්‍රතිපත්ති රාමුව භාවිත කිරීමට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ඉලක්කකරණය සහ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය යන ක්‍රමවේද දෙකෙහි ම ලක්ෂණවලින් සමන්විත වැඩිදියුණු කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුවක්  මත පදනම් ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ ය. එම වැඩිදියුණු කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ, උද්ධමනය මැදිකාලීන ව මැදි තනි අගයක ස්ථායී ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව උත්සාහ දරන අතර ම, ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාව පවත්වා ගැනීමට සහ විනිමය අනුපාතික නම්‍යශීලී ව පවත්වා ගැනීම සඳහා සහාය විය. වර්තමානයේ දී මෙන්, මෙහෙයුම් ඉලක්කය ලෙස  බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය භාවිත කරන ලදී.

1980 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති රාමුව ලෙස මුදල් ඉලක්කරණය භාවිතයට ගනු ලැබූ අතර, මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන නාමික විචල්‍ය ලෙස මුදල් සමස්ත යොදා ගනු ලැබිණ. මුදල් ඉලක්කකරණ රාමුව යටතේ මිල ස්ථායිතාව සඳහා බලපානු ලබන ප්‍රධාන සාධකය ලෙස මුදල් සැපයුමේ වෙනස්වීම් සලකන ලදි. ශ්‍රී ලංකාවේ මුදල් වර්ධනය විශ්ලේෂණය කිරීමේ දී සාමාන්‍යයෙන් මුදල් සමස්තවල  ප්‍රධාන නිර්වචන දෙකක් සලකා බලනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ව්‍යවහාර මුදල් සහ මහ බැංකුව වෙතැති වාණිජ බැංකු සතු තැන්පතුවලින් සංයුක්ත සංචිත මුදල් (Reserve Money) පළමු මුදල් සමස්තය වේ. මෙම සංචිත මුදල් යොදා ගෙන  ණය සහ තැන්පතු මැවීමේ ක්‍රියාවලිය තුළින් මුදල් සැපයුමේ පුළුල් නිර්වචනය තුළ අඩංගු එක් සංරචකයක් වන තැන්පතු බිහි කිරීම සඳහා වාණිජ බැංකුවලට පවතින හැකියාව හේතුවෙන් සංචිත මුදල්, පදනම් මුදල් හෝ අධිබලැති මුදල් ලෙස ද හඳුන්වනු ලැබේ. මුදල් සැපයුමට අදාළ දෙවන සංරචකය වශයෙන් පුළුල් මුදල් (Broad Money) හැඳින්විය හැකි අතර, එය මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති මහජනයා සතු තැන්පතුවල එකතුව වේ. මෙම මුදල් සමස්ත අතුරින්, මුදල් සැපයුම සහ පොදු මිල මට්ටම් අතර පවතින සම්බන්ධතාව විශ්ලේෂණය කිරීම සඳහා සුදුසු ම විචල්‍යය වශයෙන් සැලකිය හැකි වන්නේ පුළුල් මුදල් සැපයුම බව අධ්‍යයනවලින් තහවුරු වී ඇත.

මුදල් ගුණකයේ හා මුදලේ සංසරණ ප්‍රවේගයේ උච්චාවචන ඉහළ යෑම මෙන් ම, මුදල් සැපයුම සහ උද්ධමනය අතර පවතින සම්බන්ධතාව දුර්වලවීම හේතුවෙන් නාමික අතරමැදි විචල්‍යයක් ලෙස මුදල් ඉලක්කවල කාර්යභාරය අවිනිශ්චිත බවට පත් වී ඇති අතර, එ මගින් මහ බැංකු සන්නිවේදන උපායමාර්ග ද සංකීර්ණත්වයට පත් ව ඇත. ඒ අනුව, වර්තමානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය වැඩිදියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ මෙහෙයුම් ඉලක්කය ලෙස සංචිත මුදල් වෙනුවට බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය භාවිතා කරනු ලැබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ඉලක්ක ප්‍රසිද්ධ කරනු නො ලැබුව ද,  මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉවහල් වන ප්‍රධාන අතරමැදි දර්ශක විචල්‍යය ලෙස පුළුල් මුදල් සමස්ත තවදුරටත් යොදා ගනු ලබනු ඇති අතර, එය මහ බැංකුවේ වාර්ෂික මුදල් වැඩසටහනේ ද ප්‍රධාන අංගයක් ලෙස පවතී. රාජ්‍ය මූල්‍ය අංශයේ සහ ගෙවුම් තුලනයේ අපේක්ෂිත වර්ධනයන් යනාදී ආර්ථිකයේ අනෙකුත් ප්‍රධාන අංශවල ප්‍රවණතා සැලකිල්ලට ගන්නා අතර ම, අපේක්ෂිත උද්ධමන ඉලක්ක සහ මූර්ත ආර්ථික වර්ධනය සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය අභ්‍යන්තර ප්‍රයෝජනය සඳහා මුදල් වැඩසටහන සකස් කරනු ලැබේ.

උද්ධමනය අපේක්ෂිත‍ මට්ටමේ පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වන මින් පෙර ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය ලෙස හඳුන්වන ලද නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standing Deposit Facility Rate) සහ මින් පෙර ප්‍රතිවිකුණුම් අනුපාතිකය ලෙස හඳුන්වන ලද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (Standing Lending Facility Rate) යන පොලී අනුපාතිකවලින් සමන්විත වූ  පොලී අනුපාතික කොරිඩෝව තුළ විවට වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබයි. උද්ධමනය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීමේ අරමුණින් ආර්ථිකයේ පොලී අනුපාතික ව්‍යුහය හැසිරවීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික අවශ්‍ය පරිදි වරින් වර සමාලෝචනය කිරීම සහ වෙනස් කිරීම සිදු කරනු ලැබේ.

 

මුදල් ප්‍රතිපත්තිය - නිතර අසනු ලබන ප්‍රශ්න