Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 වසරේ මූල්‍ය සාක්ෂරතා මාසයේ ඇරඹුම සනිටුහන් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 ඔක්තෝබර් 08 වැනි දින රාජගිරියේ පිහිටි බැංකු විදු පියසේදී පැවැත්වෙන FinLit Expo – Colombo ප්‍රදර්ශනය සමඟ මූල්‍ය සාක්ෂරතා මාසය – 2026 (FinLit Month) ආරම්භ කෙරේ. දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෙම ජාතික වැඩසටහන, මූල්‍ය දැනුම වර්ධනය කිරීම, වගකීම් සහගත මූල්‍ය හැසිරීම් ප්‍රවර්ධනය කිරීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පැවැත්වේ. මෙම මූල්‍ය සාක්ෂරතා මාසය, ජාතික මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපායමාර්ගය (NFIS) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකීය මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශයට අනුකූලව දියත් කෙරෙන පුළුල් ජාතික වැඩපිළිවෙළෙහි මූලිකාංගයකි.

ශ්‍රී ලංකා මහා බැංකුව 2026 දෙවන භාගය සඳහා වන පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ (SRS) මූලික නිරීක්ෂණ නිකුත් කරයි

2026 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ (SRS) මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්‍ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ අවධානම් පිලිබඳ ආකල්ප හා ඒ කෙරෙහි පවතින විශ්වාසය  ග්‍රහණය කරගනිමින් 2026 ජූලි 17 සිට 2026 අගෝස්තු 14 දක්වා කාලය තුළ සිදු කරන ලදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනයට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ජා.මූ. අරමුදලේ වසර 4ක විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනය පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි අතර, 2026 වසර සඳහා අදාළ IVවන වගන්තිය ප්‍රකාරව උපදේශන සාකච්ඡාව අවසන් කළේය. 

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය ඉදිරි වසර තුන සඳහා 5%ක් ලෙස නිර්ණය කෙරේ

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 වගන්තියට අනුකූලව, 2026 ඔක්තෝබර් 01 වැනි දින මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති, ගරු අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් නව මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ගිවිසුම 2026 ඔක්තෝබර් 01 දිනැති අංක 2508/28 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී නොවෙනස්ව පැවතුණි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 අගෝස්තු මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.0හි නොවෙනස්ව පැවතුණි.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2026 අගෝස්තු

අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ අගෝස්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කළේය. ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය විය. මැද පෙරදිග ගැටුම් උත්සන්න වීම හේතුවෙන් විදේශීය අංශයට බලපෑ පීඩන පිළිබිඹු කරමින්, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 291ක් විය.

Pages