මහ බැංකුවේ අරමුණු
වෙනස් වන ආර්ථික පරිසරයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන්, එහි ස්ථාපනයෙන් පසු මේ දක්වා නැවත සකස් වී ඇත. මහ බැංකුකරණයේ නව ප්‍රවණතාවන්ට අනුකූල ව යමින් ශ්‍රී ලංකා මහ බැංකු අරමුණු නව්‍යකරණය කරන ලද්දේ මුදල් නීති පනත 2002 වර්ෂයේ සංශෝධනය කිරීමෙනි. මෙම සංශෝධනය තුළින් මහ බැංකුවේ ප්‍රධාන අරමුණු ද්විත්වය ළඟා කර ගැනීම සඳහා මුලින් මහ බැංකුවට පැවරී තිබූ බහුවිධ කාර්යයන්වලින් මහ බැංකුව නිදහස් කිරීම සිදු විය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු ප්‍රධාන අරමුණු ද්විත්වය නම්:
"ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගැනීම"
"මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම"
මෙම අරමුණු ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ ඵලදායී සම්පත් සංවර්ධනය දිරිමත් කිරීමට හා ප්‍රචලිත කිරීම උදෙසායි.
මීට අමතර ව, මිල ස්ථායීතාව පවත්වා ගැනීම මහ බැංකුවක මූලික කාර්යය විය යුතු බවට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති විය. මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා ස්ථාවර සාර්ව ආර්ථික තත්ත්වයන් අතිශයින් වැදගත් වන බැවින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු අතරින් එක් අරමුණක් ලෙස ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගැනීම යනුවෙන් නිශ්චිත ලෙස තීරණය කෙරුණි. තව ද, අනෙකුත් රටවල අත්දැකීම් සලකා බැලීමේ දී, මූල්‍ය පද්ධති ස්ථායීතාව ආර්ථිකයක ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී ඇති බැවින්, මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙවන ප්‍රධාන අරමුණ බවට පත් විය. මෙම අරමුණු ද්විත්වය එකිනෙකට සම්බන්ධ හා එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක කෙරේ. මූල්‍ය ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මූල්‍ය අතරමැදියන් (ආයතන) හරහා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන බැවින්, මූල්‍ය පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් කටයුත්තකි. මේ අනුව බලන කළ මෙම අරමුණු ද්විත්වය එකනෙකට ඉතා හොඳින් ගැලපෙන අතර සිය කාර්යයන් වඩාත් කාර්යක්ෂම ව කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට අවස්ථාව ලබා දෙයි. සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට ඉතා ඉහළ ස්වාධීනත්වයක් හිමි වී ඇත. මෙය ඉටුකර ගැනීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ දී මුදල් අමාත්‍යාංශය සමඟ මනා සම්බන්ධයක් පවත්වා ගන්නා අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනාධිකාරිය ලෙස ක්‍රියාත්මක වන මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් එම අමාත්‍යාංශයේ ලේකම් කටයුතු කරනු ලබයි.
ආර්ථික හා මිල ස්ථායීතාව
ව්‍යවහාර මුදලේ අගය මිල ස්ථායිතාව මඟින් ආරක්ෂා කරයි. ඒ දේශීය ව සහ අනෙකුත් ව්‍යවහාර මුදල් මගින් මිල දී ගන්නා දේ අනුව ය. මිල ස්ථායිතාව හෝ මිල ගණන් ස්ථාවර වීම යනු උද්ධමනය පහළ මට්ටමක පැවතීමයි. උද්ධමනය පහළ මට්ටමක පවතින විට ආර්ථිකය හොඳින් ක්‍රියා කරන බව අත්දැකීම් මගින් පෙන්වා දී ඇති අතර එය පහළ මට්ටමක පැවතීම අපේක්ෂා කෙරේ. මෙ වැනි තත්ත්වයන්හි දී පොලී අනුපාතිකය ද පහළ මට්ටමක පවතී. ආර්ථිකයට එහි උපරිම වර්ධනය ළඟා කර ගැනීමටත් ඉහළ සේවා නියුක්තියක් සඳහා උනන්දු කිරීමටත් එ බඳු වාතාවරණයකින් ඉඩ සැලැසේ. උද්ධමනය පාලනය කිරීමට මුදල් ප්‍රතිපත්ති නිර්දේශ මහ බැංකුව උපයෝගී කර ගනී.
මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව
මූල්‍ය පද්ධතියේ (මූල්‍ය ආයතන සහ වෙළෙඳපොළ) ඵලදායී ක්‍රියාකාරිත්වය සහ බැංකු කටයුතු, ව්‍යවහාර මුදල් හා ගෙවුම් ශේෂ අර්බුදවලින් තොර වීම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව යනුවෙන් අදහස් කෙරේ. ස්ථාවර මූල්‍ය පද්ධතියක් මගින් තැන්පත්කරුවන් සහ ආයෝජකයින් සඳහා සතුටුදායක වාතාවරණයක් නිර්මාණය කරන අතර කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයක් ඇති කරයි. තව ද ඵලදායී වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයක් සඳහා පොළඹවීම නිසා, ආයෝජනය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරයි. මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා අවශ්‍ය වන්නේ ස්ථිර සාර්ව ආර්ථික වාතාවරණයක්, ඵලදායී නියාමන රාමුවක්, මනාව සංවිධානය වූ මූල්‍ය වෙළෙඳපොළක්, සුමට ව ක්‍රියා කරන මූල්‍ය ආයතන සහ සුරක්ෂිත හා ශක්තිමත් ගෙවීම් යටිතල පහසුකම් යනාදියයි. මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා ඉවහල් වන්නේ සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතිය තර්ජනවලින් වළක්වාලීම, තර්ජන හඳුනා ගැනීම සහ අවම කිරීම යන කටයුතුයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙය සිදු කරන්නේ වෙළෙඳපොළ හා මූල්‍ය ආයතන පරීක්ෂා කිරීම තුළින්, ගෙවීම් පද්ධතිය අවේක්ෂණය කිරීම සහ අර්බුද නිරාකරණය මගින් ය. මූල්‍ය අස්ථායිතාව ඇති වන්නේ බැංකු බිඳ වැටීම් තුළින්, වත්කම් මිල ගණන්හි අධික වෙනස්වීම් සහ වෙළෙඳපොළ ද්‍රවශීලතාවයේ කඩා වැටීම් හෝ ගෙවීම් පද්ධතියේ අවහිරතා තුළිනි. එම නිසා මහ බැංකුවේ මූලික අරමුණු ද්විත්වය එකිනෙකට සම්බන්ධ වේ. ශක්තිමත් ආර්ථික පද්ධතියක් තුළින් තිරසාර සාර්ව ආර්ථික මූලධර්ම හරහා මූල්‍ය පද්ධති ස්ථායිතාව වර්ධනය කරන අතර ම ශත්තිමත් මූල්‍ය පද්ධියක් හරහා ශක්තිමත් ආර්ථික පද්ධතියක් ද ගොඩ නැංවෙයි.