ශ්‍රී ලංකාවේ මුදල් ඉතිහාසය

ශ්‍රී ලංකාව යනු දීර්ඝ හා ස්වයංපෝෂිත ආර්ථික ඉතිහාසයක් සතු රටකි. එය පිළිබඳව අධ්‍යනය කිරීම අර්ථශාස්ත්‍රඥයින්ට පමණක් නොව සමාජයේ ඕනෑම කෙනෙකුට නිසැකවම වැදගත් වනු ඇත. රටක ඉතිහාසය අධ්‍යනය කිරීමේදී එම රටෙහි විවිධ කාල වකවානු තුළ භාවිතා කරන ලද කාසි ප්‍රධාන අංගයකි. ප්‍රමාණයෙන් කුඩා වුවත් කාසි මත ඇති සළකුණු හා ඒවා හමුවන ස්ථාන අනුව රටක ආර්ථික හා සංස්කෘතික ඉතිහාසය පිළිබඳව වටිනා තොරතුරු ලබා දීමේ හැකියාවක් කාසි වලට ඇත.

ටොලමිගේ ලෝක සිතියමේ ලංකාව ලොකු ඇයි?

ටොලමිගේ ලෝක සිතියමෙන් උපුටා ගැනීමක්

මේ රූපයේ දැක්වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 150 දී පමණ රෝමයේ ජීවත් වූ ටොලමි විසින් අඳින ලද ලෝක සිතියම. ඔහු එය ඇඳ ඇත්තේ ඉතාමත් ම නිවැරදි මාන සහ දිශානතීන්ගෙන් යුක්තව යි. ඒත් මධ්‍යධරණී ප්‍රදේශයත්, යුරෝපය සහ මැද පෙරදිගත් ඉතා ප්‍රශස්ත අයුරින් නිරූපණය කළ ටොලමි සිතියම තුළ ලංකාව දක්වා ඇත්තේ ඉතා විශාල ලෙස. ඒත්  එය අහම්බයක් නොවේ. ඉන් නිරූපණය වෙන්නේ ඔහු ජීවත්වූ කාලයටත් පෙර සිට ම  ලෝකවාසීන් තුළ ලක්දිව කෙරෙහි පැවති පිළිගැනීම යි. භුමිය අයමින් සහ විතරින් කුඩා වුවත් සමස්ත ලෝකය තුළ එයට තිබුණේ ඉහළ වටිනාකමක්. පිළිගැනීමක්. 

අතීතයේ අපේ රට ලෝවැසියන්ගේ අවධානය දිනා ගැනීමට එක් හේතුවක් වුණේ එය ඈත පෙරදිග සිට බටහිරට විහිදුනු මුහුදු සේද මාර්ගයේ හරි මැද පිහිටීම යි. එ මෙන් ම එය ගොඩබිම් සේද මාර්ගයට පිවිසීමේ කවුළුවක් ද වුණා. බටහිරින් ද නැගෙනහිරින්ද පැමිණි වෙළෙන්දෝ, දේශ ගවේෂකයෝ හමුවුණේ මේ බිමේ දී. මේ බිම ඔවුනට වෙළෙඳ මධ්‍යස්ථානයක් වුණා. ඒ පිළිබඳව බොහෝ තොරතුරු ග්‍රීක, රෝම  සහ චීන ලේඛකයන් රැසක් විසින් දක්වා තිබෙනවා. 

ඒ කරුණුවලින් හෙළිදරව් වෙන්නේ ලක්බිමෙහි ආර්ථික ඉතිහාසය යි. එකල ලංකාවේ ඉංජිනේරු ශිල්පය සහ කෘෂිකර්මාන්තය ඉතාමත් ම දියුණු මට්ටමක පැවති බව දැවැන්ත වාපි කර්මාන්ත පිළිබඳ ව අවධානය යොමුකරන විට පැහැදිලි වෙනවා. එපමණක් නොවෙයි; එයට සමගාමී ව ලක්දිව දියුණු වෙළෙඳාම් රටාවක් ද ක්‍රියාත්මක ව තිබුණා. 

 

ඒ පිළිබඳ ව තොරතුරු සෙල් ලිපි, වංශ කතා, පැරණි ලිපි ලේඛන හා වෙනත් පුරා විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ලබාගත හැකි යි. මේ සාක්ෂි අතර කාසි සහ සෙල් ලිපිවලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. අතීත ශ්‍රී ලංකාවේ වෙළෙඳ ආර්ථිකය පිළිබඳ හඳුනාගත හැකි දේශීය මූලාශ්‍ර වන කාසි සහ සෙල් ලිපි විශාල ප්‍රමාණයක් දිවයිනෙහි නොයෙකුත් ප්‍රදේශවල විසිරී පවතිනවා. දේශීය මූලාශ්‍රවලට අමතර ව ඉහතින් ද සඳහන් කරන ලද පරිදි දේශාටකයින්ගේ හා වෙළෙන්දන්ගේ වාර්තාවලින් ද අතීත ලංකාවේ වෙළෙඳ ආර්ථිකය පිළිබඳ කරුණු රැසක් හෙළිදරව් වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳ කතා පුවත ගොඩ නැංවීමට මේවායින් ලැබෙන්නේ ඉමහත්  පිටිවහලක්.

ශ්‍රී ලංකාවේ මුදල් භාවිතය පහත සඳහන් කාල සීමාවන් වලට බෙදා වෙන් කළ හැක. 

  1. අනුරාධපුර යුගය 
  2. පොළොන්නරු රාජධානි සමයේ සිට කෝට්ටේ රාජධානිය දක්වා
  3. මහනුවර යුගය
  4. යටත් විජිත යුගය 
  5. පශ්චාත්-නිදහස් අවධිය, ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ දා සිට

 

අනුරාධපුර යුගය 

අනුරාධපුර යුගයේදී භාවිතා කළ කාසි 

කහාපණ

ස්වස්තික කාසි

සිංහ කාසි 

ලක්ෂ්මී දේවිය ඵලක  

රන් කහවණු හෙවත් ලංකේශ්වර කාසි 

රට කාසි 

අනුරාධපුර රාජධානිය (ක්‍රි. පූ. 377 - ක්‍රි. ව. 1017)

පුරාතන ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම රාජධානිය වන අනුරාධපුර රාජධානිය ක්‍රි.පු. 377 පණඩුකාභය රජු විසින් ආරම්භ කරන ලදි. අනුරාධපුර රාජධානි සමයේ වෙළදාම් කටයුතු සහ මුදල් භාවිතය පිළිබඳ බොහෝ තොරතුරු සෙල්ලිපි වලින් හෙළිදරවු වෙනවා. එකල කාසි නිෂ්පාදනය හා බෙදාහැරීම ඉතාමත්ම විධිමත් පදනමක් මත සිදුකර තිබෙන බව ඒවායින් පැහැදිලියි. කාසි නිෂ්පාදනය සම්බන්ධ අධ්‍යක්ෂ එවකට හැඳින්වූයේ රූපදක යනුවෙන් (පෙරියකඩු විහාර සෙල්ලිපිය). එමෙන්ම නිෂ්පාදනය කරන ලද කාසි අනුමත කළ තැනැත්තා  හැඳින්වූයේ රූපවාපර නමින් (කදුරු වැව සෙල්ලිපිය).

මූලාශ්‍රයශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

කහාපණ

 

කහාපණ ඵලක

දිවයිනේ මුලින් ම හඳුනා ගත් ව්‍යවහාර මුදල් ඒකකය කහපණ ලෙස සඳහන් කෙරේ. ඒවා සංස්කෘත භාෂාවෙන් පුරාණ ලෙස ද ඉංග්‍රීසි බසින් එල්ඩින්ග්ස් ‍ලෙස ද හැඳින් වේ. කාසියේ එක් පැත්තක හෝ දෙපැත්තේ ම කොටා තිබුණු සලකුණු හෝ සංකේත හේතුවෙන් හස්එබු කරන ලද කාසි වශයෙන් ඒවා ප්‍රචලිත ව ඇත. කහපණ නිර්මාණය කර ඇත්තේ මිටියකින් තලන ලද තහඩුවකින් ලෝහ තීරු කැපීමෙන් ලෙසට සලකනු ලබයි. මෙම කාසි වටකුරු, චතුරස්‍රාකාර, සෘජුකෝණාශ්‍රාකාර හෝ දිගැටි ආදී විවිධ හැඩවලින් යුක්ත වේ. ඒවායේ බර එකිනෙකට සම කරනු ලැබ ඇත්තේ කාසියේ මුළු කපා සකස් කිරීමෙනි. කහපණ සාදා ඇති ලෝහය බොහෝදුරට රිදී බවට සොයා ගෙන ඇත.

 

 

 

ඒ අනුව රජය විසින් අනුමත කරන ලද කාසිවල රජයේ මුද්‍රාව තබා ඇති බව දැකිය හැකියි. එම කාසි ව්යවහාරයේ දී එක් එක් අය අතට පත් වූ විට තම තමන්ට විශේෂ වූ විවිධ සලකුණු කාසිය මත සටහන්කර තිබෙනවා. මේ නිසා  එකම කාසිය මත එකිනෙකට වෙනස් සලකුණු රාශියක් තබා ඇති බව දකින්න පුළුවන්. එවන් ඇතැම් කාසියක සලකුණු 20ක් පමණ ඇතුළත් කොට තිබෙනවා. ඉර, හඳ, ඇතා, බල්ලා, ගස ආදිය එම සංකේතවලින් කිහිපයක්. මෙවැනි සංකේත 500කටත් වඩා කහාපණ කාසි මත යොදා ඇති බව හඳුනාගෙන තිබෙනවා. එහෙත් මෙම කාසි මෙරට නිෂ්පාදිත ඒවා නොව ඉන්දියාවේ නිෂ්පාදිත කාසි බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒවා ජාත්‍යන්තර වෙළෙඳාම හරහා ඉන්දීය වෙළෙඳුන් මාර්ගයෙන් මෙරටට ලැබී තිබෙනවා. මෙරට කහාපණ නිෂ්පාදනය කර තිබෙන්නේ එම කාසි අනුගමනය කරමින්.

ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1 සියවස දක්වා කහාපණ කාසි අප රටේ භාවිතා කර තිබෙනවා. අනුරාධපුරය, තොලූවිල, වෙස්සගිරිය, සීගිරිය, බුන්නෑපොළ, දැදිගම, මිනුවන්ගොඩ, උඩවළවේ, අම්බලන්ගොඩ, තිස්සමහාරාමය,  වල්ලිපුරම්, කන්දරෝදෛ, යාපනය, මුලතිව්, මාන්තොට, පදවිය, ත්රීකුණාමලය, ආදී ප්‍රදේශ රැසකින් මෙම වර්ගයට අයත් කාසි සොයා ගෙන තිබෙනවා.

ස්වස්තික කාසි

ඉහතින් විස්තර කෙරුනු,  සලකුණු රැසක් සහිත කහාපණ කාසි විශේෂයට අමතරව අනුරාධපුර සමයේ තවත් කාසි භාවිතයට ගෙන තිබෙනවා. ඇතා සහ ස්වස්තික කාසිය ඒවායින් එකක්.  එය කුඩා තඹ කාසියක්. කහාපණ කාසියෙහි වරින් වර සඳහන් වුණු සලකුණුවලින් තෝරාගත් කිහිපයක් එක මුද්‍රාවකට ගෙන අච්චු ගැසීමක් මෙම කාසිය නිර්මාණයේදී සිදුකර ඇති බව දකින්න පුළුවන්. 

ඇතා සහ ස්වස්තික කාසිය

බෝධිය සහ ස්වස්තිකය

බෝධිය සහ ස්වස්තිකය

කාසියේ එක් පැත්තක ගමන් කරන ආකාරයේ ඇත් රුවක් ද අඩ සඳ ලකුණු තුනකින් සැකසූ දාගැබක් ද ස්වස්තිකයක් ද සතරැස් කොටුවක් සහිත අතු තුනකින් යුත් බෝගසක් ද දක්නට ලැබෙනවා. අනෙක් පැත්තේත් ස්වස්තිකයක්, ත්‍රිශූලයක සටහනක් හා දාගැබක සටහනක් ඇතුළත්. කෙසේ වෙතත් මුදල් ඒකකයක් ලෙස ගත්විට මෙම කාසි ද කහාපණ වර්ගයට අයත් කාසි විය හැකියි.

සිංහ කාසි

සිංහ කාසි

මෙම කාසි නිෂ්පාදනය කර තිබෙන්නේ තඹ ලෝහයෙන්. කාසියේ එක් පැත්තක ඇත්තේ සිංහ රුවක්. අනෙක් පැත්තේ කුඩා තිත් තුනක් හෝ හතරක් දක්නට ලැබෙනවා. එම තිත්වලින් කාසියේ වටිනාකම දක්වා ඇති බව අනුමාන කළ හැකි යි. කාසියේ විශ්කම්භය අඟල් 1/2 – 3/4 පරාසයක පවතින අතර බර ග්‍රේන්ස් 15-40 පමණ වෙනවා.

සිංහ කාසි භාවිතා කර ඇත්තේ ක්‍රි.ව. 3 - 4 සියවස්වලයි.  අනුරාධපුර කැණීම්වලදීත් උතුරු පළාතේ කැණීම්වලදීත් මෙම වර්ගයට අයත් කාසි සොයාගැනීමට හැකිවී තිබෙනවා.

ලක්ෂ්මී දේවිය ඵලක

ක්‍රි.පූ. 3 - ක්‍රි.ව. 8 වැනි සියවස තරම් ඈත කාලයේ යි කාන්තාවකගේ රූපයක් සහිත කාසි ප්‍රථම වරට ලංකාවේ සංසරණය වී තිබෙන්නේ. කාසිවල මුහුණත සිටින කාන්තාව ලක්ෂ්මී දේවිය ලෙසයි සැලකෙන්නේ. එම නිසා මෙම කාසි ලක්ෂ්මී තහඩු කාසි ලෙසින් හැඳින්වෙනවා. මෙම කාසි දෙයාකාරයකින් නිෂ්පාදනය කර ඇති බව දකින්න පුළුවන්. ඒ වාත්තුකර හා තඹ තහඩු මත අච්චු ගැසූ ආකාරයෙන්. කාසිය විවිධ ප්‍රමාණවලින් යුක්තවූ බවකුයි දක්නට ලැබෙන්නේ. ඒ අනුව වාත්තු කළ වර්ගයට අයත් කාසියක දිග අඟල් 1 ¼ ක් සහ  පළල අඟල් ඃ ක් පමණ වෙනවා. කාසි නිෂ්පාදනයේ දී සියයට 60ක් පමණ ඊයම් ද සියයට 15ක් පමණ තඹ ද මුසු කොට තිබෙනවා.

ලක්ෂ්මී දේවිය ඵලක

නෙළුම් මලක් මත සිටින ලක්ෂ්මී දේවිය, මල දෙපසින් පැන නැගි නෙළුම් දඬු දෙකක්  දෑතින් අල්ලාගෙන සිටින සැටිත්, උරහිස දක්වා නැගෙන එම දඬු දෙකෙහි පිපුන නෙළුම් මල් දෙකක් මත හොඬයෙන් පැන් කළයක් බැගින් ගෙන සිටින ඇතුන් දෙදෙනෙකු විසින් ඇය ජලයෙන් ස්නානය කරවන ආකාරයත් දැක්වෙනවා. කාසියෙහි අනෙක් පස ස්වස්තික ලකුණ ද ඇතැම් කාසිවල ස්වස්තික ලකුණ දෙපස ගොනෙකුගේ සහ පැන් කළයක රූප ද දක්නට ලැබෙනවා. මෙම වර්ගයට අයත් සමහරක් කාසිවල ලක්ෂ්මී දේවිය දැක්වෙන්නේ  නෙළුම් මලක් මත වාඩිවී සිටින ආකාරයෙන්.

අනුරාධපුරය, යාපනයේ වල්ලිපුරම්, තිරුකේතිසුවරම් සහ කන්දරෝදෛ, මන්නාරම, මුලතිවු, හලාවත, තිස්සමහාරාමය ආදී විවිධ ප්‍රදේශවලින් මෙම ලක්ෂ්මී තහඩු කාසි සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

රන් කහවණු කාසි හෙවත් ලංකේශ්වර කාසි

ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ සිට 8 වන සියවස දක්වා කාලයේදී පමණ දිවයිනේ සිංහලයන් විසින් නිෂ්පාදනය කරන ලද “කහවනු” නමින් හැඳින්වෙන රන් කාසි වර්ගයක් සංසරණයේ පැවතුනි. 

ඒවා රන් ලෝහයෙන් හා රන් ආලේපිතකොට නිපදවා තිබුණු අතර වටිනාකම අනුව කහවණුව, අඩකහවණුව, දෙ අක හා අක වශයෙන් භාවිතයට ගෙන තිබෙනවා. කාසියේ මුහුණත නෙලූම් දඬුවක් මත සිටුනා රුවකි. එම රූපය දෝ්තියක් වැනි ඇඳුමක් ඇඳ සිටින බවක් දක්නට ලැබෙනවා. උඩුකුරු කොටගත් වම් අතින් මුහුණ දෙසට යම් දෙයක් ඇලකොට අල්ලා සිටිනවා. ඇතැමෙක් අදහස් කරන්නේ කාසියේ මුහුණත ධනයට අධිපති යැයි සැලකෙන කුවේරගේ රූපය ද අනෙක් පස සංඛ හා පද්ම රුව ද සඳහන්වන බව යි.

මේ පිළිබඳව විවිධ මත පවතිනවා. කෙසේ වෙතත් කහවණුවේ මුහුණත සහ පිටුපස රූපවල වමතින් අල්ලා ගෙන සිටින ද්‍රව්‍ය අනුව එම කාසි වර්ග කිහිපයකට බෙදා දක්වන්න පුළුවන්. ඒ; ඉර සහ සඳ, කුසලාන, නෙළුම් මල සහ අඩ සඳ, පිච්ච කැකුළ සහ නෙළුම් මල, ගෝලය සහ වළල්ල, පිච්ච මල සහ හක් ගෙඩිය ලෙස යි.

 

රන් කහවණු 

අනුරාධපුරයට රට කාසි

අතීත ශ්‍රී ලංකාව නාවුක මධ්‍යස්ථානයක් ලෙස හිමිකරගෙන සිටි ස්ථානය පිළිබඳව අනුරාධපුර රාජධානි සමයේ භාවිතයට ගෙන ඇති විදේශ කාසි ද සාක්ෂි දරනවා. එසේ ජාත්‍යන්තර වෙළඳාමේ දී ගනුදෙනු සඳහා යොදාගත් ග්‍රීක, රෝම, චීන, අරාබි සහ ඉන්දියානු කාසි රැසක් අනුරාධපුර, මිහින්තලේ, සීගිරිය, කුරුණෑගල, මාතර, අකුරුගොඩ සහ බදුල්ල යන ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙනවා.

ඉන්දු-ග්‍රීක කාසිය

පල්ලව කාසිය

සැසේනියන් ශපූර් කාසිය

කුෂාන් කාසිය
 

රෝම කාසි

තඹවලින් නිෂ්පාදිත රෝම කාසි වර්ග කිහිපයක් අප රටේ භාවිතාකර තිබෙනවා.  එම කාසි අච්චුගසා තිබෙන්නේ රෝමයේ. දිවයිනේ නොයෙකුත් පළාත්වලින් මෙම කාසි සොයාගැනීමට හැකිවීමෙන් පැහැදිලි වන්නේ එම කාසි බහුලව මෙරට භාවිතයට ගෙන ඇති බව යි. කාසිවලින් විශාල සංඛ්යාවක් අයත් වන්නේ 4 - 5 වැනි ශත වර්ෂවලට. එයින් පැහැදිලි වන්නේ එකල රෝම අධිරාජ්‍යය සහ අප රට අතර විශාල වශයෙන් වෙළෙඳ  කටයුතු කෙරී ඇති බව යි. එමෙන් ම මෙම කාසි බොහෝ සෙයින් භාවිතා කිරීමෙන් ගෙවී ගිය ස්වරූපයක් දක්නට හැකි යි. 

රෝම කාසි - 1

රෝම කාසි - 2

ජාත්‍යන්තර වෙළෙඳාම මාර්ගයෙන් ලැබුනු රෝම කාසිවලට අමතරව අප රටේ ද රෝම කාසි නිෂ්පාදනයකර තිබෙන බැව් දක්නට ලැබෙනවා. එවැනි කාසි විශාල තොගයක් මාතර නාවිමන ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. සිගීරි හා අනුරාධපුර කැණීම්වලින් මෙම දෙවර්ගයට ම එනම් දේශීය වශයෙන් නිෂ්පාදිත රෝම කාසි සහ රෝම අධිරාජ්‍යයේ නිෂ්පාදිත රෝම කාසි සොයාගැනීමට හැකිවී තිබෙනවා. මෙම කාසි දෙවර්ගය අතර දක්නට ලැබෙන ප්‍රධාන වෙනස වන්නේ රෝමයේ නිෂ්පාදිත කාසිවල දක්නට ලැබෙන ඉංග්‍රීසි අකුර දේශීය වශයෙන් නිෂ්පාදිත කාසිවල දක්නට නොලැබීම යි. ඒ වෙනුවට නොයෙකුත් හැඩයෙන් යුත් ඉරි කැබලි කාසිවල ඇතුළත් කොට තිබෙනු දක්නට පුළුවන්.

චීන කාසි

මෙම කාසි තඹ හා තඹ බහුල මිශ්‍ර ලෝහවලින් සාදා තිබෙනවා. එක් එක් යුගවල දී නිෂ්පාදනයකර ඇති කාසි විවිධ ප්‍රමාණවලින් යුක්ත යි. වෘත්තාකාර හැඩයක් ගත් මෙම කාසි මැද සම චතුරස්‍රාකාර කොටුවක් හිදැසක් ලෙස සාදා තිබෙනවා. එහි පැති හතරේ චීන රූපාක්ෂරවලින් චීන අධිරාජ්‍යයාගේ නම සඳහන්කර තිබෙනු දැකිය හැකි යි. කාසියේ අනෙක් පස කිසිදු රූපසටහනක් හෝ අක්ෂරයක් හෝ දක්නට නැහැ.

චීන කාසි - 1

චීන කාසි - 2


අරාබි කාසි

මෙම කාසි නිෂ්පාදනය කර තිබෙන්නේ තඹ, රිදී ආදී ලෝහවලින්. කාසි වල මුහුණත අරාබි භාෂාවෙන් අභිධාන පාඨ සඳහන්කර තිබෙනවා. කාසියේ අනෙක් පස ඒවා නිපදවන ලද වර්ෂය සඳහන්.

 

පොළොන්නරු රාජධානි සමයේ සිට කෝට්ටේ රාජධානිය දක්වා

පොළොන්නරුව යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා භාවිතා කළ කාසි

මස්ස කාසි

දඹදෙනි කාසි / මධ්‍යකාලීන කාසි 

සිංහ කාසි

සේතු කාසි

පොළොන්නරු රාජධානි සමයේ සිට කෝට්ටේ රාජධානිය දක්වා (ක්‍රි. ව. 1017 - 1597)

පොළොන්නරුව රාජධානි 1017-1070, 1070-1232, දඹදෙනිය 1232-1272, යාපහුව 1272-1293, කුරුණෑගල 1293-1340,  ගම්පොළ 1341-1374 සහ කෝට්ටේ (සීතාවක 1521-1593) 1372-1597 යන රාජධානි මෙම කාලයට අයත් වේ. ක්‍රි. ව. 1017 – 1070 කාලයේ ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කරමින් සිටි චෝල රජවරු ද අනුරාධපුර රාජධානි සමයේ අවසන් භාගයේ නිකුත් කරන ලද කහවණුවට සමාන කාසියක් නිකුත් කර තිබෙනවා. එහෙත් එය නිෂ්පාදනය කර තිබෙන්නේ රළු නිමාවකින් යුතුව. නිෂ්පාදනය සඳහා භාවිතා කර තිබෙන්නේ තඹ. මෙම කාසිවල දැකිය හැකි සුවිශේෂ සළකුණක් වුයේ ඒවා නිකුත්කරන ලද පාලකයන්ගේ නම් සඳහන්ව තිබීමයි. එසේ කාසි නිෂ්පාදනයේදී නම් ඇතුළත් කොට නිකුත් කරන ලද පළමුවන දේශීය කාසි වන්නේ මේවායි.

 

මූලාශ්‍රයශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

කාසි වල සඳහන් වූ රජවරුන්ගේ නම්:

රාජරාජ නිස්සංකමල්ල
රාජාධිරාජ චෝඩගංග
රජෙන්ද්‍රදේව ලීලාවතී
පළවන විජයබාහු සහස්සමල්ල
පළවන පරාක්‍රමභාහු ධර්මාශෝක

මස්ස කාසි - 1

මස්ස කාසි - 2

මස්ස කාසි - 3

මස්ස කාසි

චෝල බලය බිඳ දමමින් රට එක්සේසත් කළ සහ පොළොන්නරු රාජධානියේ ආරම්භය සනිටුහන් කළ  පළමුවන විජයබාහු රජු ද කහවණු නිකුත් කළා. ඔහු කාසි නිෂ්පාදනයේ දී ඒවාට තම නම ඇතුළත් කළා. ඒ අනුව කාසිවල සිය නම ඇතුළත් කොට ඒවා නිකුත් කළ පළමු සිංහල රජු වූයේ පළමුවන විජයබාහු රජතුමා යි.  එය හැඳින්වූයේ මස්ස නමින්.

පොළොන්නරු යුගයේ ආරම්භයේ සිට දඹදෙණි යුගය අවසානය දක්වා ම රජුගේ නම යොදා කාසි නිකුත් කිරීමේ මේ පිළිවෙත ක්‍රියාත්මක කෙරුනා. රජවරුන්ගේ නම් දක්වා තිබෙන්නේ නාගරී අක්ෂරවලින්. ඒ අනුව; විජයබාහු යන්න ශ්‍රී විජයබාහු ලෙසත්, පරාක්‍රමබාහු යන්න ශ්‍රී පරාක්‍රමබාහු ලෙසත්, චෝඩගංග යන්න ශ්‍රී චොඩගඟදෙව ලෙසත්, ලීලාවතී යන්න ශ්‍රී රාජ ලීලාවතී ලෙසත්, සහස්සමල්ල යන්න  ශ්‍රීමත් සහසමල්ල ලෙසත්, ධර්මාශෝක යන්න ශ්‍රී  ධර්මාශොකදෙව ලෙසත් බුවනෙකබාහු යන්න ශ්‍රී භුවනෙකබාහු ලෙසත් සඳහන්.  එහෙත්  නිශ්ශංකමල්ල රජුගේ නම සඳහන් වන්නේ ශ්‍රී කලිගලකේජ ලෙසින්.

විජයබාහු හා පරාක්‍රමබාහු යන රජවරුන් විසින් නිකුත් කරන ලද කාසිවල ඔවුන්ගේ නම කෙටීමේ දී ඒවා කීවැනි විජයබාහු රජුගේ කාලයේ, නැතහොත් කීවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ නිකුත් කරන ලදදැයි සඳහන් කර නැහැ. නාගරී අක්ෂරවලින් නම පමණක් එකම ආකාරයෙන් සඳහන් කර තිබෙනවා. එමෙන් ම ලීලාවතී රැජිණ ද කාල පරිච්ෙඡ්ද තුනක දී බලයට පත්ව ඇතත් ඇය විසින් නිකුත් කරන ලද කාසි ද එම කාල පරිච්ඡේදවලින් කිනම් එකක නිකුත්කරන ලද ඒවා දැයි  හඳුනාගැනීමට හැකියාවක් නැහැ.

පොළොන්නරු රාජධානි සමයේ චෝල රජවරුන් වන පළමු වැනි රාජරාජ (ක්‍රි.ව. 985 - 1016), පළමු වැනි රාජේන්ද්‍ර (ක්‍රි.ව. 1012 - 1044) හා පළමුවැනි රාජාධිරාජ (ක්‍රි.ව. 1018 - 1054) විසින් නිකුත් කරන ලද කාසි ද පාණ්ඩ්ය රජවරුන් විසින් නිකුත් කරන ලද කාසි ද භාවිතයට ගෙන තිබෙනවා.ඊට අමතරව චීනයේ සුං පෙළපතේ රජවරුන්ගේ කාසි සහ අරාබි කාසි ද භාවිතයට ගෙන තිබීමෙන් පැහැදිලි වෙන්නේ අනුරාධපුර රාජධානි සමයේ සේ ම පොළොන්නරු  රාජධානි සමයේ ද ලංකාව ජාත්‍යන්තර වෙළෙඳාමේ යෙදී තිබෙන බව යි.

දඹදෙනි කාසි / මධ්‍යකාලීන කාසි

කාසි වල සඳහන් වූ රජවරුන්ගේ නම්:

තුන්වන විජයබාහු   
දෙවන පරාක්‍රමබාහු   
පලවන බුවනෙකබාහු  

සිංහ කාසි – හයවන පරාක්‍රමබාහු

අනුරාධපුර රාජධානි සමයේ අවසන් අවධියේ නිෂ්පාදනයක් ලෙස සැලකෙන රන් කහවණුව පොළොන්නරු අවධියට පිවිසුනේ තඹ කාසියක් බවට පෙරළෙමින්. කොහොම වුනත්, පොළොන්නරු යුගය ආරම්භයේ සිට දඹදෙණි යුගය දක්වා භාවිත කරන ලද කාසි මධ්‍යකාලීන කාසි (දඹදෙණි) ලෙස හඳුන්වනු ලබනවා. දඹදෙණි මස්ස ලෙස හඳුන්වා ඇත්තේ පොළොන්නරු රාජධානි සමයේ නිකුත්කරන ලද මස්ස කාසියම යි. සිංහල මස්ස ලෙසින් හඳුන්වන්නේ ද මෙම කාසියම යි.

මෙම කාසිවල ඇතුළත් රූප සටහන් අනුරාධපුර යුගයේ නිකුත් කර ඇති කාසිවල ඇතුළත් රූපවලට බෙහෙවින් සමාන බවක් දක්නට ලැබෙනවා. කාසියේ එක් පැත්තක දෝතියක් වැනි ඇඳුමක් ඇඳගත් මිනිසෙක් දකුණු පස බලාගෙන සිටින ආකාරයේ රුවක් සඳහන්. තඹවලින් සාදන ලද මස්ස කාසියේත් එම රූප සටහන ම දක්නට ලැබෙනවා. කාසියේ අනෙක් පස ඇත්තේ වාඩිවී සිටින රූපයක්. ඒවගේ ම කාසියේ දෙපස ම නොයෙකුත් ආකාරයේ සලකුණු සහ සංකේත දක්නට ලැබෙනවා.

සිංහ කාසි

හය වැනි පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1412 – 1467) රජුගේ නම සඳහන් කාසියෙහි විශේෂත්වයක් දක්නට ලැබෙනවා. ඒ, කාසියේ මුහුණත ඇති සිටගෙන සිටිනා මිනිස් රූපයට දකුණු පැත්තේ සිංහ රූපයක් ඇතුළත් කොට තිබීම යි. එම කාසි හැඳින්වූයේ සිංහ කාසි නමින්. රජවරුන්ගේ නම් ඇතුළත් කොට නිකුත් කළ කාසි පෙළෙහි අවසන් කාසිය වූයේ  මෙය යි.

සේතු කාසි

මෙම කාසි නිකුත් කර තිබෙන්නේ 13 වැනි සියවසේ දී පමණ යාපනය ප්‍රදේශයේ බලයට පත්ව සිටි ආර්යචක්‍රවර්තී රජු විසින්. මෙය දඹදෙණි මස්සෙහි අණුකරණ කාසියක්. කාසියේ එක් පැත්තක ගවයෙකුගේ රූපයක් ද අනෙක් පස දඹදෙණි මස්ස කාසියේ දක්නට ලැබෙන සිටගෙන සිටින මිනිස් රුවද දක්නට ලැබෙනවා. කාසිය නිපදවා තිබෙන්නේ තඹ වලින්. මෙම කාසි වැඩි වශයෙන් සොයාගෙන ඇත්තේ නල්ලූර්, තින්නවේලි, කෝපායි, සන්දිලිප්පායි, සුන්තූර්, නාගර්කෝවිල් සහ මාන්කුලම් ආදී ප්‍රදේශවලින්.

මහනුවර යුගය

මහනුවර යුගයේදී භාවිතා කළ කාසි 

අඟුටු මස්ස /කොකු කාසි / ලාරින්

දඹදෙනි කාසි 

සල්ලි

ඉන්දියානු වරාගම

තුට්ටුව

පනම

තන්ගම

මහනුවර යුගය (ක්‍රි. ව. 1474 – 1815)

සිංහල රාජතන්ත්‍රයේ අවසාන අගනුවර මහනුවර වේ. ක්‍රි.ව.1474 දී පමණ ඇරඹි මහනුවර රාජධානිය, 1815 මාර්තු 2 දින "උඩරට ගිවිසුම" මඟින් ලංකාවේ ස්වෛරීත්වය ඉංග්‍රීසීන් වෙත පවරා දෙන තුරු ස්වාධීන රාජ්‍යක් ලෙස පැවතුණි. 16 වන සියවසේ සිට 18 වැනි සියවස දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගෙන සිටි පෘතුගීසි හා ලන්දේසි පාලන සමයන් මහනුවර යුගය තුළ දැකගත හැකි විය. "සිංහලේ" හෙවත් කන්ද උඩරට රාජධානියේ භාවිතා වූ මුදල් වර්ග කිහිපයක් ගැන අපේ ඓතිහාසික ලේඛන වල සඳහන්.

 

දහවැනි සියවසේ මසුරන් නම් වූ  රන් කාසි විශේෂයක් භාවිතා වුණා.  එහෙත් රන් ලෝහයේ දුර්ලභත්වය නිසා මෙම කාසිවල තත්ත්වය ක්‍රමයෙන් පහත වැටුණා. 

ඒ අනුව දහතුන් වැනි සියවස වන විට මසුරන් යන නම භාවිතා වුණේ තඹ කාසි විශේෂයකට.

වරාගම කාසිය

රිදී ලාරින් - 1

රිදී ලාරින් - 2

සොළොස් වැනි සියවසේ අවසානය වන විට රිදී (මස්ස) සහ පණම යන රිදියෙන් කළ කාසි දෙවර්ගය භාවිතයට පැමිණියා.  එහෙත් මේ කාලය වන විටත් රන් පණම සහ රන් මස්ස යම් තරමකින් භාවිතයේ තිබුණා.  ඉන් පසුව තන්ගම් මස්ස, පොඩි තන්ගම, රිදිය යන කාසි භාවිතයේ තිබුණා.  ඉන්දියානු වරාගම අපේ රටේ භාවිතයට පැමිණියේ දහ අට වන සියවසේ දී.

තඹවලින් සෑදූ සල්ලි නම් කාසි වර්ගය ද භාවිතා වුණේ මේ කාලයේ දී ම යි.  රිදියක වටිනාකම සල්ලි 64 ක්.  මේ කාලයේ දී ම ලන්දේසි කාසියක් වන ස්ටිවර් (Stuiver) ද කන්ද උඩරට රාජ්‍යයේ භාවිතා වුණා. සිංහලේ අපේ ඇත්තො ඒ කාසි හැඳින්වූයේ තුට්ටු නමින්. මූලාශ්‍රය: උඩරට මහ කැරැල්ල, - ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද

මේ හැරුණු විට මහනුවර රාජධානි සමයෙහි ලාරින්, දඹදෙනි කාසි සහ තන්ගම ආදී කාසි වර්ග රැසක් ගනුදෙනු සඳහා භාවිතා කර තිබෙනවා.

 කෝට්ටේ හා මහනුවර අවධිවල අඟුටුමස්ස හෙවත් කොකු කාසි භාවිතයට ගෙන ඇති අතර එය රිදියෙන් නිමවා තිබුණා. කොක්කක ආකාරයට නිමවා ඇති මෙම කාසි මුලින්ම පර්සියාවේ සිට පැමිණි වෙළෙන්දන් විසින් ගෙන එන්නට ඇතැයි විශ්වාස කරනවා. එය ලාරීන් යනුවෙන්ද හඳුන්වා තිබෙනවා. මහනුවර යුගයේ රජවරුද මෙම කාසි වලට හැඩයෙන් සමාන ආකාරයේ කාසි නිපදවා සංසරණයේ යෙදවූ බව රොබට් නොක්ස් සිය අත්දැකීම් අලලා ලිවූ කෘති වල සඳහන් කර තිබෙනවා.

යටත් විජිත යුගය

අනුරාධපුර, පොළොන්නරු, මහනුවර යනාදී වශයෙන් අප මෙසේ පැරණි ලංකාවේ යුග බෙදා දැක්වුව ද ඒ සෑම යුගයක ම ලංකාව එකම රජ කෙනෙකු යටතේ පාලනය වූයේ නැහැ.  විවිධ අවස්ථාවල ලංකාව විදේශීය ආක්‍රමණවලට ද නතුවුණා. එහෙත් කෝට්ටේ රාජධානි සමය තෙක් ලංකාව ආක්‍රමණය කළෝ වූයේ චෝලයන්. එහෙත් ඒ සෑම කාලයක ම සේද මාවත ඔස්සේ කෙරුණු ජාත්‍යන්තර වෙළෙදාමේ ප්‍රතිලාභ ඔස්සේ කීර්තිය දිනාගැනීමටත් එය රැකගැනීමටත් අපට හැකි වුණා. එහෙත් ක්‍රි.ව. 1453 දී බයිසන්ටයින් අධිරාජ්‍යයේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය බිඳවැටීමත් සමඟ මෙම තත්ත්වය වෙනස් වන්නට වුණා.  යුරෝපීයයන් මහා සමුදුර ඔස්සේ පෙරදිගට මාවතක් සෙවීමට උත්සුක වුණා. සැබැවින් ම ඔවුන් පෙරපර දෙ දිගම ජයගැනීමට සමත් වුණා. ඒ අනුව මුලින්ම පරංගින්ගේ ද දෙවනුව ලන්දේසීන්ගේ ද අවසන ඉංග්‍රීසීන්ගේ  ද අණසකට නතුවීමට අපට සිදුවුණා.

පෘතුගීසි යුගයේදී භාවිතා කළ කාසි

ශාන්තුවර කාසි   තංගම
මලක්කා - රිදී කෘසාඩෝ 
ගිනි මැස්ස - රිදී චක්‍රම්
පනම් (රන් / රිදී) ලාරින්ස්
රන් පගෝදි  

පෘතුගීසි යුගය (1505–1658)

1505 වසරේ ඉන්දියානු පෘතුගීසි රාජ්‍යයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේ ලොරෙන්සෝ ද අල්මේදා ගේ පුත්‍රයා වූ දොන් ෆ්‍රැන්සිකෝ ද අල්මේදා ය. සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ  ලොරෙන්සෝ ද අල්මේදා ඇතුලු පිරිස මුස්ලිම් නෞකාවන් කොල්ලකමින්, ලුහුබඳිමින් සිටි අවස්ථාවක කුණාටුවකට හසුවී ශ්‍රී ලංකාවේ ගාලු පුරවරය ආසන්නයට ගසාගෙන පැමිණි බවයි. කෙසේ වෙතත් මෙවැනි හුදු අහම්බයකින් පමණක් සශ්‍රීක වෙළෙඳ මධ්‍යස්ථනයක් ව පැවැති ශ්‍රී ලංකාව වෙත පෘතුගීසීන් ගේ සූක්ෂම අවධානය යොමු වූ බව සිතීම තරමක් අපහසු ය. පරංගීන් මෙරට මුහුදුබඩ පළාත් සිය අණසකට නතුකර ගැනීමත් සමඟ ක්‍රි.ව. 1506-1658 කාලයේ කාසි වර්ග කිහිපයක් නිකුත් කර තිබෙනු දක්නට පුළුවන්.

 

මලක්කා

මලක්කා කාසිවල එක් පැත්තක ප්‍රතිකාල් රාජ්‍ය ලාංඡනයත් ඒ දෙපස AM හෝ MA හෝ DM හෝ යන අකුරුත් සඳහන්. AM අකුරුවලින් අදහස් කර ඇත්තේ ආසියා මලකාව (Asia Malaca) යන්න. එමෙන්ම MA සහ DM අකුරුවලින් මලකාව (Malaca / De Malaca) ද අදහස් කර තිබෙනවා. කාසියේ අනෙක් පස තංගම යන්න දක්වීමට A සහ T අකුරු යුගල එකක් මත එකක් තිබෙන සේ ඇතුළත් කොට තිබෙනු දක්නට පුළුවන්.

එමෙන්ම කාසියේ එම පැත්තේ එය නිකුත් කළ වර්ෂයද සඳහන්. පරංගීන් මෙම කාසි වර්ගය ලංකාවේ භාවිතය සඳහාම ගෝවෙහි නිෂ්පාදනය කර තිබෙනවා. ඒ නිසා කාසියේ එක් පැත්තක ප්‍රතිකාල් රාජ්‍ය ලාංඡනය සහ ඒ දෙපස GA යන අකුරු දෙකත් කාසියේ අනෙක් පස DS යන අකුරු දෙක එකක් මත එකක් සිටින සේත් ඇතුළත් කර තිබෙනු දැකිය හැකියි. එහි DS යන්නෙන් දක්වා ඇත්තේ ලංකාව (De Seylao) යන්නයි.

 

ගිනි මස්ස ද? ගිනි මැස්ස ද?

ගිනි මැස්ස කාසිය පිළිබඳව සඳහන් කරන බොහෝ දෙනෙක් එය හඳුන්වන්නේ ගිනි මස්ස ලෙසින්. එහෙත් කාසියේ එක් පසෙක ඇති ගිනි මැස්සක සලකුණ නිසා එය හැඳින්විය යුතු වන්නේ් ගිනි මැස්ස නමින්. 

පරංගින් මෙරටට ගොඩ බැස, පෙරළා යෑමට පෙර කොළඹ කුඩා බලකොටුවක් තනවා එය ලෝරන්ස් සාන්තුවරයාගේ නමට කැපකොට තිබෙනවා. එම සාන්තුවරයා මියගොස් තිබෙන්නේ ගිනි මැස්සක් උඩ පිළිස්සීමෙන්. එම සිදුවීම ස්මරණය කිරීම සඳහා යි ගිනිමැස්ස කාසි නිකුත් කර තිබෙන්නේ. එම නිසා මෙම කාසිය බටහිර ජාතීන් මෙරට නිකුත් කළ ප්‍රථම සමරු කාසිය විය හැකියි. ගිනි මැස්ස කාසි ක්‍රි.ව. 1640 තංගම කාසි ලෙසත් ක්‍රි.ව. 1645 දී ද්වී තංගම කාසි ලෙසත් නිකුත් කර තිබේ.

 

සාන්තුවර කාසි

සාන්තුවර කාසි කාණ්ඩයෙහි එක් පැත්තක ප්‍රතිකාල් රාජ්‍ය ලාංඡනය සහ ඒ දෙපස GA යන අකුරුත් අනෙක් පැත්තේ සාන්තුවරයෙකුගේ රූ සටහනක් සහ කාසිය නිකුත් කළ වර්ෂයත් සඳහන්. එමෙන්ම කිනම් සාන්තුවරයා ඉන් නිරූපණය වෙන්නේද යන්න දැක්වීමට රූපය දෙපස ST සහ SF ආදී අකුරු සඳහන්. ඒවායින් සාන්ත තෝමස්, සාන්ත පිලිප් ආදී සාන්තුවරයන් දක්වා තිබෙනවා. 

පෘතුගීසි පාලන සමයේ මෙම කාසි වලට අමතරව කෘසාඩෝ, චක්‍රම්, පනම්, ලාරින්ස් වැනි වෙනත් කාසි වර්ගද ඉන්දියාවේ මෙන් රන් පගෝදි, රන් පනම් සහ රිදී පනම් ද භාවිතයට ගෙන තිබෙනවා.

ලන්දේසි යුගයේදී භාවිතා කළ කාසි

පතාග (Rix Dollar) දොයිතු (Duits)
ඕලන්ද සීලන්ත (Zeelandia) පළාතේ කාසි හොලැන්ඩියාවේ කාසි (Holandia) 
යුට්රැච්ට් (Utrecht) පළාතේ කාසි බටහිර ප්‍රිස්ලන්තයේ කාසි (West freaseland)
ජෙල්ඩර්ලන්තයේ කාසි (Guilderland)  තුට්ටු (Stuivers)

ලන්දේසි යුගය (1658–1796)

ක්‍රි.ව. 1658 ලන්දේසින් විසින් පෘතුගීසින් පලවා හැර ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සිය පාලනයට නතු කරගන්නා ලදී. ප්‍රථමයෙන්ම මඩකලපුව ද (1638), දෙවනුව ගාල්ල ද (1640), 1656 දී කොළඹ හා අවසානයේ යාපනයද (1658) ඔවුන් විසින් සිය පාලනයට නතු කරගන්නා ලදී. 1638 දී මඩකලපුවෙහි පෘතුගීසි කොටුව යටත් කරගැනීමෙන් පසු ලන්දේසින් දෙවන රාජසිංහ රජු (1635 – 1687) සමඟ ගිවිසුමක් ඇතිකර ගෙන ඇත. එහි 14 වැනි වගන්තියේ මුදල් භාවිතය පිළිබඳ රෙගුලාසි රැසක් ඇතුළත් විය. ඒ අනුව රජතුමා විසින් හෝ ඕලන්ද ආණ්ඩුව විසින් හෝ පත් නොකළ කිසිදු අයකුට කාසි අච්චු ගැසීම, සෑදීම, ප්‍රචාරය කිරීම හෝ කාසි අනුව බාල කාසි සෑදීම හෝ සංසරණයට මුදා හැරීම තහනම් කර ඇත.

 

දොයිතු

එකල ගනුදෙනුවල දී වැඩිපුර භාවිතා කළේ දොයිතු (Duits) කාසි යි. මේවා ඉතා කුඩා තඹ කාසි විශේෂයක්. එමනිසා ගනුදෙනුවල දී මෙම කුඩා තඹ කාසි විශාල ප්‍රමාණයක් ගණන් කිරීම පහසුවුණේ නැහැ. එකී අපහසුවෙන් අත් මිදීමට 1737 දී පමණ එවකට භාවිතයට ගැනුනු දොයිතු කාසි 8, 16, 24 බැගින් අමුණා කාසි වැල් ලෙස වටිනාකම තුට්ටු 2, 4, 6 ලෙස ගනුදෙනු සඳහා භාවිතා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහෙත් මෙම පියවර අපේක්ෂා කළ තරම් සාර්ථක වුනේ නැහැ. 18 වන ශත වර්ෂයේ ලන්දේසීන් ඔවුන්ගේ තුට්ටු කාසි ලංකාවේ අච්චු ගැසීමට පටන්ගෙන තිබෙනවා. ලන්දේසීන් ලංකාවේ කාසි අච්චු ගැසූ පළමු වැනි කාර්යාලය 1781 දී පිහිටෙව්වේ කොළඹ කයිමන් දොරකඩ අසලයි.

මෙම කාසි වලට අමතරව රික්ස් ඩොලර් ද මේ කාලයේ ලංකාවේ භාවිතයේ පැවති ලන්දේසි කාසි විශේෂයක්. එය සිංහලෙන් හැඳින්වූයේ පතාග නමින්. මෙය රිදී කාසි විශේෂයක්.

රුපියලේ රිදී කාසියද ලන්දේසීන් විසින් අප රටට හඳුන්වා දුන්නා. එය 1781 දී සහ 1786 දී අච්චු ගසා තිබෙනවා. කාසියේ මුහුණත කොළඹ ඕලන්ද සමාගමේ කාසිය යන්නත් පසුපස ලංකා දිවයිනේ මුදල් යන්නත් අරාබි බසින් සඳහන්. කාසියේ අනෙක් පස නිකුත් කළ වර්ෂය සඳහන්.

C දොයිතුව

හොලන්ඩියා දොයිතු 1/2

යුට්‍රෙච් දොයිතු 1/2

හොලන්ඩියා දොයිතුව

C දොයිතු 1/4

T දොයිතුව

යුට්‍රෙච් දොයිතුව

වෙස්ට් ෆ්‍රිස්ලන්ඩ් දොයිතුව

සීලන්ඩියා දොයිතුව

ඩියුකටූන්

බතාවියන් කාසිය

ලංකා තුට්ටු 1

ලංකා තුට්ටු 2

ලංකා තුට්ටු 3

පළමු බැංකු නෝට්ටුව

ලංකාවේ ලන්දේසි පාලන කාලයේ අවසන් භාගය වන තෙක් ගනුදෙනු සඳහා භාවිතයට ගැනුනේ කාසි. ඒත් 1700 ගණන් අවසන් වේගෙන එද්දී ලන්දේසීන් ගේ ආරක්ෂක වියදම් විශාල ලෙස ඉහළ ගියා. වියදම ආදායම ඉක්මවා ගියේ භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් ම වාගේ හිස් කරමින්. මුදල් නෝට්ටු භාවිතයට පදනම දැමුනේ එවන් පසුබිමක යි.

ඒ අනුව 1785 මාර්තු 19 වැනි දින පතාග 25000 ක් වටිනා නෝට්ටු අච්චු ගැසීමට පියවර ගැනුනා. ලංකාවේ පළමු වැනි නෝට්ටු කාණ්ඩය 1785 මැයි 10 වැනි දින උපත ලැබුවේ ඒ අනුවයි. එම පළමු වැනි නෝට්ටු කාණ්ඩය පතාග 50, 100, 500 සහ 1000 වටිනාකම්වලින් සමන්විත වුණා. ඒත් පසුව පතාග 1, 2, 3, 4, 5,10 නෝට්ටු ද අච්චු ගසා තිබෙනවා. මෙම නෝට්ටු ආණ්ඩුවේ නිලධාරීන් තිදෙනෙකුගේ අත්සනින් යුතු වුණා.

පතාග එකක වටිනාකමට සමාන වූ බැංකු නෝට්ටුව

බ්‍රිතාන්‍යය යුගයේදී භාවිතා කළ කාසි

තාරකා පගෝදි   ෆාර්දීන්  
තුට්ටු පනම්
පතාගය (රිදී කාසිය) රුපියල් භාගය
ඉන්දියානු රුපියල  රුපියල් කාල
දොයිතු  

බ්‍රිතාන්‍යය යුගය (1796–1948)

ප්‍රංශ විප්ලවය, ප්‍රධාන යුරෝපානු රටවල් අතර විශාල අරගලයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර 1796 දී පහසුවෙන් ම ශ්‍රි ලංකාව තුළ ලන්දේසි බලය අභිබවා ගිය බ්‍රිතාන්‍යයන් 1815 දී මහනුවර රාජධානියේ පාලනය ද සියතට ගන්නා ලදී. මේ අනුව ඔවුන් මුළු දිවයිනම පලනය කළ ප්‍රථම යුරෝපානු රට වූයේය. ශ්‍රී ලංකාව 1802 දී කිරීටයට යටත් රාජ්‍යයක් වූ අතර 1818 දී දිවයිනට එකීය පාලනාධිකරියක් පත්කිරීමට පියවර ගනු ලැබීය.

 

ඉංග්‍රීසීන් ගනුදෙනු සඳහා මුලින් ම මෙරට භාවිතා කළ කාසි දෙවර්ගයක් තිබුණා. ඉන් එකක් වූයේ එවකට ඔවුන් මදුරාසියේ භාවිතා කරමින් සිටි තාරකා පගෝදිය නම් රන් කාසිය යි. එය පනම් 45 කට හෝ තුට්ටු 180කට හෝ සම වුණා. අනෙක් කාසිය තඹ කාසි විශේෂයක්. එය 1794 සහ 1797 එංගලන්තයේ අච්චු ගැසූ කාසියක්. වටිනාකම රුපියලෙන් 1/96 සහ 1/48 ක්. එම කාසිවල එක් පැත්තක සඳහන් වූයේ 'United East India Company' යන්න සහ කාසිය අච්චු ගැසූ අවුරුද්ද. අනෙක් පැත්තේ රාජ්‍ය ලාංඡනය සහ කාසියේ වටිනාකම සඳහන්කර තිබුණා.

තුට්ටු 48/1

ඇනා 2

රුපියල් 48/1

ෆනම් ටෝකනය

ෆාතිං

ඔවුන් 1801 දී තුට්ටුව, තුට්ටු 1/2 සහ තුට්ටු 1/4 කාසි නිකුත්කර තිබෙනවා. එම කාසිවල එක් පැත්තක ඇතෙකුගේ රූපයක් සහ නිකුත් කළ වර්ෂයද අනෙක් පස වටේට  Ceylon Government යන්න ද ඒ මැද වටිනාකම ද සඳහන් වුණා.  තුට්ටුවේ කාසියේ වටිනාකම සඳහන් වූයේ 48 ලෙස. තුට්ටු 1/2 කාසියේ 96 ලෙස. තුට්ටු 1/4 කාසියේ 192 ලෙස. එසේ සඳහන් වූයේ පතාගයට එක් එක් කාසි වර්ගයෙන් සමවෙන ගණනයි. මෙම කාසි 1801 සිට 1804 දක්වා කිහිප වරක් අච්චු ගසා තිබෙනවා.


පැන්ස

බ්‍රිතාන්‍ය ඉන්දියානු රුපියල

කාසිවලට අමතර ව ඉංග්‍රීසිහු ලන්දේසීන් සේ ම මුදල් නෝට්ටු ද නිකුත් කළා. පළමුවන මුදල් නෝට්ටු තොගය නිකුත් කළේ 1800 දී. 1801 දක්වා ම ඉංග්‍රීසීන් පොත්පත්වල ගණන් හිලව් සටහන් කළේ තාරකා පගෝදි ක්‍රමයට. ඒත් මෙරට  ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ පෙදෙස් 1802 දී යටත් විජිත භාර මහ ලේකම් ගේ යටතට පත්වීමත් සමඟ ඒ ක්‍රමය වෙනස් කෙරුනා. එතැන් පටන්  එම ක්‍රමය පතාග, පනම් සහ තුට්ටු බවට හැරුණා. ඒ අනුව තාරකා පගෝදි 1/4 = පතාග 1 ක් වුණා.

1803 සිට 1818 දක්වා වරින් වර පතාග 1/2, 1 සහ 2 රිදී කාසි අච්චු ගැසූ අතර ඒවායේ වටිනාකම සඳහන් වූයේ පිළිවෙලින් 24, 48 සහ 96 ලෙසින්.  එමෙන් ම 1803 - 1817 කාලයේ පනම, තුට්ටුව සහ තුට්ටු 2 තඹ කාසි ද නිකුත්කර තිබෙනවා.

සත 2 (1895)

සත 1 (1945)

සත 5 (1909)

සත 25 (1899)

සත 50 (1942)

බ්‍රිතාන්‍ය පාලන සමයේ ෆාර්දීන්, බ්‍රිතාන්‍ය තුට්ටු, පතාගය (රිදී කාසිය), පනම්, ඉන්දියානු රුපියල, රුපියල් භාගය සහ රුපියල් කාල ආදියට අමතරව ශතය, ශත දෙක, ශත පහ, ශත දහය, ශත විසි පහ සහ ශත පනහ ආදී කාසිද භාවිතයට ගැනුනා.

1815 දී ඇති වූ උග්‍ර කාසි හිඟයට පිළියමක් ලෙස ලංදේසීන්ගෙන් අත්පත් කරගෙන එතෙක් රාජ සන්තකයේ තබාගෙන සිටි දොයිතු කාසි රැසක් (පතාග 37,339 ක් වටිනා දොයිතු) සංසරණයට එක්කළා.


සත 10 (1900)

සත 2 (1944)

රුපියල් 1 (1844)

බ්‍රිතානය යුගයේ දී, නෝට්ටු නිකුත් කිරීමේ අධිකාරිමය බලය හිමි ව තිබුණේ ආයතන තුනකට ය:

1.  මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කළ නෝට්ටු (1827 – 1855) පවුම් නෝට්ටු
     පවුම
     පවුම් දෙක
     පවුම් පහ

2.  පෞද්ගලික බැංකු විසින් නිකුත් කළ නෝට්ටු (1844 – 1884) එනම්,
     ඔරියන්ටල් බැංකුව
     චාර්ටඩ් මර්කන්ටයිල් බෑන්ක් ඔෆ් ඉන්දියා ලන්ඩන් ඇන්ඩ් චයිනා
     හොංකොං ඇන්ඩ් ශෙංහායි බෑන්කින් කෝපරේශන් 
     ආසියාතික බැංකුව     

(i)    පවුම් නෝට්ටු
(ii)   රුපියල් නෝට්ටු

3.  මුදල් කොමසාරිස් මණ්ඩලය විසින් නිකුත් කළ නෝට්ටු (ලංකාණ්ඩුව යටතේ) (1884 – 1950)
     මුදල් කොමසාරිස් මණ්ඩලය පහත සඳහන් නිලධාරීන්ගෙන් සමන්විත විය.
          භාණ්ඩාගාරික
          යටත් විජිත ලේකම් 
          විගණකාධිපති
 

උප නෝට්ටු 
1939 දී සහ 1940 දී කාසි හිඟයට මුහුණ දීම පිණිස රුපියලට අඩු වටිනාකමක් ඇති නෝට්ටු නිකුත් කිරීම සඳහා හදිසි අවස්ථා බලතල පනතෙහි ඇතුළත් නියෝග යටතේ මුදල් කොමසාරිස් මණ්ඩලයට බලය පවරන ලදී. මුදල් කොමසාරිස් මණ්ඩලය විසින් ශත 05, ශත 10, ශත 25, ශත 50 හා රුපියල් 1 වශයෙන් උප නෝට්ටු නිකුත් කරන ලදී. මෙම නෝට්ටු අතුරින්, ශත 5 නෝට්ටුව ශත 2 හි සහ ශත 3 හි තැපැල් මුද්දර ලෙසින් නිකුත් කෙරිණි.

මෙම උප නෝට්ටු වලට අමතරව මුදල් කොමසාරිස් මණ්ඩලය විසින් රුපියල් එක, රුපියල් දෙක, රුපියල් පහ, රුපියල් දහය, රුපියල් පනහ, රුපියල් සියය, රුපියල් පන් සියය, රුපියල් දහස සහ රුපියල් දස දහස යන නෝට්ටු නිකුත් කරන ලදී. මින් රුපියල් දස දහසේ මුදල් නෝට්ටු භාවිතා කරන ලද්දේ බැංකු අතර සිදු කරන ලද ගනුදෙනු සඳහා පමණකි.

නිදහසින් පසු යුගය, මහ බැංකුව පිහිට වූ දා සිට

1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි ඇති කොන්දේසිවලට අනුව 1950 අගෝස්තු 28 වන දින මහ බැංකුව පිහිටුවන ලදී. අනෙකුත් කාර්යයන් අතර නෝට්ටු සහ කාසි යන දෙ වර්ගය ම ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීම පාලනය කිරීම සඳහා මුදල් මණ්ඩලයක් ස්ථාපනය කිරීමට මුදල් නීති පනත අවකාශ සැලසුවේ ය. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ කාසි

ලංකාව තුළ ඉංග්‍රීසීන් විසින් නිකුත් කළ නෝට්ටු 1951 වන තුරු ද කාසි 1963 වන තුරු ද භාවිතා කරන ලදී. පළමුවන කාසි කාණ්ඩය හඳුන්වා දෙන ලද්දේ 1963 දී ය. මෙම කාසි කාණ්ඩයේ මුහුනත මඟින් ලංකාවේ රාජ්‍ය ලාංඡනය හඳුන්වා දෙන ලදී. මෙම කාණ්ඩය පහත සඳහන් කාසිවලින් සමන්විත විය.

ශතය (ඇලුමිනියම්)
ශත දෙක (ඇලුමිනියම්)
ශත පහ (පිත්තල)
ශත දහය (පිත්තල)
ශත විසි පහ (තඹ/නිකල්)
ශත පනහ (තඹ/නිකල්)
රුපියල (තඹ/නිකල්)

1950 සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු කාණ්ඩ එකොළහක්  නිකුත් කරනු ලැබ ඇත.

තේමාව වටිනාකම (‍රුපියල්) වර්ෂය
1 හයවන ජෝර්ජ් රජුගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය 1 සහ 10 1951
 2 දෙ වන එළිසබෙත් රැජිනගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය 1, 2, 5, 10, 50 සහ 100 1952
3 ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය 1, 2, 5, 10, 50 සහ 100 1956
4 එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක රුව ඇතුළත් නෝට්ටු කාණ්ඩය 2, 5, 10 ,50 සහ 100 1962
5 පරාක්‍රමබාහු රජුගේ පිළිරුව සහිත කාණ්ඩය 2, 5, 10 ,50 සහ 100 1965
6 ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය 50 සහ 100 1975
7 සතුන් සහ වෘක්ෂලතා ඇතුළත් නෝට්ටු කාණ්ඩය 2, 5, 10, 20 ,50 සහ 100 1979
8 ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක තේමා රැගත් නෝට්ටු කාණ්ඩය 5, 10, 20, 50, 100, 500 සහ 1000 1981
9 ඓතිහාසික සහ සංවර්ධනය විදහා දැක්වෙන නෝට්ටු කාණ්ඩය 500 සහ 1000 1987
10 ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් නෝට්ටු කාණ්ඩය 10, 20, 50, 100, 500, 1000 1991
2000 2005
11 සංවර්ධනය සෞභාග්‍යය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් 20, 50, 100, 500, 1000, 2000 සහ 5000 2011

රුපියල් පහ සහ රුපියල් දෙක නෝට්ටු වෙනුවට 1984 දී රුපියල් පහ (නිකල්/පිත්තල) සහ රුපියල් දෙක (තඹ/නිකල්) කාසි හඳුන්වා දෙන ලදී.

2005 වසරේ දී, කාසිවල බර සහ ලෝහ මිශ්‍රණය වෙනස් කරමින් රුපියල් 5 සහ රුපියල් 2 සඳහා සංසරණය පිණිස නව කාසි කාණ්ඩයක් මහ බැංකුව නිකුත් කළේ ය. මේ සමග ම රුපියල, ශත 50 සහ ශත 25 කාසි නිකුත් කරන ලද්දේ ප්‍රමාණය, ලෝහ මිශ්‍රණය, බර සහ පැහැය වෙනස් කිරීමෙනි. මෙම නව කාසි එවකට සංසරණයේ පැවතුණු කාසි සමඟ සමගාමී ව සංසරණය කරන ලදී.