මහ බැංකුවේ කාර්යයන්
මූලික කාර්යයන්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික කාර්යයන් :
(අ) මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය ආර්ථිකය තුළ මිල ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලැබේ. මූලික වශයෙන් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ මුදලේ පිරිවැයට බලපෑම් කිරීම මගින් සහ/හෝ මුදල් සැපයුමට (availability of money) බලපෑම් කිරීම මගිනි. මෙය සිදුකරනු ලබන්නේ පොලී අනුපාත හා ණය සැපයුම් යාන්ත්‍රණය (credit availability mechanism) හරහායි.
වාණිජ බැංකු සමග කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රියාත්මක කරන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රතිපත්ති පොලී අනුපාත මගින් වාණිජ බැංකු හා වෙනත් මූල්‍ය ආයතන විසින් ණය දෙන්නන් සහ ලබාගන්නන් වෙත ක්‍රියාත්මක කරන සමස්ත පොලී අනුපාත පරාසයට ම බලපෑම් එල්ල කරනු ලබයි. අනතුරුව, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ වියදම් කිරීම්, ආයෝජන, ආර්ථිකය තුළ ගන්නා ඵලදායී තීරණ හා අවසානයේ නිෂ්පාදන පිරිවැය සහ භාණ්ඩාගාර හා සේවා මිල ගණන්වලට බලපෑම් එල්ල වෙයි.
(ආ) විනිමය අනුපාත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
විනිමය අනුපාත තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුමට අදාළ වෙළෙඳපොළ සාධක මගින්, ආර්ථිකයේ සාර්ව ආර්ථික මුලධර්ම පිළිබිඹු කිරීමක් ලෙස යි. 2001 ජනවාරි 23 දා සිට ශ්‍රී ලංකාව පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. විදේශ විනිමය සැපයුම අපනයන, ශ්‍රමික හා සෘජු ආයෝජන යන සාධක මත රදා පවතින අතර විදේශ විනිමය සඳහා වූ සංචාරක ඉපැයීම් ඉල්ලුම් ආනයන ගෙවීම් හා ණය ගෙවීම් යන සාධක මත රඳා පවතී.
ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ මුදල් සැපයීම හා අන්තර්ග්‍රහණය කිරීම තුළින් විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වීම සිදු කළ හැකි අතර එහි අරමුණ ස්ථර 02කින් සමන්විත වේ. විනිමය අනුපාතවල අධි උච්චාවචනය වීම වළක්වා ගැනීමට හා විදේශ සංචිත යහපත් මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වීම සිදු කරයි.
විදේශ සංචිතවල පහළ යෑමක් හෝ ජාත්‍යන්තර ගෙවීම් හෝ ප්‍රේෂණ මගින් රුපියලේ බාහිර ස්ථාවරත්වයට තර්ජන එල්ල වේ යැයි මුදල් මණ්ඩලය තීරණය කළ විට මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනතේ විධිවිධානයන්ට අනුකූල ව නිසි ප්‍රතිපත්ති හා ක්‍රමවේද භාවිත කොට මුදල් අමාත්‍යවරයාට වාර්තාවක් නිකුත් කරනු ලබයි. මෙම වාර්තාව මගින් රුපියලේ බාහිර ස්ථායිතාවට ඇති වූ හෝ ඇති විය හැකි තර්ජනයට හේතුව, එහි බලපෑම කෙතරම් ද යන්න, දැනට ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග, ඉදිරියට ගනු ලබන හෝ රජයට යෝජනා කරන ක්‍රියාමාර්ග ආදිය ඇතුළත් වෙයි.
(ඇ) නිල විදේශ සංචිත කළමනාකරණය කිරීම
මුදල් නීති පනතේ විධිවිධානයන්ට අනුව රටේ නිල විදේශ විනිමය සංචිත කළමනාකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු ය . මෙම සංචිත කළමනාකරණය සඳහා අවශ්‍ය නීතිමය රාමුව මුදල් නීති පනත මගින් දක්වා ඇති අතර, විදේශ සංචිත පවත්වා ගැනීම, එහි සංයුතිය, රුපියලේ බාහිර ස්ථායිතාව පවත්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග, විදේශ සංචිත කළමනාකරණයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන පරාසය හා විදේශ සංචිත කළමනාකරණය සම්බන්ධයෙන් මුදල් මණ්ඩලයට පැවරී ඇති බලතල හා වගකීම් යන කටයුතුවලට අදාළ දේ ඉහත කී නීතිමය රාමුවෙන් පැහැදිලි කෙරේ. විදෙස් සංචිත කළමනාකරණයේ දී මහ බැංකුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ආරක්ෂාව, ද්‍රවශීලතාව හා ලැබීම් වැඩිදියුණු කිරීම යන අරමුණු කෙරෙහි ය.
විදෙස් සංචිත ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක කිහිපයක් මගින් පවත්වා ගන්නා අතර, (Denominated) ප්‍රධාන වශයෙන් ආයෝජනය කරනු ලබන්නේ ස්ථාවර වත්කම් සුරැකුම්පත්, මුදල් වෙළෙඳපොළ උපකරණ හා රත්‍රන්වල ය. වර්තමානයේ විදේශ සංචිත සංයුතිය පවත්වා ගනු ලබන ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකක නම් එක්සත් ජනපද ඩොලර්, ස්ටර්ලිං පවුම්, යූරෝ, යෙන්, ඕස්ට්‍රේලියානු ඩොලර් හා චීන යුආන් වන අතර එය ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ විදේශ ව්‍යවහාර මුදල් ඒකකවලින් කෙරෙන ණය නැවත ගෙවීම් හා ව්‍යවහාර මුදල්වලට ඇති ආදායම් ජනනය කිරීමේ හැකියාව මතයි.
(ඈ) මූල්‍ය පද්ධති අධීක්ෂණය
මූල්‍ය පද්ධති ස්ථායිතාව සම්බන්ධයෙන් පැවරී ඇති බලතලවලට අදාළ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමස්ත මූල්‍ය පද්ධතිය අවේක්ෂණය හා අධීක්ෂණය කරයි. මෙ සේ කරනු ලබන්නේ මූල්‍ය පද්ධතිය සැබෑ ආර්ථිකය සමඟ අන්තර්ක්‍රියා කිරීම සලකා බලමින් පද්ධතිමය වශයෙන් පැන නැඟිය හැකි අවදානම නිරීක්ෂණය හා සීමා කිරීම් තුළින් එවන් අවදානම හරහා ගොඩ නැගිය හැකි මූල්‍ය හා ආර්ථික අර්බුද අවම කිරීම සඳහා ය. පද්ධතිමය අවදානම යනු සමස්ත මූල්‍ය පද්ධතිය ම අඩපණ කළ හැකි අවදානමකි. තනි කණ්ඩායමක් හෝ ඒකකයක් මගින් ඇති වන අවදානම මීට වෙනස් වේ. එම අවදානම් අවම කිරීම හෝ මැඩ පැවැත්වීම සමස්ත මුල්‍ය පද්ධතියට හානියක් නො වන අයුරින් සිදු කිරීමේ හැකියාව පවතී. පද්ධතිමය අවදානම් පිළිබඳ අවධානය යොමු කෙරෙන්නේ සාර්ව විචක්ෂණ රෙගුලාසි මගින් වන අතර තනි/කණ්ඩායම් අවදානම් පිළිබඳ යොමු කෙරෙන්නේ ක්ෂුද්‍ර විචක්ෂණ රෙගුලාසි මගිනි. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති හා ක්ෂුද්‍ර විචක්ෂණ රෙගුලාසි අතර පරතරය සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති මගින් ආවරණය කෙරෙන බවට හඳුනා ගෙන ඇත.
සාර්ව විචක්ෂණ ප්‍රතිපත්තිවල මූලික අරමුණ වන්නේ මූල්‍ය පද්ධතිය විසින් අධි අවදානම් ගැනීම වලක්වාලීම ය. එ නම්, මූල්‍යමය සේවා සැපයීම පුළුල් පරාසයක් ඔස්සේ අඩපණ කිරීම මගින් ආර්ථිකයට බරපතල හානි සිදු කිරීම වලක්වාලීම ය. මේ අනුව ගත් කළ පද්ධතිමය අවදානමට කාල දෘෂ්ඨි හා හරස්කඩ දෘෂ්ඨි කෝණ බලපායි.
(ඉ) බැංකු හා තෝරාගත් බැංකු නො වන මූල්‍යායතනවලට බලපත්‍ර ලබාදීම, නියාමනය හා අධීක්ෂණය
බැංකු හා තෝරාගත් බැංකු නො වන මූල්‍යායතනවල ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, එ්වායේ තැන්පතුකරුවන් හා ආයෝජකයින්ගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීමත් අරභයා එම බැංකු හා තෝරාගත් මූල්‍යායතන නියාමනය හා අධීක්ෂණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වගකීමක් වන අතර ඒ සඳහා එක් එක් මූල්‍යායතනය වෙන් වෙන් ව නියාමනය හා අධීක්ෂණය කිරීම හඳුන්වන්නේ ක්ෂුද්‍ර විචක්ෂණ ප්‍රතිපත්තිය ලෙස ය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ප්‍රමුඛ ස්ථානය බැංකු විසින් හිමි කර ගෙන ඇති අතර, බැංකු ආයතන නියාමනය හා අධීක්ෂණය බල පවත්වන්නේ බැංකු පනත හා මුදල් නීති පනත මගිනි. ශ්‍රී ලංකාවේ බැංකු ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ අධිකාරිය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර මේ අනුව කාණ්ඩ දෙකක් යටතේ බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලබයි. එ නම්, බලපත්‍රලාභි වාණිජ බැංකු හා බලපත්‍රලාභි විශේෂිත බැංකු (ඉතිරිකිරීමේ හා සංවර්ධන බැංකු) ලෙසට යි. වාණිජ බැංකු හා විශේෂිත බැංකු අතර ප්‍රධානතම වෙනස නම් වාණිජ බැංකුවලට මහජනයාගෙන් ඉල්ලුම් තැන්පතු භාරගැනීමේ අයිතිය, ජංගම ගිණුම් පවත්වා ගැනීමේ අයිතිය හා සම්පූර්ණ විදේශ ව්‍යවහාර මුදල් කටයුතු සිදු කිරීමේ අයිතිය/හැකියාව පැවතීම යි. විශේෂිත බැංකුවලට එම හැකියාවන් නොමැත.
ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු ආයතන නියාමනය හා අධීක්ෂණය සිදු කරන්නේ බැංකු අධීක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ව පිළිගත් බාසල් ප්‍රමිතීන් පදනම් කර ගෙන ය. ගෝලීය ප්‍රවණතා අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ද අවදානම් පදනම් කරගත් අධීක්ෂණයන් වෙත ගමන් කරමින් සිටී. මෙහි දී අවධානය යොමු කෙරෙන්නේ බැංකුකරණයට අදාළ අවදානම් හඳුනා ගැනිම, අවදානම් කළමනාකරණය කිරීම සහ එම අවදානම් අවම කර ගැනීමට බැංකු සතු ව පවතින හැකියාව මැන බැලීම යන කරුණු කෙරෙහි ය.
මහ බැංකුවේ නියාමන හා අධීක්ෂණ කාර්යයන්හි කොටසක් ලෙස, මහ බැංකුව විසින් පහත කරුණු සම්බන්ධයෙන් නියෝග පනවනු ලබයි. බැංකු ආයතනවලට බලපත්‍ර ලබා දීම, මෙහෙයුම් කටයුතු හා බැංකු වසා දැමීම සම්බන්ධයෙන්, බැංකුවලට අදාළ විචක්ෂණ අවශ්‍යතා, අස්ථාවර බැංකු සඳහා නිවාරණ සැලසුම් සහ නියාමනයට අදාළ කටයුතු බල පැවැත්වීම යනාදී කරුණු මෙයට ඇතුළත් වෙයි. බැංකු අධීක්ෂණ ප්‍රධාන ක්‍රමවේදයට ඇතුළත් වන කාර්යයන් නම්, අදාළ ස්ථානයෙන් පිටත දී දිගින් දිගටම සිදුකරන නිරීක්ෂණ හා අාවේක්ෂණ, අදාළ බැංකු පරිශ්‍රයේ දී වරින් වර සිදුකරන කෙරන අධීක්ෂණ කටයුතු, බැංකුවල කළමනාකාරිත්වය සමඟ රැස්වීම් පැවැත්වීම හා බාහිර විගණන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ආදිය ය.
විචක්ෂණ අවශ්‍යතා පැනවීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකුවල අනුකූලතාව නිරීක්ෂණය කරනු ලබයි. ඒවා නම්, ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව, ද්‍රවශිලතාව, විශාල නිරාවරණය වීම්, වත්කම්වල ගුණාත්මකභාවය, අක්‍රීය ණයවලට වෙන් කර ඇති ප්‍රතිපාදන, ඇල්ම ඇති පාර්ශ්ව සිදු කරන ගනුදෙනු, ආදායම් හඳුනා ගැනීම, කොටස් අයිතිය, ආයෝජන, අධ්‍යක්ෂවරුන්ගේ හා ඉහළ කළමනාකාරිත්වයේ යෝග්‍යතාව මැන බැලීම හා මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම යනාදී කරුණුයි. මීට අමතර ව අභ්‍යන්තර පාලනයන් ආයතනික පරිපාලනයට අදාළ තත්ත්වයන් හා බැංකුවල අවදානම් කළමනාකරණය පිළිබඳ තක්සේරු කර බැලීම ද කෙරෙයි. තව ද ශ්‍රී ලංකා මහ බැංකුව පාරිභෝගිකයින් හා බැංකු විසින් පිළිපැදිය යුතු වගකීම් පිළිබඳ මාර්ගෝපදේශයන් දැක්වෙන පාරිභෝගික ප්‍රඥප්තියක් හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, විශේෂිත කල්බදු සමාගම් හා ක්ෂුද්‍රමූල්‍ය සමාගම් වැනි බැංකු නො වන මූල්‍යායතන ද නියාමනය හා අධීක්ෂණ කරයි. එ සේ සිදු කරන්නේ මුදල් ව්‍යාපාර පනත ,කල්බදු මූල්‍යකරණ පනත හා ක්ෂුද්‍රමූල්‍ය පනතට අනුකූල ව ය.
ශ්‍රී ලංකා මහ බැංකුව තැන්පතුකරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි. මෙම යෝජනා ක්‍රමය බලපත්‍රලාභී බැංකු හා මූල්‍ය සමාගම් සඳහා ක්‍රියාත්මක වෙයි.
“මහජන තැන්පතු භාරගැනීම සඳහා අවසරලත් මූල්‍ය සමාගම්˜ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම සඳහා වරින් වර පුවත්පත් නිවේදන නිකුත් කිරීම ද මහ බැංකුව විසින් සිදු කෙරෙයි.
ප්‍රාථමික වෙළෙඳුන් නියාමනය හා අධීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන්නේ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත හා ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතට අනුකූල ව ය.
මුදල් නීති පනතට අනුකූල ව දේශීය මුදල්වල හා විදේශ විනිමය වෙළෙඳපොළේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා මහ බැංකුව මුදල් තැරැව්කරුවන් වෙත බලය ලබා දීම හා ඔවුන් නියාමනය කිරීම ද සිදු කරයි.
මූල්‍යමය අපහසුතාවලට මුහුණ පා ඇති බැංකුවලට වෙනත් කිසිදු මාර්ගයක් ඔස්සේ ණය ලබාගැනීමට නො හැකි අවස්ථාවල දී මහ බැංකුව අවසාන වශයෙන් ණය දෙන්නා ලෙස කටයුතු කරයි. මෙම පහසුකම ලබාදීමේ මූලික අරමුණ නම් තැන්පතුකරුවන් කලබල වී තාවකාලික ද්‍රවශීලතා ගැටලුවලට මුහුණ දී ඇති බැංකුවලින් තැන්පතු ආපසු ලබාගැනිමට තැත් කිරීමේ දී ඇති විය හැකි ගැටලු වළක්වා බැංකු හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය රැක ගැනීම යි.
(ඊ) පියවීම් පහසුකම් සඳහා ප්‍රතිපාදන හා ගෙවීම් පද්ධතිය නියාමනය
සාර්ථක ව ක්‍රියාත්මක වන ගෙවීම් හා පියවීම් පද්ධතියක් පවත්වා ගැනීම ස්ථාවර මූල්‍ය පද්ධතියක් සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ගෙවීම් හා පියවීම් පනතට අනුව ගෙවීම්, නිෂ්කාශන හා පියවීම් පද්ධති නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇති බලතලයකි. මීට අමතර ව ජාතික ගෙවීම් පද්ධතියක් සඳහා අවශ්‍ය සැලසුම් සම්පාදනය කිරීම හා ගෙවීම්, නිෂ්කාශන හා පියවීම් පද්ධතියක් ස්ථාපනය කිරීමට සහ සංවර්ධනය කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම හා නායකත්වය ලබා දීම ද ශ්‍රී ලංකා මහ බැංකුව සතු වගකීමකි. තව ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාතික ගෙවීම් කවුන්සිලයේ සභාපතිත්වය දරනු ලබන අතර එම කවුන්සිලය ගෙවීම් පද්ධතියේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත වෙයි. ශ්‍රී ලංකාවේ මූල්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නිර්දේශ සපයනු ලබන්නේ ජාතික ගෙවීම් කවුන්සිලය විසිනි.
මේ අනුව, “ලංකා සෙට්ල් පද්ධතිය˜ නම් පද්ධතිමය වැදගත්කමක් පවතින ගෙවීම් හා පියවීම් පද්ධතියේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරනු ලබයි. ලංකා සෙට්ල් පද්ධතිය තත්කාලින දළ පියවුම් පද්ධතිය හා ලංකා සෙකියුර් පද්ධතිය යන පද්ධති දෙකකින් සමන්විත වේ. තත්කාලීන දළ පියවුම් පද්ධතිය යනු ලංකා සෙට්ල් පද්ධතියේ අරමුදල් පියවුම් අංශය යි. මෙ මගින් විශාල වටිනාකමක් ඇති කාලීන ව වැදගත් ඉතා ඉහළ ගෙවීම්, තත්කාලීන ව පියවීම අවදානම් මඟ හරවා ගනිමින් සිදු කරයි. මෙම තත්කාලීන දළ පියවීම් පද්ධතිය තුළින් පියවෙන ප්‍රධාන ගෙවීම් වර්ග නම්; අන්තර් බැංකු ඒක්ෂණ වෙළෙඳපොළ ගනුදෙනු, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ ගනුදෙනු, විවට වෙළෙඳපොළ මෙහෙයුම්, දළ චෙක්පත් නිෂ්කාශන ගනුදෙනු, අන්තර් බැංකු සුළු පරිමාණ ගෙවීම් පද්ධති, සහ පොදු ATM ස්විචය සම්බන්ධ ගනුදෙනු යන ඒවායි. ලංකා සෙකියුර් පද්ධතිය සමන්විත වන්නේ නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් ක්‍රමයෙන් සහ රාජ්‍ය සුරැකුම් සඳහා නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය/පද්ධතිය (SSDS) මගිනි. ලංකා සෙට්ල් පද්ධතියේ සුමට ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම උදෙසා එහි සහභාගීවන්නන් හට නොමිලයේ ඇප තැබූ පදනම මත දෛනික ද්‍රවශීලතා පහසුකම් සපයනු ලබයි.
වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන්ට ගෙවීම් හා පියවීම් පහසුකම් සපයා දීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමකි. ලංකා සෙට්ල් පද්ධතියේ සහභාගීකරුවන් වන මොවුන් හට ද බැංකුවල බැංකුකරුවා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පියවීමේ පහසුකම් සපයා දෙයි.
තවද, සුළු පරිමාණ ගෙවීම් නිෂ්කාශනය සඳහා පහසුකම් සැපයීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමකි. මෙම සුළු පරිමාණ ගෙවීම් යටතට ගැනෙනුයේ චෙක්පත්, බැංකු අණකර, හා මංගත නො වන මුදල් හුවමාරු ආදිය යි. චෙක්පත් නිෂ්කාශනය ආදී සුළු පරිමාණ ගෙවීම් පියවීමේ කාර්යය සඳහා මහ බැංකුව හා වාණිජ බැංකුවලට අයිති සමාගමක් වන ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට මහ බැංකුව බලය පවරා ඇත. ගෙවීම් කාඩ්පත්, ජංගම හා අන්තර්ජාල බැංකුකරණය ආදී විද්‍යුත් ගෙවීම් පද්ධති හා උපකරණවල සංවර්ධනයත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව සිය වගකීමක් ලෙස විධාන, මාර්ගෝපදේශ, චක්‍රලේඛ සහ පද්ධති නීති අවශ්‍ය විටදී නිකුත් කරනු ලබයි. එසේ සිදු කරන්නේ රටේ නියාමනය කරන ලද සමස්ත ගෙවීම් පද්ධතිවල සුරක්ෂිත හා සුමට ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම උදෙසා යි.
(උ) ජාතික ව්‍යවහාර මුදල් නිකුත් කිරීම හා බෙදා හැරීම
මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරිමය බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු ය. මෙම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පදනම වනුයේ, එක් එක් වටිනාකමට අදාළ ගනුදෙනු ඉල්ලුමට සරිලන පරිදි ය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන කෙරෙන මුදල් නෝට්ටු හා කාසි සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමතිවරයාගේ අනුමැතිය ඇති ව එහි වටිනාකම, ප්‍රමාණය, මෝස්තරය සහ අනෙකුත් ලක්ෂණ සඳහා නිර්දේශ ලබා දෙනු ලබයි. වර්තමානයේ මුදල් නෝට්ටුවලට අදාළ වටිනාකම් නවයක් ද, (රු. 5000, 2000, 1000, 500, 200, 100, 50, 20, 10) කාසිවලට අදාළව වටිනාකම් 10 ක් ද, (රු. 10, 5, 2, 1 ශත 50, 25, 10, 5, 2, 1) සංසරණයේ පවතී. ඉහළ වටිනාකමක් සහිත මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම වළක්වාලීමට වැඩිදියුණු කළ ආරක්ෂක සලකුණු යොදා ගනු ලැබේ. සංසරණයේ පවතින මුදල් නෝට්ටුවල ගුණාත්මකභාවය හා තත්ත්වය ඉහළ නංවාලීම සඳහා පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසි හා නෝට්ටු නිකුත් කිරීම ද සිදු කරයි.
(ඌ) ආර්ථික දත්ත සම්පාදනය හා බෙදා හැරීම
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට හා මහජනයාට අවශ්‍ය ආර්ථික තොරතුරු බෙදා හැරීමට මහ බැංකුව විසින් දත්ත සම්පාදනය කරයි. මූර්ත අංශය, මුදල් අංශය, මූල්‍ය අංශය, අය-වැය ප්‍රතිපත්තිය, බාහිර අංශ සහ ප්‍රාදේශීය යන සංඛ්‍යාන මෙයට ඇතුළත් වෙයි. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථික, මූල්‍ය හා ව්‍යාපාරික සමීක්ෂණ ද පවත්වා ඒවායේ ප්‍රතිඵල මහජනයා වෙත ලබා දෙයි.
(එ) රජයේ හා එහි නියෝජිතයන්ගේ බැංකුකරු ලෙස කටයුතු කිරීම, රාජ්‍ය සුරැකුම් සදහා බලපත්‍රලාභී වාණිජ බැංකු සහ වාණිජ නො වන බැංකු ප්‍රාථමික වෙළෙඳුන්ට ජංගම ගිණුම් පහසුකම් සලසා දීම
රජයේ බැංකුකරු ලෙස මහා භාණ්ඩාගාරය, අනෙකුත් අමාත්‍යාංශ හා රජයේ නියෝජිත ආයතනවලට ජංගම ගිණුම් පවත්වා ගෙන යනු ලබයි. මේ වන විට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් 60කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය හා එහි නියෝජිත ආයතන වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබයි. මීට අමතර ව ලෝක බැංකුව, ආසියනු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා ද ගිණුම් පවත්වා ගෙන යනු ලබයි.
තව ද, මුදල් නීති පනතේ 89 වැනි වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට දෙන ලද මුදල් වර්ෂයේ තක්සේරු කළ මුළු රාජ්‍ය ආදායමෙන් 10% ක සීමාවකට තාවකාලික අත්තිකාරම් දෙනු ලැබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව බැංකුකරුවන්ගේ බැංකුව ලෙස ජංගම ගිණුම් පහසුකම් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට හා ප්‍රාථමික වෙළෙඳුන්ට ලබා දීම මගින් අන්තර් බැංකු ගෙවීම් හා පියවීම් පද්ධතියේ කාර්යක්ෂමතාව තහවුරු කරනු ලැබේ.
නියෝජිත කටයුතු
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් නියෝජිත කටයුතු සිදු කරයි.
(අ) රාජ්‍ය ණය කළමනාකරණය
මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති නියෝජිත ලෙස රාජ්‍ය ණය නිකුත් කිරීම, සේවාකරණය හා කළමනාකරණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට යි. මෙහි මූලික අරමුණ නම් අවම පිරිවැයක් දරමින්, විචක්ෂණශීලී අවදානමක් සහිත ව රජයේ මධ්‍ය හා දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා හා ගෙවීම්වලට අදාළ වගකීම් සපුරා ගැනීම යි.
රජයේ දේශීය ණය ලබාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ තීරණය කරනු ලබන්නේ දේශීය ණය කළමනාකරණ කමිටුව මගින් වන අතර එම කමිටුවේ සාමාජිකයින් වන්නේ මහ බැංකු නිලධාරීන් හා භාණ්ඩාගාර නිලධාරීන් ය. පාර්ලිමේන්තුව මගින් සම්මත කරගත් අයවැය සීමාවලට අනුකූල ව, එම සීමාව ඇතුළත සිට ඉහත ආකාරයට තීරණ ගනු ලබයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මහජන අරමුදල් රැස් කිරීම සඳහා කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් හා දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර ආදී රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරයි. මෙම සුරැකුම්පත් සඳහා විවිධ කල්පිරීමේ කාලයන් පවතී. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනු ලබන්නේ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ විධිවිධානයන්ට අනුකූල ව වන අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව ලියපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතට අනුව සිදු කෙරෙයි. නිරතුරු ව වෙන්දේසි පවත්වමින් රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු සිදු කරන ප්‍රාථමික වෙළෙඳුන් හරහා මෙම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කෙරෙයි. මේවා නිර්ලේඛන ක්‍රමයට නිකුත් කෙරෙන අතර, රාජ්‍ය සුරැකුම්පත් සඳහා වන මධ්‍යම තැන්පතු ක්‍රමය හා ලේඛනය වන ‘‘ලංකා සිකියුර්‘‘ පද්ධතියේ එම ගනුදෙනු සටහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ද නිකුත් කරන අතර නිත්‍ය පොලියක් සහිත ව මධ්‍යකාලීන හා දිගුකාලීන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් අරමුදල් රැස් කිරීමට ද සමත් වී ඇත.
(ආ) විදේශ විනිමය කළමනාකරණය
විනිමය පනතේ විධිවිධානයන්ට අනුව විදේශ විනිමය ගනුදෙනු කළමනාකරණය කිරීමේ රජයේ නියෝජිත වශයෙන් සිය වගකිම හා කාර්යයන් ඉටුකිරීම සිදු කරයි. එම කාර්යයන් අතුරින් ප්‍රධාන කාර්යයන් ලෙස විදේශ විනිමය ගනුදෙනුවලට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම, ඇතැම් විදේශ විනිමය ගනුදෙනු සඳහා අවසර හා බලපත්‍ර ලබා දීම, ජංගම ගිණුම් ගනුදෙනු හා ලිහිල් කරන ලද ප්‍රාග්ධන ගිණුම් ගනුදෙනුවලට අදාළ විදේශ විනිමය ගලා ඒම් හා ගලා යෑම් නිරීක්ෂණය කිරීම සහ බලය ලත් වෙළෙඳුන්ට යහ පුරුදු පිළිබඳ උපදෙස් දීම යන කාර්යයන් ද දැක්විය හැක.
වර්තමානයේ, භාණ්ඩ හා සේවා වෙළෙඳාමට අදාළ විදේශ විනිමය ගනුදෙනු (උදාහරණයක් ලෙස ජංගම ගිණුම් ගනුදෙනු) විදේශ විනිමය හුවමාරුව සඳහා අවසර ලත් වෙළෙඳුන් හරහා (ප්‍රධාන වශයෙන් බැංකු) බාධාවකින් තොර ව නිදහසේ කර ගෙන යෑමට අවසර දී ඇත. මෙම ගනුදෙනුවල සද්භාවය තහවුරු කර ගැනීම සඳහා යථායෝගී අධ්‍යයනයන් සිදු කරනු ලබන අතර සාමාන්‍යයෙන් සැබෑ හෝ මූර්ත වත්කම් අත්පත් කර ගැනීමට අදාළ ගනුදෙනු (උදාහරණයක් ලෙස ප්‍රාග්ධන ගිණුම් ගනුදෙනු) අර්ධ වශයෙන් ලිහිල් කර ඇති අතර එයින් සමහර ගනුදෙනු සඳහා සාමාන්‍ය අවසරයක් ලබා දී නොමැති නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලබා ගැනීම සිදු කළ යුතු ය.
දැනට ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ විදේශ විනිමය රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම උදෙසා යි. විශේෂයෙන් ප්‍රාග්ධන ගිණුම් ගනුදෙනු රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත. ශ්‍රී ලංකාව ගෝලීය ව්‍යාපාරික කටයුතුවල දී ඉහළ නැංවීමටත්, ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිදියුණු කර විදේශ සංචිත ශක්තිමත් කිරීම තුළින් විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථාවර කිරීමත් යන කාරණා සාක්ෂාත් කර ගැනීමට සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ස්ථාවරය සමඟ එකට යමින් මෙම ලිහිල් කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වේ.
(ඇ) අරමුදල් කළමනාකරණය සහ සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු ලෙස කටයුතු කිරීම
සේවක අර්ථසාධක අරමුදල යනු ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම (Superannuation) අරමුදල වන අතර එය සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් ස්ථාපනය කර ඇත. මෙම පනතේ ප්‍රතිපාදනවලට අනුව සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු හා අරමුදල් භාරකරු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. එම තනතුර දැරීමේ ප්‍රධාන වගකීම් වන්නේ සාමාජික අරමුදල් හා අධිභාර එක් රැස් කිරීම, සාමාජික ගිණුම් පවත්වා ගෙන යෑම, අතිරික්ත අරමුදල් ආයෝජනය, සාමාජික ගිණුම්වලට පොලී බැර කිරීම හා අර්ථලාභීන්ට අරමුදල් ගෙවීම යන කරුණු වේ.
(ඈ) මූල්‍ය අන්තර්ගතභාවය (Financial Inclusion) පහසුකම් සැපයීම
මූල්‍ය අන්තර්ගතභාවය හා තුලිත වර්ධනයක් රට තුළ ඇති කිරීම උදෙසා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සිදු කරයි. මෙහි අරමුණ වන්නේ මූල්‍ය ප්‍රවේශය වර්ධනය කිරීමත් මූල්‍ය කටයුතු පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමත් යන කරුණු යි. මෙය සිදු කරනු ලබන්නේ තෝරා ගත් සහභාගීත්ව මූල්‍ය ආයතන හරහා අඩු පහසුකම් සහිත අංශ සඳහා මුල්‍ය පහසුකම් සපයා දීම තුළිනි. දැනට අවධානය යොමු ව ඇත්තේ ප්‍රතිමූල්‍යනය හා පොලී සහනාධාර යෝජනා ක්‍රම තුළින් අංශ තුනකට ණය සැපයීම කෙරෙහි ය. කෘෂිකර්මය හා සත්ත්ව පාලන අංශය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය හා ක්ෂුද්‍ර මූල්‍ය අංශය මෙම අංශ ත්‍රිත්වය යි. මීට අමතර ව මූල්‍ය සාක්ෂරතාව, ව්‍යවසායකත්ව සංවර්ධනය හා අස්වනු නෙලීමෙන් පසු උපයෝගී කර ගත හැකි තාක්ෂණය යන මාතෘකා ඔස්සේ හැකියාවන් වර්ධනය කිරීම ද සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රමවලට මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකා රජය, මහ බැංකුව, ආධාර ලබාදෙන ආයතන හා තෝරාගත් සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් සැපයේ.
(ඉ) මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීම, හඳුනා ගැනීම, පරීක්ෂා කිරීම හා නීතිය හමුවට ගෙන ඒම සඳහා මූල්‍ය බුද්ධි සේවා සැපයීම
ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ස්ථාපිත කෙරුනේ 2006 වර්ෂයේ දී, 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි (FTRA) ප්‍රතිපාදනවලට අනුකූලව යි. අදාළ පනතේ විධිවිධානයන් අනුව අතිගරු ජනාධිපතිතුමන් විසින් නිකුත් කළ නියෝගය මත මූල්‍ය බුද්ධි ඒකකය ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරයි. මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධාන කාර්යයන් අතර මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම හා මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ සඳහන් වෙනත් නීති විරෝධී කරුණු සොයා බැලීම, සැක කටයුතු ගනුදෙනු පරීක්ෂා කිරීම, නීතිය පසිඳලීමේ ආයතන හා නියාමන ආයතනවලට තොරතුරු බෙදා හැරීම හා අදාළ තොරතුරු සපයන ආයතන නිරීක්ෂණය කිරීම යන කාරණා ඇතුළත් වෙයි. මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත මගින් ආවරණය වන ප්‍රධාන ආයතන දෙවර්ගය නම් මූල්‍ය ව්‍යාපාර සිදු කරන ආයතන හා නිර්දේශිත මූල්‍ය නො වන ව්‍යාපාර සිදු කරන ආයතන හා වෘත්තීන් වේ.