ක්ෂුද්‍රමූල්‍ය අංශය

දිළින්දන් හට සහයෝගීතාවය දැක්වීමේ උපදේශාත්මක සමූහය (CGAP-Consultative Group to Assist the Poor) විසින්  නිර්වචනය කර ඇති පරිදි “ක්ෂුද්‍රමූල්‍ය” යනු අඩු ආදායම්ලාභීන්ට මූල්‍ය සේවා සැළසීමයි. ප්‍රධාන වශයෙන්ම, ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපුරාගත නොහැකි දිළිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම්, ඉතිරිකිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැළසීම මෙමගින් සිදු කෙරෙනු ලැබේ. ක්ෂුද්‍රමූල්‍ය මගින් අපේක්ෂා කරනු ලබන්නේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් උත්පාදනය කිරීමේ කටයුතු සහ ආදායම් උත්පාදන ධාරිතාවයන් වැඩිදියුණු කිරීම සහ ප්‍රසාරණය කිරීමයි. ඒ අනුව ක්ෂුද්‍රමූල්‍ය තුළින් ඔවුන්ගේ ජීවන ත්ත්වය නගාසිටුවීම අපේක්ෂා කෙරෙන අතර, රටෙහි ආර්ථික සංවර්ධනයෙහිලා ඔවුන්ගේ ක්‍රියාකාරී දායකත්වයක් බලාපොරොත්තු වේ.   

ඈත අතීතයේ සිට ම ශ්‍රී ලංකාව තුළ  ඉතාම ප්‍රාථමික මට්ටමේ ක්ෂුද්‍රමූල්‍ය පද්ධතියක් පැවති බවට සාක්ෂ්‍යය ඇත.  ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන “සීට්ටු” ක්‍රමය, 20 වන ශත වර්ෂයේ මුල් භාගයේදී පමණ ඇරඹි, නිළ නොවන නමුත් සඵල ඉතුරුම් සහ ප්‍රාග්ධන ඒකරාශීකරණ ක්‍රමයකි.  එම නිසා එය, දිළිඳු පුද්ගලයින් වෙත ක්ෂුද්‍රමූල්‍ය සපයන ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ.  මේ වන විට ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය අංශය පුඵල් පරාසයක විහිදුනු නිෂ්පාදන සහ ආයතන දක්වා වර්ධනය වී ඇති අතර, එය මූල්‍යමය අන්තර්ගතභාවය සහ සමාජයේ අඩු ආදායම්ලාභී සහ දිළිඳු ජන කොට්ඨාශ බලගැන්වීම සඳහා වූ විශේෂිත ක්‍රමයක් ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිති, දිවිනැගුම බැංකු සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධාන, ක්ෂුද්‍රමූල්‍ය සමාගම්, ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන රාජ්‍ය නොවන සංවිධාන වැනි ආයතන රාශියක් ක්ෂුද්‍රමූල්‍යකරණයේ නිරත වේ. මින් සමහරක් ආයතන, විවිධ අධිකාරීත්වයන් යටතේ නියාමනය වේ.  බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නියාමනය වේ.  සමුපකාර ග්‍රාමීය බැංකු සහ සමුපකාර සහ ණය ගනුදෙනු පිළිබඳ සමිති සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේද, දිවිනැගුම බැංකු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේද, නියාමනය කෙරේ.  කෙසේ වෙතත්, කවර ආකාරයක හෝ නියාමන රාමුවකට යටත් නොවත ක්ෂුද්‍රමූල්‍ය සම්පාදකයින්ද ශ්‍රී ලංකාව තුළ බොහොමයක් පවතී.

ක්ෂුද්‍රමූල්‍යයෙහි වැදගත්කම

බොහෝ අඩු ආදායම්ලාභී පුද්ගලයින් හට මූලික මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය අහිමිය. එමනිසා, ඔවුනට මූල්‍ය පහසුකම් සැලසීමේ අභියෝගය තවදුරටත් පවතී. මූල්‍ය සඳහා අඩු ආදායම්ලාභීන්ගේ ඉහළ ප්‍රවේශය ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් වෙත මගපාදන අතර එම පුද්ගලයින්ගේ ඉතිරිකිරීමේ පුරුදු සහ ජීවන තත්වයන්  ඉහළ දැමීමටද හේතු වේ. තවද “තිරසාර ක්‍රමවේදයක් මගින් තමා විසින්ම දිළිඳුකමට එරෙහිව සටන් වැදීමට මිනිසුන්ට උපකාර කිරීම ක්ෂුද්‍රමූල්‍ය” වේ (CGAP – 2006). එමනිසා දිළිඳුකම තුරන් කිරීම, වත්කම් ගොඩනගා ගැනීම සඳහා දිළිඳු පුද්ගලයින්ට අවස්ථාව සැලසීම, ඔවුන්ගේ ආදායම් ඉහළ නැංවීම සහ ආර්ථිකමය වශයෙන් ආතතියකට ලක්වීමේ අවධානම  අවම කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අරමුණු කරගත් මූල්‍ය සේවාවන් හේතුවෙන් ක්ෂුද්‍රමූල්‍ය, දිළිඳු පුද්ගලයින් හට ඉතාම ප්‍රබල මෙවලමක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික කටයුතු වෙත ක්‍රියාකාරී දායකත්වයක් ලබාදෙන අතරම දිළිඳු පුද්ගලයින් හට තම ජීවන තත්වය ඉහළ නංවාගත හැක.

ක්ෂුද්‍රමූල්‍ය සඳහා නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාවය

නියාමනයකට ලක් නොවූ, ක්ෂුද්‍රමූල්‍ය ක්‍රියාකාරකම්, නීති විරෝධී තැන්පතු භාරගැනීම්, අධික පොළී අනුපාත හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම සහ ආචාරශීලී නොවන නැවත අයකිරීමේ ක්‍රම වැනි කටයුතු වලට මගපාදයි.  මීට අමතරව, දුර්වල යහපාලනය හේතුවෙන් ණය නැවත අය වීම අඩුවීම, වියදම් වැඩිවීම සහ පාඩු ලැබී‍ම මෙම ආයතන ආපදා තත්ත්වයන් කරා යොමු කරයි. බාරගත් තැන්පතුවල ආරක්ෂාව තහවුරු නොවන බැවින්, තැන්පතු බාරගන්නා ආයතන යම් නියාමනයකට යටත් නොවීම තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාව මත දැඩි තර්ජනයක්  ඇති කරයි.

නියාමනයකට ලක් නොවූ මෙවැනි ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අනිසි ක්‍රියාකාරකම් ක්ෂුද්‍රමූල්‍ය පහසුකම්ලාභීන් මත අහිතකර බලපෑමක් ඇතිකර, අඩු ආදායම්ලාභීන් සහ දිළිඳු පුද්ගලයින් දරිද්‍රතාවයෙහි චක්‍රය තුළම රැඳී සිටීමට මගපාදමින් රටෙහි ආර්ථික දියුණුව කෙරෙහි අහිතකර ලෙස බලපායි. මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් තුළ නියාමනයකට ලක් වූ අංශයද ඇතුළත්ව සම්පූර්ණ මූල්‍ය අංශය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටේ.  මේ අනුව පාරිභෝගික විශ්වාසය බිඳවැටීම තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් නීති පනතේ (422 වන අධිකාරය) දක්වා ඇති අරමුණක් වන මූල්‍ය පද්ධති ස්ථායිතාවය පවත්වාගැනීම කෙරෙහි අහිතකර අයුරින් බලපානු ලබයි. එම නිසා ශ්‍රී ලංකාව තුළ ඉහත කී නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව තිබේ.

2016 අංක 6 දරණ ක්ෂුද්‍රමූල්‍ය පනත

ශ්‍රී ලංකාව තුළ දශකයකට අධික කාලයකට පෙර සිටම නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍රමූල්‍ය අංශයේ ආයතන නියාමනය සඳහා නීති පැනවීමට විවිධ උත්සාහයන් ගන්නා ලදී.  කෙසේ වුවද, අවසානයේදී, 2016 අංක 6 දරණ ක්ෂුද්‍රමූල්‍ය පනත (ක්ෂුද්‍රමූල්‍ය පනත) පාර්ලිමේන්තුව මගින් පනවන ලද අතර, 2016 ජූලි මස 15 දින සිට එය බලාත්මක වේ.  මෙම පනත මගින් ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන සමාගම් (බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම්) සඳහා බලපත්‍ර නිකුත් කිරිමට, ඒවා නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට අදාළ විධිවිධාන පනවා ඇත.  බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) හරහා සෘජුවම නියාමනය කෙරේ.  එසේම, 1989 අංක 30 දරණ සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වූ ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ‍රෙජිස්ට්‍රාර්වරයා යටතේ නියාමනය කිරීමට ක්ෂුද්‍රමූල්‍ය පනත මගින් විධිවිධාන සපයා ඇත.

  
ක්ෂුද්‍රමූල්‍ය පනත ප්‍රකාර “ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාර”  වශයෙන් අර්ථ දක්වා ඇත්තේ;

තැන්පතු භාරගැනීම සහ ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී තැනැත්තන්ට හා ක්ෂුද්‍ර ව්‍යවසායන්ට

අ)     ඕනෑම ආකාරයක මූල්‍ය පහසුකමක් සැපයීම;

ආ)    වෙනත් මූල්‍ය සේවා සැපයීම; හෝ

ඇ)     ඕනෑම ආකාරයක මූල්‍ය පහසුකමක් සහ වෙනත් මූල්‍ය සේවා සැපයීමයි.