පලුදු වූ මුදල් නෝට්ටු හුවමාරු කිරීම

නොවැළක්විය හැකි හේතූන් නිසා පමණක් නොව හිතාමතා විකෘති කරන ලද විශාල මුදල් නෝට්ටු ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගලා එයි. උපරිම ආරක්ෂණ උපක්‍රම අනුගමනය කරමින් මුදල් නෝට්ටු නිපදවීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන හෙයින් ව්‍යවහාර මුදල් නෝට්ටු මනා සැළකිල්ලෙන් යුතුව පලුදු හෝ හානි කිරීමකින් තොරව පරිහරණය කිරීම සමාජයේ වගකීමකි. ගනුදෙනු සඳහා පිරිසිදු මුදල් නෝට්ටු සංසරණයට යෙදවීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව ඉමහත් ප්‍රයත්නයක් දරයි. පිරිසිදුවටත් ආරක්ෂාදායී ලෙසත් මුදල් නෝට්ටු සහ කාසි පරිහරණය කිරීම පුරවැසි අප සැමගේ යුතුකමකි.

 

පලුදු වූ, හානි වූ හෝ විකල වූ මුදල් නෝට්ටු හුවමාරු කරන ආකාරය

සාමාන්‍ය භාවිතයේදී හෝ නොවැළක්විය හැකි හේතූන් නිසා පලුදු වූ හෝ විකල වූ මුදල් නෝට්ටු දිවයින පුරා පිහිටි ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් මගින් හුවමාරු කර ගත හැක. මීට අමතරව විකල වූ මුදල් නෝට්ටු ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එවීමට හෝ බැංකු නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දින දක්වා 9.30 පැයේ සිට 12.30 පැය දක්වා අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 හි පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ පලුදු නෝට්ටු හුවමාරු කවුළුව වෙත පැමිණ භාරදීමට මහජනතාව පිලිවන. විකල වූ හෝ පලුදු වූ හෝ මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේ ක්‍රියාපටිපාටිය රෙගුලාසි “ඊ” කොටසේ සඳහන්වන අතර, ගෙවිය යුතු වටිනාකම් සම්බන්ධයෙන් පනතේ සඳහන් උපදෙස් හා විධිවිධාන තරයේ අනුගමනය කරනු ලැබේ.