දෙපාර්තමේන්තු

ශ්‍රී ලංකා මහ බැංකුවේ සුමට ක්‍රියාකාරිත්වය සඳහා එහි දෙපාර්තමේන්තු ප්‍රධාන පර්ෂද හතරකට බෙදා ඇත. ඒවා නම් - ආර්ථික සහ මිල ස්ථායිතා පර්ෂදය, මූල්‍ය පද්ධති ස්ථායිතා පර්ෂදය, නියෝජිත කටයුතු හා ආයතනික සේවා පර්ෂදය සහ නෛතික හා බලගැන්වීම් පර්ෂදය වේ. සහකාර අධිපතිවරයකු හරහා අධිපතිවරයාට හෝ නියෝජ්‍ය අධිපතිවරයකුට වාර්තා කරන අධ්‍යක්ෂකවරයකු විසින් (හෝ ඊට සමාන නිලධාරියෙකු) දෙපාර්තමේන්තු මෙහෙයවනු ලබයි.

ආර්ථික සහ මිල ස්ථායිතා පර්ෂදය

ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

    • ගෝලීය ප්‍රවණතා පිළිබඳ පරිපූර්ණ විශ්ලේෂණයක් සහිත ව, මුදල් අංශය, මූර්ත අංශය, විදේශීය අංශය, රාජ්‍ය මූල්‍ය අංශය සහ මූල්‍ය අංශයේ ප්‍රවණතාවලින් හට ගන්නා අවදානම් තක්සේරු කිරීම සහ පරිපූර්ණ මුදල් සහ ආර්ථික විශ්ලේෂණ සමග මුදල් ප්‍රතිපත්තිය සහ වෙනත් වැදගත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ ව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, පාලක මණ්ඩලය සහ ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය වෙත කාලීන ව ප්‍රතිපත්ති උපදේශනය සහ නිර්දේශ සැපයීම.
    • විනිමය අනුපාතිකය සහ ගෙවුම් ශේෂ තුලනයට එල්ල වන බාහිර අවදානම් සහ කම්පන හඳුනා ගැනීම සහ විදේශීය අංශයේ  ශක්‍යතා ස්ථායිතාව තහවුරු කිරීමට කාලීන ව ප්‍රතිපත්ති නිර්දේශ සැපයීම. විනිමය අනුපාතිය සහ ජාත්‍යන්තර සංචිත මත ඇති වන යම් පීඩන හඳුනා ගැනීම සඳහා වෙළෙඳපොළ ප්‍රවණතා අධීක්ෂණය කිරීම සහ එවැනි පීඩන අවම කර ගැනීම සඳහා සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම.
    • මිල මට්ටමෙහි සහ උද්ධමන අපේක්ෂාවන්හි හට ගන්නා අසාමාන්‍ය චලනයන්ගෙන් දේශීය මිල ස්ථායිතාවට ඇති වන යම් තර්ජන හඳුනා ගැනීම සහ දේශීය මිල ස්ථායිතාව පවත්වා ගෙන යෑම සඳහා කාලීන නිර්දේශ සැපයීම. දේශීය මිල ස්ථායිතාව පවත්වා ගෙන යෑම සඳහා ක්‍රියාකාරී ප්‍රතිපත්ති නිර්දේශ කිරීමට උද්ධමනය, මුදල් සහ පොලී අනුපාතික ප්‍රවණතා සමීප ව අධීක්ෂණය කිරීම.
    • මුදල් ප්‍රතිපත්ති වාර්තාව, ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ව්‍යවස්ථාපිත වාර්ෂික ප්‍රකාශනය සහ මහ බැංකු අධිපතිගේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළු ව ව්‍යවස්ථාපිත ප්‍රකාශන, වෙනත් ප්‍රකාශන සහ ප්‍රතිපත්ති ප්‍රකාශයන් අනෙකුත් දෙපාර්තමේන්තුවල සහාය ඇතිව සකස් කිරීම.
    • ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අංශයට අදාළ කරුණු පිළිබඳ ව රජය, රජයේ නියෝජිත ආයතන සහ වෙනත් පාර්ශ්වයන් වෙත ක්‍රියාකාරී ප්‍රතිපත්ති උපදේශනය සහ නිර්දේශ සැපයීම. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ නියම කර ඇති පරිදි රාජ්‍ය මූල්‍ය, මුදල් සහ මූල්‍ය ස්ථායිතා ප්‍රතිපත්ති සම්බන්ධීකරණය සඳහා සභාවේ කාර්තුමය රැස්වීම් පැවැත්වීමට ලේකම් ලෙස කටයුතු කිරීම මීට ඇතුළත් වේ.
    • ආදර්ශක පදනම් කරගත් මැදි කාලීන සාර්ව ආර්ථික අපේක්ෂාවන් සම්පාදනය කිරීම ඇතුළු ව දත්ත රැස් කිරීම, සම්පාදනය කිරීම සහ විශ්ලේෂණය කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ දී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සහ/හෝ පාලක මණ්ඩලයේ මගපෙන්වීම සඳහා ප්‍රතිපත්ති පර්යේෂණය සහ ප්‍රතිපත්ති විශ්ලේෂණය සිදු කිරීම හා ආර්ථික ප්‍රවණතා පිළිබඳ ව තොරතුරු මහජනතාව වෙත ලබා දීම.
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම සැකසීමට අදාළ ව කරුණු සම්බන්ධීකරණය.
    • ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ ණය උපදේශකයන් සමග කටයුතු කිරීම.
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් සහ මූල්‍ය සංඛ්‍යාලේඛනවලට අනුව මුදල් සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම සහ පළ කිරීම.
    • පොලී අනුපාතික සංඛ්‍යාලේඛන ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම.
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ගෙවුම් ශේෂ තුලන අත්පොත (BPM6) ට අනුව ගෙවුම් ශේෂ තුලනය, ජාත්‍යන්තර ආයෝජන තත්ත්වය, විදේශීය අංශ සංඛ්‍යාලේඛන සහ විදේශීය ණය සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සහ විශේෂ දත්ත බෙදා හැරීමේ ප්‍රමිතිය සඳහා දත්ත බෙදා හැරීම සම්බන්ධීකරණය කිරීම.
    • ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කිරීමේ පද්ධතිය (ITRS) ඔස්සේ බැංකු වෙතින් දෛනික පදනමක් මත හරස් දේශ සීමා ගනුදෙනු සහ විදේශ විනිමය ගනුදෙනු පිළිබඳ දත්ත රැස් කිරීම සහ ගෙවුම් ශේෂ තුලනය සම්පාදනය කිරීමට ප්‍රතිපත්ති සම්පාදන අරමුණු සඳහා එම දත්ත භාවිත කිරීම.
    • ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දත්ත වාර්තාකරණ සම්මතයන්ට අනුව වෙළෙඳ භාණ්ඩ වෙළෙඳ සංඛ්‍යාලේඛන සම්පාදනය සහ පළ කිරීම.
    • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි රජයේ මූල්‍ය සංඛ්‍යාලේඛන අත්පොතට අනුව රාජ්‍ය මූල්‍ය සංඛ්‍යාලේඛන සම්පාදනය සහ පළ කිරීම.
    • ජාත්‍යන්තර බලශක්ති මිල ගණන්, කෘෂිකර්මය, කර්මාන්ත සහ ආර්ථික සහ සමාජ යටිතලපහසුකම් අංශයන්ට අදාළ ව දත්ත රැස් කිරීම, සම්පාදනය කිරීම සහ විශ්ලේෂණය කිරීම සහ මෙම අංශවලට අදාළ ව ප්‍රතිපත්ති විශ්ලේෂණ/ පර්යේෂණ පැවැත්වීම.
    • ජා.මූ.අ., SEACEN, SAARC මූල්‍යය වැනි බහුපාර්ශ්වික නියෝජිත ආයතන සඳහා ප්‍රධාන සම්බන්ධ කර ගැනීමේ ස්ථානයක් ලෙස කටයුතු කිරීම සහ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වික සංවර්ධන නියෝජිත ආයතන සමග රජය සම්බන්ධීකරණය කිරීම සඳහා පහසුකම් සැලසීම. තව ද, ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතන සහ ජාත්‍යන්තර ආයෝජකයන් සමග සමීප සබඳතා පවත්වා ගෙන යෑම සහ ඔවුන් වෙත සාර්ව ආර්ථික යාවත්කාලීන තොරතුරු සැපයීම.
    • වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවක් පැවැත්වීම, මහ බැංකුවේ ප්‍රමුඛ  සඟරාවක් වන මාණ්ඩලික පත්‍රිකා මාලාව පළ කිරීම සහ දේශීය සහ ජාත්‍යන්තර පර්යේෂණ සහ අධ්‍යයන ආයතන සමග සහයෝගී ව කටයුතු කිරීම මගින් මහ බැංකුව තුළ සහ ඉන් පිටත පර්යේෂණය සහ දැනුම බෙදා ගැනීම ඔස්සේ පර්යේෂණ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම.
    • මහ බැංකුව තුළ සහ ඉන් පිටත විවධ සම්මන්ත්‍රණ, සමුළු, වැඩමුළු, දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සම්පත්දායකයන් සැපයීම.
    • සාර්ව ආර්ථික විශ්ලේෂණයේ ප්‍රතිලාභය අවැසි වන, බාහිර ආයතනවල විවිධ කමිටු සහ මණ්ඩලයන්හි මහ බැංකුව නියෝජනය කිරීම.

දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව

    • මුදල් මෙහෙයුම් තුළින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම:
      • සක්‍රීය විවට වෙළඳපොළ කටයුතු සිදු කිරීම
      • බලපත්‍රලාභී වාණිජ බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත පවත්වා ගැනීම නියාමනය කිරීම
      • වෙළඳපොළ අවශ්‍යතාවන්ට අනුව ද්‍රවශීලතා මෙහෙයුම් සිදු කිරීම
    • වාණිජ බැංකුවල බැංකුව ලෙස ක්‍රියා කිරීම, රජයේ, රාජ්‍ය නියෝජිත ආයතන සහ අනෙකුත් ආයතන සඳහා බැංකුකරු සහ රාජ්‍ය තැන්පතු භාරය ලෙස ක්‍රියාකිරීම
    • රජයට තාවකාලික අත්තිකාරම් සැපයීම
    • තත්කාලීන දළ පියවුම් පද්ධතියේ සහභාගිත්ව ආයතනවල පියවීම් ගිණුම් පවත්වාගෙන යෑම
    • තත්කාලීන දළ පියවුම් පද්ධතියේ සහභාගිත්ව ආයතන සඳහා දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම ලබාදීම  
    • බලයලත් මුදල් තැරැව්කරුවන් නියාමනය කිරීම

ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව

    • ප්‍රමාණවත් ද්‍රවශීලතාවය, සුරක්ෂිතභාවය සහ ප්‍රතිලාභ අරමුණු සහතික කරමින් සහ ස්ථාපනය කරන ලද උපායමාර්ගික වත්කම් වෙන් කිරීමේ රාමුවට අනුකූල වෙමින් විචක්ෂණශීලීව සහ ඵලදායි ලෙස  නිල විනිමය සංචිත කළමනාකරණය සිදු කිරීම. සංචිත කළමනාකරණයට අදාළ ප්‍රධාන ක්‍රියාකාරකම් වනුයේ;
      • විදේශ මුදල් වෙළඳපොළ උපකරණවල ආයෝජන, විදේශ ස්ථාවර ආදායම් උපකරණවල ආයෝජන සහ වෙළඳාම, හරස් මුදල් ගනුදෙනු සහ රත්රන් සඳහා ආයෝජන,
      • සුරැකුම්පත් ණයට දීම, නැවත මිලදී ගැනීම සහ ප්‍රතිමිලදී ගැනීමේ ගනුදෙනු, විදේශ විනිමය හුවමාරු සහ විදේශ විනිමය ඉදිරි වෙළඳපල ගනුදෙනු,
      • දැනුවත් සහ අනාගත විදේශ විනිමය වගකීම් සපුරාලීම සඳහා ද්‍රවශීල විදේශ මුදල් වත්කම් තබාගනිමින් ද්‍රවශීලතාවය පවත්වා ගැනීම, සහ
      • රජය වෙනුවෙන්, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ නමින් ඇති ගිණුමෙහි අරමුදල් කළමනාකරණය කිරීම.
    • විදේශ විනිමය සංචිත කළමනාකරණයේ කාර්ය සාධනය නිතිපතා අධීක්ෂණය කිරීම සහ කාලනුරූපීව ශ්‍රි ලංකා මහ බැංකුවේ කළමනාකරණයට වාර්තා කිරීම. එහි ප්‍රධාන ක්‍රියාකාරකම් අතර;
      • විදේශීය සංචිත කළමනාකරණ වෙළඳ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සහ විදේශීය ගනුදෙනුකරුවන් හඳුනාගැනීම / ඔවුන්ගේ නිසි ක්‍රියාකාරීත්වය දැන ගැනීමට අදාළ අනුකූලතා සම්බන්ධයෙන් ලිපි හුවමාරු සිදු කිරීම,
      • දැනට සිටිනා ගනුදෙනුකරුවන් මුදල් විශුද්ධිකරණය වැළැක්විමට අනුගත විම/ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැලැක්වීමට (AML / CFT) දක්වන අනුකූලතාවය පිළිබඳ වාර්ෂික සමාලෝචනය,
      • ද්වීපාර්ශවික ප්‍රතිපාර්ශවීය ගිවිසුම් / ණය, විදේශීය මහ බැංකු සමඟ මුදල් හුවමාරු ගිවිසුම් සැකසිම සහ ශ්‍රි ලංකා මහ බැංකුවෙහි විදේශ මූල්‍ය කටයුතු සම්බන්ධ අනෙකුත් ක්‍රියාකාරකම් සිදු කිරීම, සහ
      • ශ්‍රි ලංකා මහ බැංකුවේ සංචිත සංඛ්‍යා හා දළ නිල සංචිත සංඛ්‍යා සම්පාදනය කිරීම, සංචිතවල මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙල කිරිම සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ විදේශ සංචිත කළමනාකරණ ක්‍රියාකාරකම් වල කාර්යසාධනය කාලනුරූපීව අධීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම.
    • දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි, විධිමත් හා සුමට ක්‍රියාකාරිත්වය සහතික කිරීම. මෙහි ඇතුලත් ක්‍රියාකාරකම් ලෙස;
      • බලපත්‍රලාභී බැංකු සහ බලයලත් මුදල් තැරැව්කරුවන්ගේ විදේශ විනිමය මෙහෙයුම් අඛණ්ඩව අධීක්ෂණය කිරීම,
      • වෙළඳපල මත පදනම් වූ යාන්ත්‍රනයන් හරහා අක්‍රමවත් වෙළඳපල තත්ත්වයන් හමුවේ විනිමය අනුපාතයේ සිදුවන අධික විචලනයන් කළමනාකරණය කිරීම,
      • දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ පිළිබඳ කාලෝචිත හා ඵලදායී තොරතුරු අදාළ පාර්ශවකරුවන්ට ලබාදීම, සහ
      • වෙළඳපොල විස්ථාරණය කිරීම සඳහා විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීම.
    • ණයට නොගත් ප්‍රභවයන් හරහා විදේශ විනිමය සංචිත ගොඩ නැගීම.

සංඛ්‍යාන දෙපාර්තමේන්තුව

    • මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියට උපකාරී වන කෙටිකාලීන උද්ධමනය සහ දළ දේශීය නිෂ්පාදිතය පුරෝකථනය කිරීම.
    • කෙටිකාලීන උද්ධමනය සහ දළ දේශීය නිෂ්පාදිතය පුරෝකථනය කිරීමට අවශ්‍ය දත්ත රැස් කිරීම සඳහා විවිධ සමීක්ෂණ සිදුකිරීම. එනම්, නිෂ්පාදන, ඉදිකිරීම් සහ සේවා සඳහා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශක (PMI) සමීක්ෂණය, උද්ධමන අපේක්ෂාවන් පිළිබඳ සමීක්ෂණය, ප්‍රවාහනය පිළිබඳ සමීක්ෂණය, ව්‍යාපාර අපේක්ෂා පිළිබඳ සමීක්ෂණය (BOS), ණය සැපැයුම පිළිබඳ සමීක්ෂණය, ණය ඉල්ලුම පිළිබඳ සමීක්ෂණය, සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය සහ රාජ්‍ය අංශයේ රැකියා පිළිබඳ සමීක්ෂණය.
    • කෙටිකාලීන උද්ධමනය පුරෝකථනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ දීප ව්‍යාප්ත දත්ත රැස් කිරීමේ වැඩපිළිවෙළ මඟින් සහ වෙළඳපොළ මධ්‍යස්ථාන 06 කින් තෝරාගත් පාරිභෝගික ආහාර ද්‍රව්‍ය පිළිබඳ මිල දත්ත රැස් කිරීම.
    • විවිධ දර්ශක සම්පාදනය කිරීම. එනම්, පළාත් පාරිභෝගික මිල දර්ශක, තොග මිල දර්ශකය, වැටුප් අනුපාත දර්ශක, සිල්ලර වෙළඳාම් පරිමා දර්ශකය, සමස්ත සාධක ඵලදායිතාව, ඉඩම්, සහාධිපත්‍ය නිවාස සහ නිවාස සඳහා දේපල මිල දර්ශක සහ ඉඩම් තක්සේරු දර්ශකය.
    • නාමික පළාත් දළ දේශීය නිෂ්පාදිතය (PGDP) සම්පාදනය කර ප්‍රකාශයට පත් කිරීම.
    • සමස්ත ශ්‍රී ලංකාවේ සහ එක් එක් පළාත්වල සෞභාග්‍ය තත්ත්වය මැන බැලීම සඳහා වන ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය සම්පාදනය කර ප්‍රකාශයට පත් කිරීම.
    • උද්ධමනය, ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශක, පළාත් දළ දේශීය නිෂ්පාදිතය, ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන මෙන්ම වෙනත් විවිධ කරුණු පිළිබඳ පුවත්පත් නිවේදන නිකුත් කිරීම.
    • ආහාර අයිතම පිළිබඳ මිල වාර්තාව දෛනිකව ප්‍රකාශයට පත් කිරීම, දිනපතා, සතිපතා හා මාසික ආර්ථික දර්ශක ප්‍රකාශයට පත් කිරීම සහ දත්ත පුස්තකාලය (Data Library) හරහා නිල සංඛ්‍යාලේඛන බෙදා හැරීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව, මෑත කාලීන ආර්ථික ප්‍රවණතා වාර්තාව සහ රජයට ඉදිරිපත් කරනු ලබන සැප්තැම්බර් 15 වාර්තාව නම් වූ රහස්‍ය වාර්තාව ආදී ව්‍යවස්ථාපිත වාර්තා සකස් කිරීමේ කටයුතු වලට දායක වීම.
    • “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන” සහ “ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත” ප්‍රකාශන සකස් කොට ප්‍රකාශයට පත් කිරීම.
මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව

1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 33 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව ස්ථාපිත කරණ ලදී. බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන, බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන් සහ ශ්‍රී ලංකා ගෙවීම් හා පියවීම් පද්ධතිය හා සම්බන්ධවන්නන් යන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතනයන් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවෙහි විෂය පථය වනු ඇත.

    • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන ආයතනයන්හි පාරිභෝගිකයින් විසින් යොමුකරණු ලබන සියළුම පැමිණිලි සහ දුක්ගැනවිලි භාර ගැනීම සහ ඒවා සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වූ තනි ඒ්කකයක් ලෙස මෙම මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව මේ වන විට සේවය සපයනු ඇත.
    • මැදි කාලීනව,
      • මූල්‍ය ආයගනයන්ගේ වෙළඳ පොළ හැසිරීම පිළිබඳ ප්‍රමිතීන් අධීක්ෂණය කිරීම.
      • දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පොළ සංවර්ධනයන් හා යහපත් පරිචයන්ට අනුකූලව මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ ප්‍රතිපත්ති සමාලෝචනය.
      • අක්‍රමිකතා හා විෂමාචාරයන් සම්බන්ධයෙන් ක්‍රියාශීලී හා ප්‍රතික්‍රියක ක්‍රියාමාර්ග ගැනීම සහ මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ ගැටළු තුළ පවත්නා අවදානමට ලක්වියහැකි තත්වයන් හඳුනා ගැනීම සහ අධීක්ෂණය

යන ප්‍රධාන ක්‍රියාකාරකම් කෙරෙහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සිය අවධානය යොමු කෙරේ.

තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තොරතුරු තාක්ෂණ මෙහෙයුම් හා පද්ධති සපයාදීම පිළිබඳ වගකීම.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

    • ප්‍රාදේශීය ආදායම් විෂමතාව අවම කරමින් ග්‍රාමීය ප්‍රජාව තුළ රැකියා අවස්ථාවන් වැඩි ප්‍රමාණයක් බිහි කිරීම සහ විධිමත් මූල්‍ය අංශය ඔස්සේ නිෂ්පාදන අභිමුඛ ආර්ථික කටයුතු සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් සඳහා ණය පරිපූරක සේවා ලබා දීම, සහන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, ඒ සඳහා පහසුකම් සැලසීම සහ එම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශවයන්ට මඟ පෙන්වීම තුළින් ග්‍රාමීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.
    • සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් සපයනු ලබන ණය යෝජනා ක්‍රමයන් සඳහා පොලී සහන සහ ණය ඇප ආවරණ සැපයීම මඟින් කෘෂිකාර්මික, පශු සම්පත්, ධීවර කර්මාන්තය, ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආශ්‍රිත වෙනත් ආදායම් උත්පාදන කටයුතුවල නියැලෙන රටේ අවදානමට ලක් විය හැකි කාණ්ඩ වෙත ණය පහසුකම් ලබාදීමට සහභාගීත්ව මූල්‍ය ආයතන දිරිමත් කිරීම.
    • රටේ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගය සැකසීමේ වැඩපිළිවෙලෙහි කටයුතු අධීක්ෂණය, සම්බන්ධීකරණය සහ ඇගයීම.
    • මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගයෙහි අරමුණුවලට අනුකූලව, ප්‍රධාන වශයෙන් රටේ අඩු පහසුකම් සහිත කොටස් ඉලක්ක කර ගනිමින් පොදු මහ ජනතාවගේ සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවය, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ ව්‍යාපෘති කළමනාකරණ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා දැනුම්වත් කිරීමේ සහ ධාරිතා සංවර්ධනය කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
    • තිරසාර සංවර්ධනය සඳහා ගුණාත්මක ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සිදු කිරීමට කෘෂිකාර්මික අපනයන සහ වෙළඳපොළ සම්බන්ධ අගයදාම ප්‍රවර්ධනය සහ අඩු පහසුකම් සහිත ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම අරමුණු කරගනිමින් ප්‍රජාව අතර සෞඛ්‍ය සම්පන්න උසස් ජීවන තත්ත්වයන් සහ යහපත් පුරුදු වැඩිදියුණු කිරීමට හරිත සංකල්පය යටතේ තෝරාගත් ගම්මාන හරිත ගම්මාන බවට පරිවර්තනය කිරීම තුළින් පරිසර හිතකාමී ගම්මාන ප්‍රවර්ධනය කිරීම.
    • ප්‍රාදේශීය මට්ටමේ ගැටලු සහ නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමේ ක්ෂේත්‍ර චාරිකා පැවැත්වීම මෙන්ම ප්‍රාදේශීය කාර්යාල හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලබන සේවාවන් ප්‍රාදේශීය මට්ටමට ලබා දීම සහ ප්‍රාදේශීය සංසද හරහා ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම.

සන්නිවේදන දෙපාර්තමේන්තුව

බාහිර හා අභ්‍යන්තර සන්නිවේදන සේවා සැපයීම, පුස්තකාල සේවා, මුද්‍රණ සේවා හා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය කළමණාකරනය කිරීම පිළිබඳ වගකීම.

මූල්‍ය පද්ධති ස්ථායිතා පර්ෂදය

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

    • බලපත්‍රලාභී බැංකු සඳහා විචක්ෂණශීලී නියාමන සකස් කිරීම සහ නිකුත් කිරීම.
    • තත්කාලීන වෙළඳපොළ සිදුවන නව විකාශයන් සහ අන්තර්ජාතික ප්‍රශස්ත පරිචයන්ට සමගාමීව, පවත්නා නියාමන හා අණ පනත් සමාලෝචනය හා යාවත්කාලීන කිරීම.
    • ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සහ විශේෂිත බැංකු සඳහා බලපත්‍රලබා දීම.
    • බලපත්‍රලාභී බැංකු වල අඛණ්ඩ පරීක්ෂණ පැවැත්වීම.
    • බලපත්‍රලාභී බැංකු වල කාලීන ව්‍යවස්ථාපිත පරීක්ෂණ පැවැත්වීම.
    • බලපත්‍රලාභී බැංකු විසින් නියාමන අනුමැතීන් සඳහා කරනු ලබන ඉල්ලීම් සලකා බැලීම සහ අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුයේ පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව අවශ්‍ය අවස්ථාවන් හිදී සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීම.
    • වෙළඳපොළ අවශ්‍යතා මත පදනම්ව බලපත්‍රලාභී බැංකු ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැපයීම.
    • බලපත්‍රලාභී බැංකු, විගණන ආයතන සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සවිමත් සන්නිවේදන පවත්වාගෙන යාම.
    • බැංකු ක්ෂේත්‍රයේ ශක්‍යතා වර්ධනය සඳහා පහසුකම් සැලසීම.

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

    • බැංකු නොවන මූල්‍ය ආයතන, බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය ආයතන සහ ප්‍රාථමික අලෙවිකාර සමාගම් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.
    • දැනට පවතින නියාමන රාමුව පරිපූර්ණ දැක්මකින් විධිමත් කිරීමේ අරමුණින් බැංකු නොවන මූල්‍ය ආයතන අංශයට අදාළ පනත් සමාලෝචනය සහ සංශෝධනය සහ වර්තමාන වෙළදපොල සංවර්ධනයට සමාගාමීව නව නියාමන නිකුත් කිරිම.
    • බැංකු නොවන මූල්‍ය ආයතන ඒ්කාබද්ධ කිරීමේ වැඩසටහන ප්‍රවර්ධනය සහ ව්‍යාපාර මෙහෙයුම් ශක්තිමත් කිරීම.
    • බැංකු නොවන මූල්‍ය ආයතන වලට අදාළව කඩිනම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග සඳහා ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපනය කිරීම.
    • අනවසර මූල්‍ය ව්‍යාපාර සහ කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සීමා කිරීම.
    • මූල්‍ය අන්තර්ගතකරණ උපායමාර්ග සහ මූල්‍ය පාරිභෝගික ආරක්ෂාව සඳහා රාමුවක් නිර්මාණය කිරිමට පහසුකම් සැලසීම.
    • බැංකු නොවන මූල්‍ය  ආයතන, විගණකවරුන් සහ අනෙකුත් නියාමන ආයතන සමඟ පවත්නා සන්නිවේදනය ශක්තිමත් කිරිම.
    • බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ එමඟින් අධීක්ෂණය වන ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ නිපුණතා වැඩි දියුණු කිරීම.

සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුව

    • කාර්තුමය මූල්‍ය ස්ථායිතා ඇගයීම් වාර්තා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීම.
    • මූල්‍ය අංශයේ අවදානම් ඇගයීම් වාර්තා මූල්‍ය පද්ධති ස්ථායිතා කමිටුවට (Financial System Stability Committee-FSSC) සහ මුදල් ප්‍රතිපත්ති කමිටුවට (Monitory Policy Committee) ඉදිරිපත් කිරීම.
    • මූල්‍ය ආයතනවල ඔරොත්තුදිමේ හැකියව තක්සේරු කිරීම සඳහා පද්ධතිමය ආතති පරීක්ෂා (Systemic Stress Tests) සිදුකිරිම.
    • මූල්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතා සහ වත්කම් මිල බුබුලු ගොඩනැගීම් තක්සේරු කිරීම ඇතුළුව මූල්‍ය ස්ථායිතාව ඇගයීම් සඳහා ක්‍රමවේදයක් සථාපනය කිරීම.
    • මූල්‍ය පද්ධති ස්ථායිතාව පිළිබඳ වෙළඳපොළ සහභාගිවන්නන්ගේ ආකල්ප හඳුනා ගැනීමේ අරමුණින් මූල්‍ය පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණය පැවැත්වීම.
    • අදාළ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කර මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ හා සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
    • මූල්‍ය පද්ධති ස්ථායිතා කමිටුව (FSSC)  සහ මූල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුව (FSOC) සඳහා  ලේකම් කටයුතු සැපයීම.
    • වාර්ෂික මූල්‍ය පද්ධති ස්ථායිතා සමාලෝචන වර්තාව (Financial System Stability Review) සකස් කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම.
    • මහ බැංකුවේ වාර්ෂික වාර්තාව, සැප්තැම්බර් 15 වාර්තාව සහ මෑත කාලීන ආර්ථික වර්ධනයන් වැනි ව්‍යවස්ථාපිත සහ වෙනත් වාර්තා සඳහා දායක වීම.
    • මූලික මූල්‍ය පද්ධති ස්ථායිතා දර්ශකවල කාල ශ්‍රේණි (Time Series) ගොඩනැගීම හ පවත්වාගැනීම.
    • මහ බැංකුවේ අනෙකුත් දෙපාර්තමේන්තු හා බාහිර ප්‍රභව සම්බන්ධීකරණයෙන් මූල්‍ය ස්ථායිතාවයට වන අවදානම ගොඩනැගීම් (Build-up of Risk)ඇගයීම සඳහා මුල්‍ය අංශයේ ප්‍රධාන විචල්‍යයන්ගේ දත්ත ගබඩාව සංවර්ධනය කිරීම.

විදේශ විනිමය දෙපාර්තමේන්තුව

    • ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ප්‍රවර්ධනය හා නියාමනය කිරීම (ජංගම සහ ප්‍රාග්ධන ගනුදෙනු)
    • විදේශ විනිමය කළමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා නියෝග/නියම/විධාන සැකසීම.
    • අවශ්‍ය වූ විට සහ අවශ්‍ය වන පරිදි නියෝග/නියම/විධාන/ප්‍රතිශෝධනය කිරීම.
    • විදේශ විනිමය නියෝග/විධාන පිළිබඳ මහජනතාව/පාර්ශ්වකරුවන්ගේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම.
    • විදේශ මුදල් හුවමාරු කිරීමේ ව්‍යාපාරයෙහි නිරතවීම සඳහා අවසර ප්‍රදානය කිරීම.
    • බලයලත් වෙළෙඳුන් විසින් සහ පරිසීමිත වෙළෙඳුන් වාර්තා කරන ලද විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය කිරීම සහ එම තොරතුරු විශ‍්ලේෂණය කිරීම මගින් දිනපතා/මාස්පතා සහ කාර්තුමය වශයෙන් වාර්තා පිළියෙල කිරීම.
    • විදේශ විනිමය පනත ප්‍රකාරව අනුකූල නොවීම පිළිබඳව විමර්ශන පැවැත්වීම.
    • වත්මන් නියෝග, නියම සහ විධාන යටතේ ආවරනය නොවන අවස්ථා සඳහා විශේෂ අවසර ප්‍රදානය කිරීම.

සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුව

දායක මුදල් ලබාගැනීම, සාමාජික ගිණුම් පවත්වා ගැනීම, අරමුදල් ආයෝජනය සහ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වෙත ප්‍රතිලාභ ගෙවීම පිළබඳ වගකීම.

මූල්‍ය දෙපාර්තමේන්තුව

    • ශ්‍රී ලංකා මහ බැංකු පනත හා ජාත්‍යන්තර මූල්‍ය වාර්ථාකරණ ප්‍රමිතයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාසික හා වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුවේ උපායමාර්ගික සැලසුම යටතේ ඒ ඒ දෙපාර්තමේන්තුවල ක්‍රියාකාරී සැලසුම් අනුව මහ බැංකුවේ වාර්ෂික අයවැය ලේඛණය පිළියෙළ කිරීම.
    • අයවැය ප්‍රතිපාදනයන්ට යටත්ව මහ බැංකුවේ බාහිර සැපයුම්කරැවන් හා මහ බැංකු සේවකයන් ඇතුළු අභ්‍යන්තර පාර්ශවයන් සඳහා ගෙවීම් සිදු කිරීම.
    • නිසි වේලාවට හා නිවැරදිව විදේශ ණය පියවීම හා විදේශ දායක අරමුදල් මුදාහැරීම.
    • මහ බැංකු කාර්යමණ්ඩල ණය අයකිරීමේ පද්ධතිය යාවත්කාලීනව පවත්වාගෙන යාම.
    • පිළිගතහැකි අවදානම් සම්මතයන්, ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අභ්‍යන්තර අරමුදල් සඳහා වන මාර්ගෝපදේශයන් ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකු අභ්‍යන්තර අරමුදල් විචක්ෂණශීලී ලෙස ආයෝජනය කිරීම.
    • මහ බැංකුවේ මූල්‍ය තත්ව ප්‍රකාශනයට පරිබාහිරව පවත්වාගෙන යන විශ්‍රාමික පාරිතෝෂික අරමුදල් සඳහා වන වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත හා ජාත්‍යන්තරව පිළිගත් පරිචයන්ට අනුකූලව පිළියෙළ  කිරීම.
    • වඩාත් සකසුරුවම් දායකව සහ බැංකුවට වාසිදාකය අයුරින් ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සහ බැහැර කිරීම් සිදු කිරීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවර වත්කම් භෞතික සත්‍යාපනය සිදු කිරීම, ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කිරීම සහ මූල්‍ය වාර්ථාකරණයෙහි සඵලදායී අභ්‍යන්තර පාලනයන් වඩාත් ශක්තිමත් කිරීම.

ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව

ලංකා සෙට්ල් පද්ධතිය ක්‍රියාත්මක කිරීම, ගෙවීම් සේවා හා නිෂ්පාදන නියාමනය කිරීම හා දේශීය ගෙවීම් සහ පියවීම් පද්ධතිය අධීක්ෂණය කිරීම පිළිබඳ වගකීම.

ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ දෙපාර්තමේන්තුව

    • ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උපාය මාර්ගික ක්‍රියාමාර්ග සැලසුම සකස් කිරීම පිණිස උපාය මාර්ගික කතිකාවත පැවැත්වීම.
    • උපාය මාර්ගික ක්‍රියාමාර්ග සැලසුම ක්‍රියාත්මක කිරීමේ දී ළඟා කර ගත් ප්‍රගතිය නිරීක්ෂණය සහ ඇගයීම සඳහා කාලීන සමාලෝචන රැස්වීම් පැවැත්වීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු කාලෝචිත ව හා ඵලදායී ව සාක්ෂාත් කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා අනෙකුත් නිරීක්ෂණයන් සහ නිර්දේශයන් ද සමඟ සමාලෝචිත ප්‍රගතිය ආයතනික  කළමනාකාරිත්ව කමිටුවට සහ මුදල් මණ්ඩලයට වාර්තා කිරීම.
    • හඳුනා ගන්නා ගැටළුවලට පිළියම් වශයෙන් වැඩි දියුණු කරන ලද ප්‍රතිපත්ති සැලසුම් කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසමින් තෝරාගත් ප්‍රතිපත්ති පිළිබඳ ව ස්වාධීන ඇගයීම් සිදු කිරීම.

නියෝජිත කටයුතු හා ආයතනික සේවා පර්ෂදය

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

 

මුදල් නීති පනතේ 113 වන වගන්තිය ප්‍රකාරව රාජ්‍ය ණය කළමනාකරණය සඳහා රජයේ නියෝජිතයා ලෙස මහ බැංකුවේ ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කිරීම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙහි වගකීම වේ. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන අරමුණු සහ කාර්යයන් අතරට පහත සඳහන් දෑ ඇතුලත් වේ.

    • රජයේ ණය පැතිකඩ (debt profile) වැඩිදියුණු කිරීම සඳහා විචක්ෂණශීලී ණය කළමනාකරණ උපාය මාර්ගයක් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ උපදෙස් දීම මගින් අවම පිරිවැයක් යටතේ සහ විචක්ෂණශීලී අවදානම් මට්ටමකින් යුතුව රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම.
    • රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සංවර්ධනය කිරීම, රජයේ සුරැකුම්පත් සඳහා වූ ද්විතීයික වෙළඳපොළ වැඩි දියුණු කිරීම සහ පුළුල් කිරීම තුළින් රජයේ සුරැකුම්පත් සඳහා වූ ප්‍රාථමික වෙන්දේසි සඳහා ඵලදායී සහභාගීත්වය ඉහළ නංවන අතරම රජයේ සුරැකුම්පත් වෙළඳපොළ විනිවිදභාවය පිලිබඳ ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගෙන යෑම.
    • විසර්ජන පනතට හෝ වෙනත් අදාළ නීති/අවසරයන්ට අනුකූලව හා මුදල් අමාත්‍යංශයේ එකඟතාව සහිතව, රජයේ දළ ණය ගැනීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට අරමුදල් රැස් කිරීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළ තුළ සුරැකුම්පත් නිකුත් කිරීම.
    • ණය සේවාකරණ ගෙවීම් නිවැරදිව හා නියමිත කාලයට අනුකූලව සිදු කිරීම මඟින් රජයේ නොකැළැල් ණය සේවාකරණ වාර්තාව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට පහසුකම් සැලසීම.
    • රජයේ සුරැකුම්පත්වල හිමිකම් ලේඛනය, මධ්‍යම තැන්පතු පද්ධතිය තුළ පවත්වාගෙන යෑම.
    • රජයේ සුරැකුම්පත්වල වෙළඳපොළ ගනුදෙනු පියවීම සුමටව සිදුකිරීමට පහසුකම් සැලසීම සඳහා ලංකාසෙක්‍යු පද්ධතිය පවත්වාගෙන යෑම.
    • මධ්‍යම රජයේ ණය කළඹේ අවදානම් කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ණය කළඹෙහි පවතින ගතිකතා පිළිබඳව විශ්ලේෂණ සිදු කිරීම.

ලේකම් දෙපාර්තමේන්තුව

    • වාර්ෂික ප්‍රසම්පාදන සැළැස්ම සකස් කිරීම සහ එම සැළැස්මට අනුව, භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කිරීම.
    • ලිපිද්‍රව්‍ය ගබඩාවට අදාළ කටයුතු සිදු කිරීම.
    • අනෙක් දෙපාර්තමේන්තුවල ප්‍රසම්පාදන කටයුතු සඳහා සහාය වීම.
    • සමීක්ෂණ මණ්ඩලය හා සම්බන්ධ කටයුතු සිදු කිරීම සහ යල්පිනූ ලේඛන, ලිපිද්‍රව්‍ය හා අනෙකුත් ප්‍රාග්ධන නොවන භාණ්ඩ බැහැර කිරීම සම්බන්ධීකරණය කිරීම.
    • බැංකුවේ වත්කම්වල අවදානම් තක්සේරු කිරීමෙන් අනතුරුව වත්කම් සඳහා තරගකාරී මිල ගණන් යටතේ විස්තීර්ණ රක්ෂණාවරණයක් ලබා ගැනීම.
    • රාජකාරී හෝ පුද්ගලික හේතු මත විදේශගත වන බැංකුවේ සේවා නියුක්තිකයන්ට සහාය වීම.
    • නිවාඩු ලබාදීම සහ බැංකුවේ පරිපාලනය හා සම්බන්ධ අනෙකුත් කටයුතු සිදු කිරීම.
    • බැංකුවේ සේවා නියුක්තිකයන්ගේ පුහුණු සහ කුසලතා සංවර්ධන කටයුතු සඳහා පහසුකම් සැළසීම.‍
    • තැපැල් කාමරයට අදාළ කටයුතු සිදු කිරීම සහ සැමරුම් උත්සව පැවැත්වීම.
    • විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීම සහ විශ්‍රාම ප්‍රතිලාභ ක්‍රමවලට අදාළ අනෙකුත් කටයුතු සිදු කිරීම.

පහසුකම් කළමණාකරන දෙපාර්තමේන්තුව

බැංකු පරිශ්‍රය සහ භෞතික වත්කම් නඩත්තු කිරීම පිළිබඳ වගකීම.

මානව සම්පත් දෙපාර්තමේන්තුව

සේවකයන් බඳවා ගැනීම, ඔවුන් දෙපාර්තමේන්තුවලට අනුයුක්ත කිරීම, පුහුණුකිරීම, උසස් කිරීම සහ නිපුණතා අභිප්‍රේරණය කිරීම සහ පුහුණු කිරීම් හා සංවර්ධනය කිරීම් ඔස්සේ මහ බැංකු සේවකයන් ගේ දක්ෂතා, නිපුණතා අභිප්‍රේරණය හා ඵලදායීතාව වර්ධනය කිරීම පිළබඳ වගකීම.

ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

    • මහ බැංකු පරිශ්‍රයන්හි ආරක්ෂාව ශක්තිමත් කිරිම.
    • මුදල් ප්‍රවාහන කටයුතු වලදී ආරක්ෂාව සැපයීම.
    • මහ බැංකු පරිශ්‍රය තුළ ආරක්ෂණ හා ආවේක්ෂණ කටයුතු සිදුකිරීම.
    • ගිනි අවදානම අවම කිරීම සඳහා මහ බැංකු පරිශ්‍රයන්හි ගිනි ආරක්ෂණ පද්ධතිය පාලනය කිරීම.
    • ව්‍යපාර අඛණ්ඩතා සැලස්ම ක්‍රියාත්මක කිරීමට සහය දැක්වීම.
    • ආරක්ෂක අමාත්‍යාංශය හා ආරක්ෂාව සම්බන්ධව ආයතන සමඟ මහ බැංකු පරිශ්‍රයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු පැවැත්වීම.
    • මහ බැංකු ආරක්ෂක නිලධාරී මණ්ඩලය හා අනෙකුත් සේවකයින් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම‍.
    • මහ බැංකු පරිශ්‍රයන්ට ඇතුලුවීම හා පිටවීම් කළමනාකරණය කිරිම.

ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව තුළ මහජන ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් පරිදි සහ ගුණාත්මකභාවයෙන් යුත් වලංගු මුදල් පවතින බව තහවුරු කිරීම සහ ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම.
ඒ සඳහා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් ප්‍රධාන කාර්යයන් සිදු කරනු ලැබේ.
    • මහජන ඉල්ලුම සපුරාලීම සඳහා මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීම.
    • අනාගත මුදල් නෝට්ටු හා කාසි අවශ්‍යතා ඇස්තමේන්තු කර සුදුසු අවස්ථාවන්හි දී ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම.
    • බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් මුදල් නෝට්ටු සහ කාසි තැන්පතු භාර ගැනීම.
    • පළුදු වූ මුදල් නෝට්ටු හුවමාරු කිරීම සඳහා මහජන කවුළුවක් පවත්වාගෙන යාම.
    • බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් තැන්පත් කරන ලද මුදල් තේරීම, ගණනය කිරීම, ව්‍යාජ අව්‍යාජ බව පරීක්ෂා කිරීම සහ තවදුරටත් සංසරණය සඳහා යෝග්‍ය නොවන මුදල් නෝට්ටු සහ කාසි භාවිතයෙන් ඉවත් කිරීම.
    • ව්‍යාජ මුදල් සකස් කිරීමේ උත්සාහයන් නිශේධනය කිරීම සහ වැළැක්වීම සඳහා නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට සහාය වීම.
    • මුදල් නෝට්ටු වල ආරක්ෂිත සළකුණු සහ මුදල් නෝට්ටු හා කාසි නිසි ලෙස භාවිතය පිළිබඳ මහජනතාවගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
    • අවශ්‍ය අවස්ථාවන්හි දී නව ආරක්ෂණ සළකුණු හඳුන්වාදීම මගින් මුදල් නෝට්ටු වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම.
    • විශේෂ පුද්ගලයෙක් හෝ සිදුවීමක් සනිටුහන් කිරීම සඳහා සමරු නෝට්ටු/ කාසි නිකුත් කිරීම.

බැංකු විදු පියස

    • මහ බැංකුවේ සහ අනෙකුත් මූල්‍ය ආයතන වල නිලධාරීන් සඳහා මහ බැංකුකරණය, බැංකු හා මූල්‍ය, ආර්ථික විද්‍යාව, කළමනාකරණය, භාෂා සහ තොරතුරු තාක්ෂණය යන කේෂත්‍ර වල පුළුල් පරාසයක විහිදෙන ශක්‍යතා වර්ධන සහ කුසලතා සංවර්ධන වැඩසටහන්, සම්මන්ත්‍රණ සහ වැඩමුළු සංවිධානය කරයි.
    • අග්නිදිග ආසියානු මහ බැංකු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය (SEACEN), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), විදේශ මහ බැංකු සහ වෙනත් ජාත්‍යන්තර මට්ටමේ පුහුණු ආයතනවල සහයෝගීතාවයෙන් දේශීය මෙන්ම විදේශීය රටවල නිලධාරීන් සදහා ද පුහුණු වැඩසටහන්, සම්මන්ත්‍රණ සහ වැඩමුළු සංවිධානය කරයි.
    • පුහුණු පාඨමාලා පැවැත්වීමට අදාල විෂයානුබද්ධ සංවර්ධනයන් සිදු කිරීමේ දී අවශ්‍ය උපදෙස් ලබාගැනීමේ අරමුණින් ස්ථාපනය කරනු ලබන පුහුණු පාඨමාලා උපදේශන කමිටුවක සේවාව ලබා ගනියි.
    • වාර්ෂික පදනම මත, බැංකු විදු පියෙස මූල්‍ය අංශයේ වෘත්තීයවේදින්ගේ වර්තමාන සහ අනාගත පුහුණු අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සිය වැඩසටහන් මාලාව ප්‍රකාශයට පත්කරයි.
    • මූල්‍ය සේවා අංශයෙහි ප්‍රධාන කේෂත්‍රයන්හි නිපුණතා සහ දැනුම් පරතරය පියවා ගැනීම සඳහා කර්මාන්තයේ විශේෂ පුහුණු සහ අනුකූලතා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරයි.
    • ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂඨ නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉලක්ක කරගනිමින්, මූල්‍ය කේෂත්‍රයේ ජාත්‍යන්තර ප්‍රවීණයකුගේ සම්පත් දායකත්වයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීම.
    • නව තාක්ෂණික සංවර්ධනයන්ට සමගාමීව, රට තුල මෙන්ම කලාපයෙහි මූල්‍ය කේෂත්‍රයේ වෘත්තීයවේදීන්ට අවශ්‍ය දැනුම, කුසලතාව සහ අත්දැකීම් ලබාදීම සඳහා පවත්නා පුහුණු වැඩසටහන් සංශෝධනය සහ නව වැඩසටහන් සැලසුම් කිරීම, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පවත්වනු ලබයි.
    • අඛණ්ඩව පුහුණු අවශ්‍යතා සමීක්ෂණ සිදු කරන අතර විවිධ අංශයන්හි විශේෂයෙන් බැංකු හා මූල්‍ය අංශයෙහි විද්වතුන් සමඟ ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීම උදෙසා සාකච්ඡාවන්හි නියැලෙනු ලබයි.
    • ශ්‍රී ලංකා මහ බැංකුවෙහි දෙපාර්තමේන්තු කිහිපයක් සමඟ සහයෝගයෙන්, රට තුල ප්‍රාදේශීය මට්ටමින් පාසල් සිසුන්, ගුරුවරුන්, විශ්වවිද්‍යාල සිසුන් හා ආචාර්යවරුන් සඳහා විවිධ සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම.
    • මූලික වශයෙන් උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ඉලක්ක කරගනිමින් සිංහල හා දෙමළ මාධ්‍යයන් වලින් අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීම.
    • පිළිගත් දේශීය හා විදේශීය ප්‍රවීණයින්ගේ සම්පත් දායකත්වයෙන් කාලීන ආර්ථික කරුණු පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
    • බැංකු විදු පියෙසෙහි පුහුණු වැඩසටහන් සහභාගීවන්නන්ට, සහ රජයේ සහ මූල්‍ය ආයතනවල නිලධාරීන්ට රාජකාරී කටයුතු මත පදනම්ව නවාතැන් පහසුකම් සැපයීම.
    • රාජකාරී අවශ්‍යතා සඳහා රාජ්‍ය සහ මූල්‍ය ආයතනවලට අවශ්‍ය ශාලා පහසුකම්, ආහාර පාන සහිතව ලබාදෙනු ලබයි.

කාර්යමණ්ඩල සේවා කළමනාකරණ දෙපාර්තමේන්තුව

    • නිවාස ණය අනුමත කිරීම සහ ප්‍රදානය කිරීම.
    • අර්ථසාධක අරමුදල් ණය සහ කාර්යමණ්ඩල සුභසාධන ණය අනුමත කිරීම සහ ප්‍රදානය කිරීම.
    • සියළුම සේවා නියුක්තයන් සහ විශ්‍රාමිකයන්ට කාර්යමණ්ඩල නිවාස උකස් ණය යෝජනා ක්‍රමය යටතේ ඇති ණය සහ ණය අයකර ගැනීම පිළිබඳ නිවැරදි තොරතුරු කාලීන සහ ගුණාත්මක ආකාරයෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම.
    • සේවා නියුක්තිකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වෛද්‍ය වියදම් බිල්පත් ඔවුන්ගේ ඉල්ලීම මත කඩිනම්ව ප්‍රතිපූරණය කිරීමට පියවර ගැනීම.
    • වෛද්‍ය ප්‍රතිලාභ ක්‍රමය අලුත් ලියාපදිංචිවීම් සමග යාවත්කාලීන කිරීම.
    • වෛද්‍ය සේවා මධ්‍යස්ථානය මගින් කාර්යමණ්ඩලයට රාජකාරි වේලාව තුලදී කඩිනම් සේවාවක් ලබාදීම.
    • රසවත් සහ පෝෂ්‍යදායි ලෙස උදෑසන සහ දිවා ආහාර ලබාදීමට සහ දෙපාර්තමේන්තුවල විශේෂ අවස්ථාවන්හිදී ආහාරපාන ලබාදීමට කටයුතු සැලසීම.
    • සේවා නියුක්තිකයන්ට සුභසාධන පහසුකම් ලබාදීම දියුණු කිරීමට සහ යාවත්කාලීන කිරීමට පියවර ගැනීම.
    • ශ්‍රී ලංකා මහ බැංකු මරණාධාර ක්‍රමය, ශ්‍රී ලංකා මහ බැංකු අවමංගල්‍ය සහනාධාර අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවා නියුක්තයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ ආපදා සහන අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකු ව්‍යසන සහන අරමුදල යටතේ පහසුකම් සැලසීම සහ ඒවායේ අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම සහ අධීක්ෂණය.
    • සියළුම සේවා නියුක්තිකයන් සඳහා හදිසි අනතුරු වෙනුවෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආකාරයෙන් සමූහ පුද්ගල රක්ෂණ ආවරණයක් ක්‍රියාත්මක කිරීම.
    • දෙපාර්තමේන්තුවේ සියළුම වැඩවලදී මූල්‍ය මෙහෙයුම් සහ අනෙකුත් අවදානම් පාලන ක්‍රියාමාර්ග මගින් අවම කිරීමට පියවර ගැනීම.
    • දෙපාර්තමේන්තු අයවැය පිළියෙල කිරීම, දෙපාර්තමේන්තු අරමුණු සකස් කිරීම, කාර්යසාධන ඇගයීම් කටයුතු, ප්‍රගති වාර්තා පිළියෙල කිරීම, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ දෙපාර්තමේන්තුව තුල අනෙකුත් පාලන කටයුතු ක්‍රියාත්මක කිරීම.

නියෝජිත කටයුතු හා ආයතනික සේවා පර්ෂදය

මූල්‍ය බුද්ධි ඒකකය

    • සියලුම වාර්තාකරණ ආයතනවලින් මුදල් ගනුදෙනු වාර්තා, ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු සහ සැක සහිත ගනුදෙනු වාර්තා ලබා ගැනීම.
    • නඩු පැවරීමට සහාය වීම සඳහා මූල්‍ය මාර්ග හඳුනා ගැනීම සඳහා එකතු කරන ලද දත්ත විශ්ලේෂණය කිරීම. දත්ත විශ්ලේෂණය ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් යුක්ත වේ; උපායශීලී, මෙහෙයුම් සහ උපායමාර්ගික.
    • මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම බොහෝ විට දේශ සීමා හරහා කරනු ලබන ක්‍රියාකාරකම් වන බැවින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තොරතුරු බෙදා හැරීම.
    • ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම සහ වාර්තා තබා ගැනීම පිළිබඳව මූල්‍ය හා වෙනත් වාර්තාකරණ අංශවලට රීති නිකුත් කිරීම.
    • මුදල් විශුද්ධිකරණ වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද රීතිවලට අනුව මූල්‍ය හා වෙනත් වාර්තාකරණ අංශවල අනුකූලතාව සහතික කිරීම සඳහා පරීක්ෂාවන් පැවැත්වීම.
    • මුදල් විශුද්ධිකරණ වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් පැවැත්වීම.
    • මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ප්‍රවණතා සහ කාර්යක්ෂම වැළැක්වීමේ පියවරයන් සංවර්ධනය කිරීම සඳහා වූ උපාය මාර්ග පිළිබඳව පර්යේෂණ / සම්බන්ධක විශ්ලේෂණ පැවැත්වීම.

නීති කටයුතු දෙපාර්තමේන්තුව

    • ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම් කටයුතු ඇතුළුව ජාතික වශයෙන් වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන් අභ්‍යන්තර හා බාහිර සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රතිපත්ති සම්පාදන මට්ටමේදී සහ උපාය මාර්ගික ප්‍රමුඛතාවයන්ට/ ඉලක්කයන්ට සම්බන්ධව නීතිමය දායකත්වය ලබා දීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී ආයතනවලට සම්බන්ධ නෛතික සහ නියාමන රාමුවේ තත්ත්කාලීන යහ පැවැත්ම සාක්ෂාත් කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කිරීම සඳහා නව ව්‍යවස්ථා, රෙගුලාසි සහ අතිරේක රෙගුලාසි සම්පාදනය කිරීම සහ දැනට පවත්නා ව්‍යවස්ථා / නව ව්‍යවස්ථා සමාලෝචනය කිරීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුවේ නෛතික රැකවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවරනු ලැබූ සහ ශ්‍රී ලංකා මහ බැංකුවට එරෙහිව පවරනු ලැබූ නඩු කටයුතු මෙහෙයවීම.
    • තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුවන කටයුතු මෙහෙයවීම.
තැන්පතු රක්ෂණ හා නිරාකරණ දෙපාර්තමේන්තුව
    • හඳුනාගත් පීඩාවට පත් මූල්‍ය ආයතන නිරාකරණය කිරීමට මුල පිරීම.
    • මැදිහත් වීමේ අවශ්‍යතාව සමීක්ෂණය කිරීමට මූල්‍ය ආයතන හඳුනා ගැනීම, තක්සේරු කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා නව පද්ධති සහ ක්‍රියාවලි සංවර්ධනය කිරීම.
    • සඵලදායී සහ කාර්යක්ෂම නිරාකරණය සහ බලගැන්වීමක් සඳහා නව නෛතික රාමු සංවර්ධනය කිරීම හෝ පවතින නීති සංශෝධනය කිරීම.
    • නීති විරෝධී මූල්‍ය ආයතන සහ/ හෝ තහනම් යෝජනා ක්‍රම හඳුනා ගෙන, ඒ සඳහා නීතිය බලාත්මක කිරීම.
    • ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පවත්වා ගෙන යෑම, පරිපාලනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
    • ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 62 වන වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතන නිරාකරණය සඳහා වගකිව යුතු අධිකාරය වන්නේ ය.

 

අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව
    • අභ්‍යන්තර විගණකයින්ගේ ආයතනයේ අන්තර්ජාතික වෘත්තීය පරිචයන්ට (IPPF)  අනුකූල ව (මහ බැංකු අධිපති, පාලක මණ්ඩලය සහ විගණන කමිටුව විසින් උපදෙස් දී ඇති පරිදි) තොරතුරු පද්ධති විගණන සහ විශේෂ විගණන ඇතුළු ව, විගණනයන් පැවැත්වීම.
    • අවදානම මත පදනම් වූ වාර්ෂික විගණන සැලැස්ම සහ ක්‍රමෝපායික විගණන සැලැස්ම සම්පාදනය කිරීම.
    • විගණන කමිටුව ඔස්සේ පාලක මණ්ඩලය වෙත විගණන ප්‍රතිඵල සහ විගණන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය වාර්තා කිරීම.
    • විගණන කමිටු කාර්යයන් සඳහා පහසුකම් සැලසීම.
    • ඇගැයීම් වැඩටහනෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම.
අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව

මූල්‍ය අවදානම් නිරීක්ෂණය කිරීම

    • ජාත්‍යන්තර සංචිත, අභ්‍යන්තර ආයෝජන අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල සදහා වන උපායමාර්ගික වත්කම් විභජනයන්, ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශයන්, ආයෝජන මාර්ගෝපදේශයන් ට අදාළ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ සමාලෝචනය සහ සංශෝධනය කිරීම.
    • ජාත්‍යන්තර සංචිත, අභ්‍යන්තර ආයෝජන අරමුදල්, සේවක අර්ථසාධක අරමුදල ට අදාළ වෙළඳපොළ සහ ණය අවදානම් කළමනාකරණ කටයුතු ස්වාධීනව අධීක්ෂණය කිරීම.
    • ජාත්‍යන්තර සංචිත, අභ්‍යන්තර ආයෝජන අරමුදල්, සේවක අර්ථසාධක අරමුදල හා සබැදි ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්හි අනුගත වීමට අදාළව අධීක්ෂණය කිරීම.
    • ණය සහ වෙළඳපොළ අවදානම අදාළ ආයෝජන අධීක්ෂණ කමිටු වෙත මාසිකවත්, මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව (Board Risk Oversight Committee) සහ මුදල් මණ්ඩලය වෙත කාර්තුමය වශයෙනුත් වාර්තා කිරීම.

මෙහෙයුම් අවදානම් නිරීක්ෂණය කිරීම

    • ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සියලුම දෙපාර්තමේන්තු ආවරණයවන පරිදී මෙහෙයුම් අවදානම් තක්සේරු රාමුව ක්‍රියාත්මක කිරීම සහ දෙපාර්තමේන්තුවල මෙහෙයුම් අවදානම් තක්සේරු කිරීම සඳහා පහසුකම් සැලසීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති ප්‍රකාශය, මෙහෙයුම් අවදානම් කළමනාකරණ මාර්ගෝපදේශ, සිද්ධි වාර්තා කිරීමේ පද්ධතිය සඳහාවන මාර්ගෝපදේශ සහ මෙහෙයුම් අවදානම් වර්ගීකරණය යන ලේඛන සමාලෝචනය කිරීම සහ සංශෝධනය කිරීම.
    • දෙපාර්තමේන්තු විසින් වාර්තා කරනු ලබන මෙහෙයුම් අවදානම් සහ සිදුවීම්/ආසන්න සිදුවීම්, මූල්‍ය නොවන අවදානම් කළමනාකරණ කමිටුව (Non-Financial Risk Management Committee), මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව සහ මුදල් මණ්ඩලය වෙත අදාළ පරිදි යොමු කිරීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සිදුවීම් වාර්තා කිරීමේ පද්ධතිය පරිපාලනය කිරීම.
    • ශ්‍රී ලංකා මහ බැංකුවෙහි කාර්ය මණ්ඩලය සඳහා මෙහෙයුම් අවදානම් පිලිබඳ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීම.