ගෙවීම් හා පියවීම් පද්ධතිය

හැඳින්වීම

ශ්‍රී ලංකා මහ බැංකුව රටේ ගෙවීම් හා පියවිම් පද්ධතියේ වර්ධනයෙහි නියමුවා විය. රටේ ගෙවීම් පද්ධති ආරක්ෂාකාරී, සුරක්ෂිත, ස්ථිර, කාර්යක්ෂම හා ඉඩ ප්‍රස්ථා වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් විවිධ හඳුන්වාදීම් සිදු කරන ලදී.

ගෙවීම්, නිෂ්කාශන හා පියවීම් පද්ධති නියාමනය හා සුපරීක්ෂණය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා රට පුරා ඇති ගෙවීම් හා පියවීම් පද්ධති නියාමනය හා අධීක්ෂණය සඳහා ප්‍රමිතීන් ස්ථාපනය කිරීම සඳහා ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත මගින් ශ්‍රී ලංකා මහ  බැංකුවට බලය පැවරෙයි.  මෙම පනත අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවේ ගෙවීම් පද්ධතියක් ආරම්භ කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට නො හැක.  ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් 2002 වසරේ දී ආරම්භ කරන ලද ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව විසින් මෙම කාර්යයන් සිදු කරනු ලබයි.

ඊට අමතර ව, ජාතික ගෙවීම් පද්ධතියට සැලසුමක් සකස් කිරීමට සහ ගෙවීම්, නිෂ්කාශන හා පියවීම් පද්ධතියෙහි ගනුදෙනු ස්ථාපනය හා සංවර්ධනය කිරීමට අදාළ මාර්ගෝපදේශ හා නායකත්වය සැපයීමට ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම දරයි. ගෙවීම් පද්ධතියෙහි ප්‍රධාන පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ජාතික ගෙවීම් කවුන්සිලයෙහි මූලිකත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දරනු ලබයි. ජාතික ගෙවීම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ මුල්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි.

ගෙවීම් පද්ධතිය යනු පුද්ගලයින්ගේ සිට බැංකු දක්වා සහභාගීකරුවන්, රජයන් හා අන්තර්ජාතික සහභාගීකරුවන් ආර්ථික තුළ හා දේශ සීමා හරහා මුදල් අගයන් හුවමාරු කිරීමේ ක්‍රමවේදය යි.  ගෙවීම් අධීක්ෂණය සඳහා බලතල සපයනු ලබන්නේ නෛතික රාමු, නියාමන, යාන්ත්‍රණ, පද්ධති, ක්‍රමවේද සහ එකඟතා විසිනි.

ගෙවීම් අගය හා ගනුදෙනුව සඳහා මුල පුරන ලද පාර්ශ්වය අනුව ගෙවීම් විශාල හා සුළු පරිමාණ යැයි වර්ග කළ හැක.  සාමාන්‍යයෙන් මූල්‍ය ආයතන විසින් විශාල පරිමාණයේ ගෙවීම් සිදුකරන මුත් සාපේක්ෂ ව කුඩා අගයක් සහිත සුළු පරිමාණ ගෙවීම් තනි පුද්ගලයන් විසින් සිදු කරනු ලබයි. විශාල පරිමාණයේ ගෙවීම් පද්ධතිවල බිඳ වැටීමක් හේතුවෙන් සමස්ත මූල්‍ය පද්ධතියෙහි කටයුතු සඳහා ගැටලු මතු විය හැකි බැවින් ඒවා පද්ධතිමය වශයෙන් වැදගත් පද්ධති ලෙස සලකනු ලැබේ.  තත්කාලීන දළ පියවීම් පද්ධතිය ක්‍රියාවට නැංවීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවදානම් අඩු කිරීමක් සිදු කරන ලද අතර එම නිසා මූල්‍ය ආයතනවලට සිය වගකීම් ආරක්ෂාකාරී ව නැවත අවලංගු කළ නො හැකි ලෙස තත්කාලීන ව පියවිය හැක. තත්කාලීන දළ පියවීම් පද්ධතිය හා රාජ්‍ය සුරැකුම්පත් පියවීම් පද්ධතිය (උදා: භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර) එක් ව ගත් විට ලංකා සෙට්ල් පද්ධතිය ලෙස හඳුන්වනු ලබයි.

වාණිජ බැංකුවලට හා ප්‍රාථමික වෙළෙඳුන්ට ගෙවීම් හා පියවීම් පහසුකම් සැපයීම සඳහා වගකීම දරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යි.  බැංකුකරුවන්ගේ බැංකුව ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකා සෙට්ල් පද්ධතියෙහි ද හවුල්කරුවන් වන මෙම ආයතනවලට පියවීමේ ගිණුම් පහසුකම් ලබා දෙනු ලැබේ.

ඒ හා සැසඳීමේ දී ආර්ථිකය පුරා ව්‍යාප්ත වූ සුළු පරිමාණ ගෙවීම් පද්ධතිවල භාවිතය හේතුවෙන් ඒවා සමාජීය වශයෙන් වැදගත් යැයි සලකනු ලැබේ. චෙක්පත්, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හා විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය වැනි සුළු පරිමාණ ගෙවීම් නිෂ්කාශනය සඳහා පහසුකම්  සැපයීම සඳහා වගකීම දරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. මෙහි දී පාරිභෝගිකයාගෙන් අය කළ හැකි උපරිම ගාස්තු හා රෙගුලාසි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරයි.  සුළු පරිමාණ ගෙවීම් සඳහා වූ නිශ්කාෂණ පද්ධතියෙහි කාර්යයන් ලංකාක්ලියර් පුද්ගලික සමාගම වෙත පවරන ලදී.  මෙහි හිමිකාරිත්වය ශ්‍රී ලංකා මහ බැංකුව හා වාණිජ බැංකු විසින් ඒකාබද්ධ ව දරයි.

දුරකථන සේවා සපයන්නන් දෙදෙනෙකු යටතේ කුඩා පරිමාණ ගෙවීම් සඳහා ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති දෙකකට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබා දෙන ලදී.

 

නෛතික රාමුව

2005 අංක 28 දරන  ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත මඟින් ගෙවීම්, නිෂ්කාශන සහ පියවීම් පද්ධති නියාමනය, අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම සඳහා මෙන් ම මූල්‍ය සේවා සපයන්නන් නියාමනය කිරීම සහ චෙක්පත් විද්‍යුත් මාධ්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසනු ලබයි.

ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නිකුත්  කරන ලද, 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග මගින් ගෙවීම් කාඩ්පත් නිකුත් කරන්නන්, ගෙවීම් කාඩ්පත් පිළිබඳ මූල්‍ය අත්පත්කරුවන්, ගණුදෙනුකරුවන්ගේ ගිණුම් පදනම් කරගත් ජංගම දුරකතන ආශ්‍රිත ගෙවීම් පද්ධතියක ක්‍රියාකරුවන් සහ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධතියක ක්‍රියාකරුවන්  නියාමනය කිරීම සිදු කරනු ලබයි.

 

පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති

විශාල වටිනාකමකින් යුත් ගෙවීම් සහ සුරැකුම්පත් පියවීම් සඳහා යොදා ගන්නා පද්ධතිමය වශයෙන් වැදගත් පද්ධතියක් වන ලංකාසෙට්ල් පද්ධතිය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහෙයවනු ලබයි. ලංකාසෙට්ල් පද්ධතිය කොටස් තුනකින් සමන්විත වේ. ඒවා නම්, ඉහළ වටිනාකමින් යුතු සහ කාල සංවේදී ගෙවීම් සඳහා වු තත්කාලීන දළ පියවීම් පද්ධතිය හා නිර්ලේඛන සුරැකුම්පත් පියවීම සඳහා වු ලංකාසෙක්‍යු පද්ධතිය හා සුරැකුම්පත් මධ්‍යම තැන්පතුව තත්කාලීන දළ  පියවීම් පද්ධතියේ සහ ලංකාසෙක්‍යු පද්ධතියේ ඒකාබද්ධතාව මගින් නිර්ලේඛන සුරැකුම්පත් ගනුදෙනු සඳහා ගෙවීමට එරෙහිව පැවරීමේ පදනම මත (Delivery versus Payment) ඉතාමත් ම ආරක්ෂිත සුරැකුම්පත් පියවීමේ යාන්ත්‍රණයක් සපයනු ලබයි. ලංකාසෙට්ල් පද්ධතිය සහ ලංකාසෙක්‍යු පද්ධතිය මෙහෙයවනු ලබන්නේ, පිළිවෙළින්, මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මඟිනි.

තත්කාලීන දළ පියවීම් පද්ධතියේ ගනුදෙනුවලින් බොහොමයක් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙ‍ෙළඳපොළ, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ, විවට වෙළෙඳපොළ කටයුතු, ශුද්ධ චෙක්පත් නිෂ්කාශන, සුළු පරිමාණ අන්තර් බැංකු  ගෙවීම් පද්ධති සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය අදාළ ගනුදෙනු වේ.

තත් කාලීන දළ පියවීම් පද්ධතිය

තත්කාලීන දළ පියවීම් පද්ධතිය යනු පරිගණක මාර්ගයෙන් අරමුදල් බේරුම් කිරීම සිදු කරනු ලබන පද්ධතියකි. එ මගින්, එහි සහභාගීකරුවන්ගේ තත්කාලීන දළ පියවීම් ගිණුම්වල ඇති අරමුදල් භාවිත කර තත්කාලීන පදනමක් මත සෑම ගෙවීම් උපදෙසක් ම වෙන් වෙන් ව සහ අවලංගු කළ නො හැකි ලෙස පිළිවෙළින් පියවීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාව තුළ මුදල් භාවිත නො කර සිදු කරනු ලබන ගෙවීම්වල  වටිනාකමින් සියයට 85 ක් පමණ පියවනු ලබන්නේ තත්කාලීන දළ පියවීම් පද්ධතිය තුළිනි. තත්කාලීන දළ පියවීම් පද්ධතියේ ගනුදෙනුවලින් බොහොමයක් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙ‍ෙළඳපොළ, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ, විවට වෙළෙඳපොළ කටයුතු, විදේශ විනිමය වෙළෙඳපොළ රුපියල් ගෙවීම් පාරිභෝගිකයින්ගේ හදිසි ගෙවීම් සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම මෙහෙයවනු ලබන පද්ධතිවල ශුද්ධ ශේෂයන් පියවීමට අදාළ ගනුදෙනු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ලංකාසෙක්‍යු පද්ධතියෙහි ඇති නිර්ලේඛන සුරැකුම්පත් ඇප ලෙස තබාගෙන සහභාගී වන වාණිජ බැංකු සහ ප්‍රථමික වෙළෙඳුන් සඳහා කිසිදු අයකිරීමකින් තොර ව දිනය තුළ ලබා දෙන ද්‍රවශීලතා පහසුකම (Intra-day Liquidity Facility- ILF) සපයනු ලබයි.

ලංකාසෙක්‍යු - නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් ක්‍රමය (SSSS – Scripless Securities Settlement System) සහ නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය (SSDS – Scripless Securities Depository System)

නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් ක්‍රමය (SSSS) සහ නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය (SSDS) ලංකාසෙක්‍යු පද්ධතියට අඩංගු වේ. විද්‍යුත් හෝ නිර්ලේඛන ආකාරයෙන් රජයේ සුරැකුම්පත් සහ මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම මෙන් ම ගෙවීමට එරෙහි ව පැවරීම පදනම මත එ වැනි නිර්ලේඛන සුරැකුම්පත් පිළිබඳ වෙළෙඳාම් පියවීම සඳහා ද ලංකාසෙක්‍යු පහසුකම් සලසයි. ඒ අනුව, සුරැකුම්පත් අලෙවි කරනු ලබන සහභාගීවන්නාට ප්‍රමාණවත් තරම් යෝග්‍ය සුරැකුම්පත් ලංකාසෙක්‍යු පද්ධතිය තුළ ඔහුගේ සුරැකුම්පත් ගිණුමේ තිබේ නම් සහ මිල දී ගනු ලබන සහභාගීවන්නා ළඟ ගනුදෙනුව සඳහා ගෙවීමට ප්‍රමාණවත් තරම් අරමුදල් තත් කාලීන දළ පියවීම් පද්ධතියේ ඔහුගේ පියවීම් ගිණුමේ තිබේ නම් පද්ධතිය තුළ ගනුදෙනු පියවනු ලබයි. පද්ධතිය තුළ ඇති සියළු ම පියවන ලද සුරැකුම්පත් ගනුදෙනු අවලංගු කළ නො හැක.

නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය යනු රජයේ සුරැකුම්පත් සඳහා භාරකරු මෙන් ම හිමිකම් ලියාපදිංචි කරනු ලබන ස්ථානයයි. නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය තුළ ප්‍රතිලාභියාගේ මට්ටමට සුරැකුම්පත්වල හිමිකම වාර්තා කරනු ලබයි. අන්තර්ජාල පහසුකමක් වන ලංකාසෙක්‍යුනෙට් හරහා ඕනෑ ම වේලාවක ඔවුන්ගේ ආයෝජන පිළිබඳ එක් එක් දිනයේ විස්තර නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතු ක්‍රමය තුළ නිර්ලේඛන සුරැකුම්පත් හිමිකරුවන්ට ලබා ගත හැක.

 

සුළු පරිමාණ ගෙවීම් පද්ධති

ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය (CIT – Cheque Imaging and Truncation System)

අන්තර් බැංකු චෙක්පත් නිෂ්කාශනය (Interbank Cheque Clearing) චෙක්පත්, බැංකු අණකර සහ මංගත නො වන මුදල් හුවමාරු ක්‍රම වැනි අඩු වටිනාකමින් යුතු ගෙවීම් නිෂ්කාශනය කිරීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳ ව මහ බැංකුව වගකිව යුතු වේ. චෙක්පත් නිෂ්කාශන පහසුකම් සැපයීම සඳහා, මහ බැංකුව සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අයිති සමාගමක් වන ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට මහ බැංකුව විසින් 2002 වසරේ දී බලය පවරන ලදි.

2006 වසරේ මැයි මාසයේ දී, චෙක්පත්වල ඡායාවන් විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට සහ නිෂ්කාශනය කිරීමට පහසුකම් සලසන ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම හඳුන්වා දුන්නේ ය.  ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය මගින් රටෙහි සෑම ප්‍රදේශයකට ම ඒකාකාරී ලෙස බලපාන පරිදි T+1 (නිෂ්කාශන සඳහා චෙක්පත් ලංකාක්ලියර් (පුද්ගලික) සමාගමට ලැබෙන දිනය T වන සහ එදිනට පසු ව එළැඹෙන ව්‍යාපාරික දිනය 1 වන) පදනම මත චෙක්පත් නිෂ්කාශනය වන කාලසටහනක් හඳුන්වා දෙන ලදි. මෙ මගින් චෙක්පත්වල මූල්‍ය වටිනාකම, ඒවා නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කළ දිනට පසු දින ගණුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමේ හැකියාව වාණිජ බැංකුවලට ලැබිණ. මෙම පද්ධතිය යටතේ, අගරු ‍චෙක්පත් ආපසු හරවා එවනු වෙනුවට අගරු චෙක්පත් නිවේදනයක් (CRN- Cheque Return Notification) නිකුත් කරනු ලබයි. සෑම ව්‍යාපාරික දිනයක දී ම තත් කාලීන දළ පියවීම් පද්ධතිය මගින් ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතියට අදාළ ශුද්ධ ශේෂ දෙ වරක් පියවනු ලැබේ.

ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය මගින් ඇති වූ තාක්ෂණික වැඩි දියුණු වීම් තුළින් ලංකාක්ලියර් පුද්ගලික සමාගම T+1 සඳහා නිෂ්කාශනයට චෙක්පත් භාර ගැනීම සඳහා වන කඩඉම් වේලාව දිගු කළ අතර අගරු චෙක්පත් වාර්තා ඉදිරිපත් කිරීමේ කඩඉම් වේලාව අඩු කර ඉදිරියට ගෙන එන ලදී.

ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS – Sri Lanka Inter-bank Payment System)

මංගත නො වන අඩු ව‍ටිනාකමක් ඇති අරමුදල් හුවමාරු ක්‍රමයක් ලෙස 1993 වර්ෂයේ දී මහ බැංකුව විසින් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හඳුන්වා දෙනු ලැබී ය. ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම  පිහිටුවීමත් සමඟ, 2002 වසරේ දී ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියේ මෙහෙයුම් කටයුතු ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම වෙත පවරන ලදි. පූර්ව අනුමැතියක් සහිත අඩු වටිනාකමක් ඇති ගෙවීම් (සෘජු හර සහ බැර පැවරුම්) ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය,  2010 වසරේදී, T+0 පදනම මත ගනුදෙනු පියවීමට පහසුකම් සැලසීම සඳහා මංගත අන්තර් බැංකු ගෙවීම් පද්ධතියක් ලෙස වැඩි දියුණු කරන ලදි. බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් පදනම මත විද්‍යුත් මාධ්‍යයන් මෙහි ගනුදෙනු නිෂ්කාශනය  කරයි.  සෑම ව්‍යාපාරික දිනක දී ම දෙ වරක් තත්කාලීන දළ පියවීම් පද්ධතිය මගින් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධති ගනුදෙනුවලට අදාළ අන්තර් බැංකු ශුද්ධ ශේෂයන් පියවනු ලබයි.

එක්සත් ජනපද ඩොලර් චෙක්පත්/අණකර නිෂ්කාශන පද්ධතිය

ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින්, විදේශීය බැංකු, ශී‍්‍ර ලංකාවේ වාණිජ බැංකු වල පවත්වාගෙන යන ‘නොස්ට්‍රො’ ගිණුම් වලින් ගෙවීම් සිදු කිරීම සඳහා නිකුත් කරන ලද සහ ශී‍්‍ර ලංකාවේ වාණිජ බැංකු මගින් ගනුදෙනුකරුවන්ට නිකුත් කරන ලද එක්සත් ජනපද ඩොලර් චෙක්පත්/අණකර යන ද්විත්වයම නිෂ්කාශනය කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් චෙක්පත්/අණකර නිෂ්කාශන  පද්ධතියක් ද කි‍්‍රයාත්මක කරනු ලබයි.

සාම්ප‍්‍රදායික එක්සත් ජනපද ඩොලර් චෙක්පත්/අණකර නිෂ්කාශන කි‍්‍රයාවලිය යටතේ අදාල මුදල් ගනුදෙනුකරුවන්ට බැර කිරීමට සති තුනකට වඩා ගත විය.  මෙම දිගු කාලයක් ගතවන නිෂ්කාශන කි‍්‍රයාවලිය මගහරවා ගැනීම සඳහා ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් 2002  දී, එක්සත් ජනපද ඩොලර් චෙක්පත්/අණකර නිෂ්කාශන පද්ධතිය දියත් කරන ලදී.  එහි ප‍්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපද ඩොලර් අණකර නිෂ්කාශනයට ගතවන කාලය සති තුනක සිට දින තුනක් (T+3) දක්වා අඩු විය.

සිය සාමාජිකයින්ට සපයනු ලබන සේවාවන් අඛණ්ඩව වැඩි දියුණු කිරීමේ අදහසින්, 2019  ජුලි මස දී ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් අණකර මංගත පිළිබිඹු  හුවමාරු පද්ධතිය දියත් කරන ලදී. මෙම පද්ධතිය අන්තර්ජාලය පදනම් කරගත් මංගත නිෂ්කාශන පද්ධතියක් ලෙස කි‍්‍රයාත්මක වන අතර නිෂ්කාශනය සඳහා එක්සත් ජනපද ඩොලර් චෙක්පත්/අණකර භෞතිකව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරයි. එක්සත් ජනපද ඩොලර්  අණකර මංගත පිළිබිඹු  හුවමාරු පද්ධතිය කි‍්‍රයාත්මක කිරීමත් සමඟ එක්සත් ජනපද ඩොලර් චෙක්පත්/අණකර නිෂ්කාශනය සඳහා ගතවන කාලය දින තුනක (T+3) සිට එක් දිනයක් (T+1) දක්වා තවදුරටත් අඩු විය. 

 

ශ්‍රී ලංකා අන්තර් බැංකු එක්සත් ජනපද ඩොලර් මාර්ගගත ගෙවීම් පද්ධතිය

ශ්‍රී ලංකා අන්තර් බැංකු එක්සත් ජනපද ඩොලර් මාර්ගගත ගෙවීම් පද්ධතිය, මාර්ගගත එක්සත් ජනපද ඩොලර් අරමුදල් හුවමාරු පද්ධතියකි. ලංකාක්ලියර් පුද්ගලික සමාගම හරහා අංකිත අත්සන් සහිත ලිපිගොනු මගින් අන්තර් බැංකු එක්සත් ජනපද ඩොලර් ගෙවීම් ක්‍රියාත්මක කරනු ලබයි.  ලංකාක්ලියර් පුද්ගලික සමාගම විසින් ගනුදෙනුව ආරම්භ කරන ලද බැංකුවේ සිට ලබාගන්නා බැංකුව වෙත සම්බන්ධ කරනු ලැබේ.   තව ද ගනුදෙනුව පියවනු ලබන බැංකුවෙහි ඇති සහභාගීත්ව බැංකු ගිණුම යාවත්කාලීන කිරීම සඳහා ලංකාක්ලියර් පුද්ගලික සමාගම විසින් ගෙවීම් ලිපිගොනුවක් සකස් කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු හතක සහභාගීත්වය සමඟ ශ්‍රී ලංකා අන්තර් බැංකු එක්සත් ජනපද ඩොලර් මාර්ගත ගෙවීම් පද්ධතිය 2015 ජූලි 22 දින සිට සජීවී ව ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකා අන්තර් බැංකු බැංකු එක්සත් ජනපද ඩොලර් ගෙවීම් පද්ධතිය මගින් බැංකු හා ගනුදෙනුකරුවන් සඳහා අඩු ගනුදෙනු පිරිවැයක්, ඉක්මන් සේවයක්  සහ වර්ධනය වූ කාර්යක්ෂමතාවක් හා කඩිනම් කලාපීය පියවීමේ හැකියාවක් ලබා දෙයි. එ මගින්, ගනුදෙනු කාර්යක්ෂමතාව වැඩි දියුණු කරයි.

 

විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය

ජාතික ගෙවීම් මණ්ඩලයේ නිර්දේශය හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ ලංකාක්ලියර් පුද්ගලික සමාගම විසින් විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනු ලබයි. මෙ මගින් බැංකු විවෘත ව නො මැති කාලයන්හි දී පවා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, ජංගම දුරකථන හා අන්තර්ජාලය මගින් විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි සාමාජිකයන් අතර මංගත තත්කාලීන අරමුදල් හුවාරු හා ඒ සඳහා පහසුකම් සලසනු ලැබේ.

විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් තත්කාලීන බැංකු හුවාමාරු ගෙවීම් තත්පර කිහිපයකින් සිදුකිරීමට පහසුකම් සලසයි.  තව ද, මෙම යාන්ත්‍රණය හරහා පාරිභෝගිකයන්ට විද්‍යුත් ගෙවීම් 24 X 7 පැයේදී සහ වසරේ දින 365 දීම සිදු කිරීමට පහසුකම් සලසයි. විද්‍යුත් අරමුදල් පැවරීමසඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි ගෙවීම් තත්කාලීන පදනමක් මත පාරිභෝගික ගිණුම්වලට බැර කරන අතර, අන්තර් බැංකු පියවීම් සෑම ගනුදෙනු කරන දිනයක දී ම දෙවරක් තත්කාලීන දළ පියවීම් පද්ධතිය හරහා සිදු කරයි.

 

ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවිම් පද්ධති

2013 අංක 01 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග මගින් ශ්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා සැපයුම්කරුවන් නියාමනය කිරීම සඳහා අවශ්‍ය බලය ලබා දෙයි. එකී නියෝග අනුව මහ බැංකුව විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරිය යටතේ සහ අන්තර්ගත නියමයන් හා කොන්දේස්වලට අනුකූල ව මිස, යම් තැනැත්තෙකු විසින් ගෙවීම් කාඩ්පත් හෝ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතියක සේවා සැපයුම්කරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතුවල නියුක්ත වීම හෝ ක්‍රියා කිරීම නො කළ යුතු ය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් කාඩ්පත් නිකුත් කරන්නන් ලෙස සහ මූල්‍ය තැන්පත්කරුවන් ලෙස ක්‍රියා කිරීමට ආයතනවලට බලපත්‍ර ලබා දෙයි.  ඊට අමතරව, ගනුදෙනුකරුවන්ගේ ගිණුම් පදනම් කර ගත් ජංගම දුරකථන පද්ධතියක ක්‍රියාකරුවන් ලෙස සහ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධතියක ක්‍රියාකරුවන් ලෙස කටයුතු කිරීමට පිළිවෙලින් මූල්‍ය ආයතනවලට සහ ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන්ට බලපත්‍ර ලබා දෙයි.

 

වෙනත් ගෙවීම් සහ පියවීම් යටිතල පහසුකම්

කොටස් ගනුදෙනු පද්ධතිය සහ ණය සුරැකුම්පත් ගනුදෙනු පද්ධතිය

කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් මංගත පද්ධති දෙකක් ක්‍රියාත්මක කරනු ලැබේ.  කොටස් තත්කාලීන ගනුදෙනු සඳහා වන ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය සහ රජයේ සුරැකුම්පත්වල ඵලදායී පොලී ගනුදෙනු හා සාංගමික ණය සුරැකුම්පත්වල ගනුදෙනු සඳහා වන ණය සුරැකුම්පත් ගනුදෙනු පද්ධතිය මෙම පද්ධති දෙක වේ. ඒවායෙහි සෘජු සහභාගීකරුවන් ලෙස සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කොටස් තැරැව්කරුවන් ක්‍රියා කරනු ලැබේ.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය

ජාතික ගෙවීම් කවුන්සිලයෙහි නිර්දේශයක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ ලංකාක්ලියර් පුද්ගලික සමාගම විසින් කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම්  සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි පළමු පියවර වන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබේ. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සාමාජික බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හෝ හර කාඩ්පත් හිමියන්ට රටේ ඕනෑම තැනක පවතින එවැනි බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර  පර්යන්තයකින් මුදල් ආපසු ගැනීම හෝ ගිණුම් ශේෂය පරීක්ෂා කිරීම සිදු කළ හැක. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය එහි සාමාජික බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හා සම්බන්ධ වන අතර එ මගින් එම යන්ත්‍ර හරහා සිදුකරනු ලබන ගනුදෙනු හුවමාරු වීමට පහසුකම් සලසයි. මෙම යාන්ත්‍රණයෙහි සජීවී මෙහෙයුම් කටයුතු 2013 වසරේ ජූලි මස 23 වන දින ආරම්භ කරන ලදී.  ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි ශුද්ධ නිශ්කාෂණ ශේෂ සෑම ගනුදෙනු කරන දිනයක් තුළ දී ම තත්කාලීන දළ පියවීම් පදධතිය හරහා දෙ වරක් පියවනු ලැබේ.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වූ හවුල් යාන්ත්‍රණය

ජාතික ගෙවීම් කවුන්සිලයෙහි නිර්දේශයක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ ලංකාක්ලියර් පුද්ගලික සමාගම විසින් කාඩ්පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි තෙවන පියවර වන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වූ හවුල් යාන්ත්‍රණය මෙහෙයවනු ලැබේ.  ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වූ හවුල් යාන්ත්‍රණය ඕනෑම සාමාජික බැංකුවකට කාඩ්පත් කළමනාකරණ පද්ධති පහසුකම හා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගනුදෙනු මංගත කිරීමට පහසුකම් සලසයි. මෙ මගින් එක් එක් බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් තමන්ට අනන්‍ය වූ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර යාන්ත්‍රණයක් පවත්වා ගැනීමට ඇති අවශ්‍යතාව ඉවත් කරනු ලැබේ.

 

ආශ්‍රිත තොරතුරු

 

අදාල පනත්

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත

2005 අංක 28 දරණ ගෙවීම් හා පියවීම් පද්ධති පනත

ලංකාසෙට්ල් පද්ධති රීති - 2.2 සංස්කරණය

 

නියෝග, උපදෙස්, පද්ධති රීති, නිර්නායක, චක්‍රලේඛ

ගෙවීම් සංග්‍රහය