ව්‍යාජ මුදල් නෝට්ටු වැළැක්වීම

පරීක්ෂා කරන්න  - වළක්වාගන්න  - දැනුම් දෙන්න

ඔබගේ මුදල් නෝට්ටු හඳුනාගන්න

මුදල් නෝට්ටු පිළිබඳව මහජනතාවගේ විශ්වාසය පවත්වාගෙන යාම ශ්‍රී ලංකා මහ බැංකුව සතු ප්‍රධාන වගකීමකි. ඒ අනුව, ව්‍යාජ මුදල් නෝට්ටු නිපදවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව විසින් පසුගිය අවුරුදු කිහිපය තුළ මුදල් නෝට්ටු සඳහා ඇතුළත් කර ඇති ආරක්ෂණ සළකුණු වැඩිදියුණු කර ඇත. තවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීති බලාත්මක නිළධාරීන්, මුදල් අයකැමිවරුන්, පාසල් සිසුන් හා පොදු මහජනතාව වෙනුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම පහසු කිරීම සඳහා එහි ඇති ආරක්ෂණ සළකුණු පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලබයි.

මුදල් නෝට්ටු වල ඇතුළත් ආරක්ෂණ සළකුණු පිළිබඳව පොදු මහජනතාව දැනුවත්ව සිටිය යුතුය. ඔබ මුදල් නෝට්ටු පිළිබඳව දැනුවත් නම් ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීමට හැකිවීම මඟින් ඔබට සිදුවන අලාභයෙන් මිදිය හැකි වනු ඇත.

 

සැක සහිත මුදල් නෝට්ටු සමඟ ගනුදෙනු කිරීම

ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීම 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ 478 A-D යටතේ සිරගත කිරීමට, දඩයකට ලක්වීමට හෝ එම දඬුවම් දෙකටම ලක්වීමට හැකිය.

 

මුදල් ගණුදෙනුවකදී ව්‍යාජ යැයි සැක සහිත නෝට්ටුවක් ඔබ අතට පත් වුවහොත් ක්‍රියා කළ යුතු ආකාරය

1. ව්‍යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුව සැබෑ මුදල් නෝට්ටුවක්යැයි ඔබ දන්නා නෝට්ටුවක් සමඟ සසඳා බලන්න.
     -  ආරක්ෂණ සලකුණු වැඩි ප්‍රමාණයක් හොඳින් විමසා බලන්න.
     -  ව්‍යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුව රඳවා තබාගන්න.

2. ව්‍යාජ මුදල් නෝට්ටුව රැගෙන ආ පුද්ගලයා (පුද්ගලයන්) පිළිබඳ විස්තර සටහන් කර ගන්න.
     -  බාහිර පෙනුම
     -  වාහනය පිළිබඳ තොරතුරු
     -  එම පුද්ගලයා අවසන් වරට දුටුවේ කිනම් ස්ථානයක දී ද යන්න 

3. නෝට්ටුව පිළිබඳ විස්තර සටහන් කර ගන්න.
     -  වටිනාකම
     -  අනුක්‍රමික  අංකය

4. ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වන්න.
     -  වහාම දුරකථන අංක 0112422176 හෝ 0112326670 ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයට හෝ ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වා ඔවුන්ගේ උපදෙස් පිළිපදින්න.

 

ව්‍යාජ මුදල් නෝට්ටු වල බලපෑම

මුදල් ව්‍යාජකරණයේ ප්‍රමුඛ අවධානමක් ඇත්තේ වටිනාකමින් වැඩි මුදල් නෝට්ටු සඳහාය.එය මුදල් විශුද්ධිකරණය සහ ආර්ථික අකටයුතුකම් සඳහා රුකුලක් වේ.එසේ නමුත් විවිධ ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීම මඟින් මෙම බාධාවන් සඵලදායී ලෙස වළක්වාගත හැක.

ඉහළ අගයන් සහිත මුදල් නෝට්ටු සඳහා වඩා උසස් ආරක්ෂණ සළකුණු ඇතුළත් කිරීම මඟින් හා ගනුදෙණු කිරීමේදී මුදල් නෝට්ටු පිළිබඳව මහජනතාව වඩාත් සැළකිළිමත් වීම  මඟින් ව්‍යාජ මුදල් නෝට්ටු සැකසීමේ අවධානම අඩු කර ගත හැකි වනු ඇත. මේ සඳහා ආරක්ෂණ සළකුණු පිළිබඳව මහජනතාවගේ දැනුම වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ.

ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගෙන ඒවා මූල්‍ය පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශණ අංශය සමඟ සමීපව කටයුතු කරයි.