ප්‍රධාන කාර්යයන්

නියාමනය සහ අධීක්ෂණය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මූල්‍ය ආයතන අධීක්ෂණය හා නියාමනය සිදුකරනු ලබයි. නියාමනය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ආයතන විසින් සපුරාලිය යුතු ප්‍රමිති හෝ ප්‍රතිපත්ති සකස් කිරීම සිදු කරයි.  අධීක්ෂණය තුළින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුල්‍ය පද්ධති ස්ථායිතාවට අනුගත වීමේ දී මූල්‍ය ආයතනවලට ඇති විය හැකි අවදානම් ඇගයීම සිදු කරන අතර, අවශ්‍ය අවස්ථාවල දී එම අවදානම් අඩු කිරීමට ක්‍රියාමාර්ග ගනු ලබයි.

ප්‍රධාන නියාමන අවශ්‍යතා වනුයේ,

(i)   ඇස්තමේන්තුගත අවදානම් මත පදනම් වූ වත්කම්වල සමස්ත වටිනාකමට ප්‍රාග්ධනය දරන අවම අනුපාතය.
(ii)  ද්‍රවශීල වත්කම්, වගකීම්වලට දරන අවම අනුපාතය
(iii) එක් ණයගැනුම්කරුවකුට ණය දීම්වල සීමාව
(iv) බොල් ණය හා අඩමාන ණය සඳහා වෙන් කිරීම්
(v)  නිශ්චිත කාලසීමාව තුළ වාර්ෂික ව විගණනය කරන ලද වාර්ෂික ගිණුම් ඉදිරිපත් කිරීම
ආදියයි.

නියාමන අවශ්‍යතාවලින් අපේක්ෂා කරනුයේ බැංකු හා මුදල් ව්‍යාපාරවලට ආවේණික සමහර අවදානම් අවම කිරීම සඳහා උපකාරී වන විචක්ෂණශීලී ප්‍රමිතීන් වශයෙන් කටයුතු කිරීමයි. අදාළ ව්‍යවස්ථාවල විධිවිධාන මගින් එ වැනි නියාමන නිශ්චය කරනු ලැබේ. 
අධීක්ෂණය මගින්;
        (i)    විතැන් අවේක්ෂණ තුළින් මූල්‍ය ආයතන අධීක්ෂණය හා
        (ii)    එතැන් පරීක්ෂණ සිදු කෙරේ.
විතැන් අවේක්ෂණය යනු; කල්තියා පිළියම් ගැනීමෙන් විසඳිය හැකි ගැටලු  කල්තියා හඳුනා ගැනීමේ අරමුණින් කාලීන ව (මාසික ව, කාර්තුමය ලෙස, අර්ධ වාර්ෂික ව ආදී වශයෙන්) ආයතනවලින් ඔවුන්ගේ කාර්යසාධනය හා මූල්‍ය තත්ත්වය පිළිබඳ ව ලැබෙන දත්ත පරීක්ෂා කිරීම යි.
එතැන් පරීක්ෂණය;
මේ යටතේ ;
        (i)    විචක්ෂණශීලී නියාමන අවශ්‍යතාවලට අනුගත වීම නිර්ණය කිරීම
        (ii)    ණය අවදානම, ද්‍රවශීලතා අවදානම, වෙළෙඳපොළ අවදානම හා මෙහෙයුම් අවදානම වැනි විවිධ අවදානම් හා අවදානම් කළමනාකරණයට ආයතන දක්වන ශක්‍යතාව තක්සේරු කිරීම මගින් ආයතනවල මෙහෙයුම් කටයුතු පිළිබඳ ව ඇගයීමේ අරමුණින් පොත් හා ගිණුම් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කාලීන ව ආයතන හමුවට යයි. 
මෙම පරීක්ෂණවල සොයා ගැනීම් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එම ආයතනවල කළමනාකරීත්වය සමග අඛණ්ඩ ව සන්නිවේදනය සිදු කරන අතර, නිරීක්ෂණය මත ගැටලු හා දුර්වලතා විසඳීමට ක්ෂණික ක්‍රියාමාර්ගවලට මුල පිරීම අපේක්ෂා කෙරේ.

සාර්ව විචක්ෂණ අධ්‍යයනය

සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති මගින් සමස්තයක් වශයෙන් මූල්‍ය පද්ධතියේ අවදානම්වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කරන අතර, මූල්‍ය ස්ථායිතාවට තර්ජනයක් විය හැකි පද්ධතිමය අවදානම් ගොඩනැංවීම අඩු කිරීමට කටයුතු කරනු ලබයි.  සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සහතික කිරීම සහ අවදානම් වැළැක්වීම හා ලිහිල් කිරීම සඳහා මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට බලපෑ හැකි අවදානම් හඳුනා ගැනීම, නිරීක්ෂණය සහ ඇගයීම මගින් සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති සකස් කර ඇත. මෙම කාර්යය සඳහා මහ බැංකුව විසින් මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති නිරීක්ෂණය කරනු ලබන අතර එ මගින් පද්ධතිමය අවදානම් අවම කිරීමට විශේෂිත මෙවලම් යොදා ගැනීම (සමස්ත වෙළෙඳපොළට බලපාන අවදානම්) සහ ආර්ථික කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය අත්‍යවශ්‍ය මූල්‍ය සේවාවන්ට ඇති විය හැකි බාධා නිරීක්ෂණය කරනු ලබයි.

මෙම කාර්යය සඳහා සිදුකරනු ලබන විශ්ලේෂණය සාර්ව විචක්ෂණතා අධ්‍යයනය ලෙස හඳුන්වනු ලබයි. මෙය මූල්‍ය පද්ධතිය සමස්තයක් වශයෙන් ඇගයීම සිදු කරන ආර්ථික විශ්ලේෂණ ක්‍රියාපටිපාටියක් වන අතර මූල්‍ය පද්ධතිය තුළ පැන නගින හෝ එමගින් විස්තාරණය වන දැඩි අසමබරතාවන් සහ එ මගින් ඇති විය හැකි අවදානම් සහ අන්තරායයන් හඳුනා ගැනීම සිදු කරයි.

බිඳවැටෙන මූල්‍ය ආයතන නිරාකරණය කිරීම

මූල්‍ය පද්ධතියේ සමස්ත ගනුදෙනු සහ ආයතනවල සුරක්ෂිතතාව සහතික කිරීමට කිසිදු මහ බැංකුවකට හෝ රජයකට හැකියාවක් නොමැති වුවද, මූල්‍ය පද්ධතිය සමස්තයක් වශයෙන් ස්ථායී ව පවත්වා ගැනීම තහවුරු කිරීමට මහ බැංකුව ක්‍රියා කරයි.  පාඩු ලබන ආයතනයක් පවතින විට මහ බැංකුව නියාමකයෙක් ලෙස මැදිහත් වී එ වන් ආයතන බේරුම් කිරීම සිදු කරන අතර එ වැනි ආයතනවල අසාර්ථක වීමක දී අහිතකර ඵලවිපාක පුළුල් ව ආර්ථිකය කෙරෙහි  ඇති විය හැකි බලපෑම් අවම කිරීම සිදු කරනු ලබයි.  ආර්ථික අර්බුදයක දී බදු ගෙවන්නන්ගේ මුදලින් බිද වැටෙන ආයතන සුරැකීමේ ක්‍රියාමාර්ග ගනු ලබයි.  ආයතන බිඳ වැටීම නිසා සිදුවිය හැකි ගැටලු බදු ගෙවන්නන්ගේ සිට එම බිඳ වැටෙන ආයතනවල කොටස් හිමිකරුවන් හා අනාරක්ෂිත ණයහිමියන් වෙත යොමු කිරීමට නිරාකරණය කිරීම මගින් උත්සාහ කරයි.

මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් අධීක්ෂණය

මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් (Financial Market Infrastructure - FMIs) ආර්ථිකයේ සුමට ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන අතර පුළුල් මූල්‍ය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරයි.  වෙළෙඳපොළ නිසි ක්‍රියාකාරීත්වය හා මූල්‍ය ස්ථාවරත්වය, මූල්‍ය යටිතල පහසුකම් තුළින් සපයන ලද සේවාවන්හි ක්‍රමවත්භාවය හා අඛණ්ඩ ක්‍රියාකාරිත්වය මත රඳා පවතී. එම නිසා, අධීක්ෂණය, කළමනාකරණය හා අවදානම් අවම කිරිම, මූල්‍ය වෙළෙදපොළ යටිතල පහසුකම් සපයන්නන්ගේ ප්‍රාථමික වගකීම වේ.

යටිතල පහසුකම් ප්‍රධාන ආකාර වනුයේ,

(අ)    මූල්‍ය ආයතන සම්බන්ධ ගෙවීම් පද්ධති
(ආ)    සුරැකුම්පත් පියවීම් පද්ධති
(ඇ)    මධ්‍ය ප්‍රතිපාර්ශ්ව වැනි අනිකුත් ආයතන (දැනට මෙවැනි කිසිදු ආයතනයක් මහ බැංකුවේ විෂය පථය යටතේ නො පවතී) ආදිය යි.

වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය යටිතල පහසුකම් සපයන්නන්ගේ අඛණ්ඩව සේවා සැපයීමේ හැකියාව මත රඳා පවතී. ගෙවීම් පද්ධති, ව්‍යාපාර හා අනිකුත් වෙළෙඳපොළ ක්‍රියාකාරීන්ට භාණ්ඩ හා සේවා සඳහා මුදල් ගෙවීම, ණය ලබාදීම, ණය ලබාගැනීම හෝ හුදු මුදල් හුවමාරු සඳහා මුදල් යැවීමට හෝ ගෙවීමට පහසුකම් සලසයි. සුරැකුම්පත් පියවීමේ පද්ධතිය කොටස් හෝ ණය සුරැකුම්පත්වල ආයෝජන හුවමාරුව සඳහා පහසුකම් සලසයි. මධ්‍ය ප්‍රතිපාර්ශ්ව, මුල් ප්‍රතිපාර්ශ්වයන්ගේ ණය පැහැර හැරීම්වලට එරෙහිව වෙළෙදපොළ ක්‍රියාකාරීන් සඳහා (ඇපවීම්) සහතික ලබා දෙයි.

එහි අධීක්ෂණ හා නියාමන වගකීම්වලට අමතර ව, ශ්‍රී ලංකා මහ බැංකුව විශාල වටිනාකම් සහිත රුපියල් ගනුදෙනු පද්ධතිය (Real Time Gross Settlement System - RTGS ) හා රජයේ සුරැකුම්පත් සඳහා සුරැකුම්පත් පියවීම් පද්ධති (Scrip-less Securities Settlement System - SSSS ) සඳහා යටිතල පහසුකම් සපයනු ලැබේ.

මූල්‍ය ආරක්ෂණ ජාල

අධීක්ෂණය, විශ්ලේෂණය සහ අවසාන ණය දීමේ පහසුකම් සපයන තැන්පතු ආරක්ෂණය, මූල්‍ය ආරක්ෂණ ජාලයේ ප්‍රධාන සංරචක අතරින් එකකි. ජාත්‍යන්තර වර්ධනයන් අනුව යමින්, ශ්‍රී ලංකා මහ බැංකුව “ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් වැඩසටහන“ (Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme (SLDILSS)) නමින් අනිවාර්ය තැන්පත් ආරක්ෂණ පද්ධතියක් 2010.10.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. SLDILSS පිහිටුවීමේ මූලික අරමුණ මූල්‍ය ආයතන අසාර්ථකවීම්වලින් තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම හා එ මගින් තැන්පත්කරුවන්ගේ විශ්වාසය පවත්වා ගැනීම තුළින් මූල්‍ය ආයතන හා සමස්ත මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම ය.

ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ හා ද්‍රවශීලතා පහසුකම් ක්‍රමයෙහි සාමාජික ආයතන, සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු හා බලපත්‍රලාභී මුදල් සමාගම්වලින් සමන්විත වේ. මුදල් මණ්ඩලය විසින් සාමාජික ආයතනයක බලපත්‍ර අහෝසි කරන අවස්ථාවකදී, 2021.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සුදුසුකම් ලත් තැන්පත්කරුවන්ට එක් ආයතනයක එක් තැන්පත්කරුවකුට රුපියල් 1,100,000/- ක උපරිමයක් දක්වා ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ හා ද්‍රවශීලතා පහසුකම් ක්‍රමය මගින් හානිපූරණය කරයි. කෙසේ වුවද, ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ හා ද්‍රවශීලතා පහසුකම් ක්‍රමය මගින් රැස්කරන ලද පවතින අරමුදල් අනුව එම වගකීම් සීමා වේ.

සාමාජික ආයතනයක් හදිසි ද්‍රවශීලතා ගැටලුවලට මුහුණදුන් අවස්ථාවක දී, මුදල් මණ්ඩලයේ නියම හා කොන්දේසිවලට යටත් ව එම සාමාජික ආයතනවලට ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ හා ද්‍රවශීලතා පහසුකම් ක්‍රමය යටතේ ද්‍රවශීලතා ආධාර පහසුකම් ලැබිය හැක.