සේවක අර්ථසාධක අරමුදල

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මඟින් පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කරන ලදී. වර්ෂ 2022 අවසාන වනවිට රු. බි. 3,460ක වත්කම් කළමනාකරණය කරන සේවක අර්ථසාධක අරමුදල ලංකාවේ විශාලතම විශ්‍රාම වැටුප් ක්‍රමය ලෙස හැඳින්විය හැක.

පනතේ සඳහන් විධිවිධාන ප්‍රකාරව, කම්කරු කොමසාරිස්වරයා අරමුදලේ ප්‍රධාන පරිපාලකයා වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව අරමුදලේ භාරකාරත්වය සඳහා බලතල, රාජකාරි හා වගකීම් දරනු ලබයි. සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පනතින් පවරන ලද බලතල, රාජකාරි හා කාර්යයන් ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සම්පාදනය කරයි.

වර්තමානයේදී, සාමාජිකයන් වෙනුවෙන් අරමුදල වෙත අවම දායකත්ව අනුපාතය ඔවුන්ගේ රැකියාවේ මාසික දළ ඉපයීම්වලින් 20%ක අගයක් වේ. සේවායෝජකයින් හා සේවා නියුක්තිකයින් (අරමුදලෙහි සාමාජිකයන්) පිළිවෙළින්, අවම වශයෙන් සාමාජිකයාගේ මාසික දළ ඉපයීම්වලින් 12% ක් හා 8% ක් ලෙස අරමුදලට දායකත්වය ලබාදිය යුතුයි. සාමාජිකයා තම සේවා ආයතනයේ කලක් රැකියාව කිරීමත් සමඟ ඔහුගේ සේවක අර්ථසාධක අරමුදලේ සමුච්චිත ශේෂය වර්ධනය වන අතර, එම ශේෂ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, සමාගම් කොටස් හා සාංගමික බැඳුම්කර ආදිය සඳහා ආයෝජනය කරනු ලබයි. එකී ආයෝජනවල ආදායම් ඉපයීමේ අගය මත, අරමුදල සඳහා වන වාර්ෂික පොලී අනුපාතිකය ප්‍රකාශයට පත් කරන අතර, එය සාමාජිකයාගේ ගිණුමට බැර කරනු ලබයි.

සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින්ට තම විශ්‍රාමික ප්‍රතිලාභ (දායකත්ව අරමුදල් සහ සමුච්චිත පොලී ශේෂය) ඔවුන්ගේ විශ්‍රාමික වයස් සීමාව: එනම් කාන්තාවන් සඳහා අවු. 50 සහ පිරිමින් සඳහා අවු. 55 සම්පූර්ණ කළ විට ලබාගැනීමේ හිමිකම පවතී. මීට අමතරව, විදෙස්ගතවීමකදී, පූර්ණකාලීන ආබාධිත තත්ත්වයකදී, කාන්තාවක නම් තම විවාහය හේතුවෙන් සේවයෙන් ඉවත් වීමකදී සහ විශ්‍රාම වැටුප් සහිත රැකියාවකට එක් වීමකදී සාමාජිකයින්ට ඔවුන්ගේ ගිණුම්වල අරමුදල් නැවත ලබාගැනීමේ හිමිකම ඇත. තවද, සාමාජිකයාගේ මරණයකදී, සාමාජිකයාගේ නෛතික උරුමක්කාරයන් හට ප්‍රතිලාභ ලබාගැනීමේ සුදුසුකම ඇත.

මීට අතිරේකව, විශ්‍රාම ගැන්වීමේදී ඇති ප්‍රතිලාභවලට අමතරව, සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින්ට තම සාමාජික ගිණුම්වල ඇති ශේෂය ඇප ලෙස තැන්පත් කරමින් අනුමත කරන ලද ණය ලබාදෙන ආයතන පහක් වෙතින් නිවාස ණය ලබා ගැනීමේ පහසුකම සලසා දී ඇත. තවද, 2012 අංක 02 දරණ සංශෝධිත සේවක අර්ථසාධක අරමුදල් පනත අනුව, වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සහ සේවක අර්ථසාධක අරමුදල් ශේෂය රු.300,000කට වඩා වැඩිවන සාමාජිකයින් සඳහා ගිණුමේ දැනට පවතින ශේෂයෙන් 30% ක ප්‍රමාණයක් (උපරිමය රුපියල් මිලියන 2) නිවාස ඉදිකිරීම් හෝ වෛද්‍ය ප්‍රතිකාර ආදිය සඳහා ලබාගැනීමේ හිමිකම 2015 සිට ක්‍රියාත්මක වේ.