ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය

සමස්ත විග්‍රහය

තැන්පතු රක්ෂණය යනු මූල්‍ය ආයතන බිඳ වැටීම හේතුවෙන් තැන්පත්කරුවන්ට ඇති විය හැකි අලාභවලින් පූර්ණ ව හෝ අර්ධ වශයෙන් මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන් රැක ගැනීම සඳහා බොහෝ රටවල ක්‍රියාත්මක කරනු ලබන යාන්ත්‍රණයකි. 

ඒ අනුව, ආරක්ෂණ ජාල යාන්ත්‍රණයක් ලෙස තැන්පතු රක්ෂණය ක්‍රියා කරන අතර, 2007-2008 වකවානුවෙහි හටගත් ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු එහි වැදගත්කම ප්‍රමාණවත් පරිදි කැපී පෙනුණි. අද වන විට ශ්‍රී ලංකාව, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, පකිස්ථානය, ජපානය, පිලිපීනය, මැලේසියාව, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 100කට අධික සංඛ්‍යාවක තැන්පතු රක්ෂණය පිහිටුවා ඇත.

 

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ ඉතිහාසය 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ බලතල ප්‍රකාරව නිකුත් කළ විධාන යටතේ, 2010 අංක 01 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම රෙගුලාසි යටතේ, අනිවාර්ය තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස 2010.10.01 දින සිට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ නම 2013 වසරේ දී සිදු කළ පසුකාලීන සංශෝධන මත පදනම් ව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය ලෙස සංශෝධනය කෙරිණි. මෙම යෝජනා ක්‍රමය රටේ සමස්ත මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගැනීමේ අරමුණින්  ක්‍රියාත්මක කළ අතර, ඒ මඟින් මූල්‍ය ආයතන බිඳ වැටීමේදී තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයක් වැඩි දියුණු කර තැන්පත්කරුවන්ගේ විශ්වාසවන්තභාවය පවත්වා ගැනීම මඟින් මූල්‍ය ආයතනවල ස්ථායීභාවය පවත්වා ගැනීමට සහය ලබාදෙන ලදී.
2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත බලාත්මක කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය නෛතික පිහිටුවනු ලැබුණු අතර, එය ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ලෙස නම් කෙරිණි. 

 

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය (SLDIS) පිහිටුවීමේ ප්‍රධාන අරමුණු 

මෙම යෝජනා ක්‍රමයේ සාමාජිකයෙකු වන මූල්‍ය ආයතනයක් (“සාමාජික ආයතනයක්“ යැයි හැඳින්වෙන) තැන්පත්කරුවෙකු විසින් එවැනි ආයතනයක සිදුකරන ලද තැන්පතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කලින් කලට තීරණය කරන පරිදි උපරිම අගයක් දක්වා වන්දි ගෙවීම සඳහා රක්ෂණය කිරීම;
නිරාකරණමය ක්‍රියාමාර්ගයක් ලෙස ආරක්ෂණයන්ට යටත් ව, සාමාජික ආයතනයක වත්කම් සහ වගකීම් පැවරීමට පහසුකම් සැලසීම සඳහා නිසි මූල්‍ය සහාය ලබා දීමට පද්ධතියක් පිහිටුවීම.

 

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පරිපාලනය සහ කළමනාකරණය 

ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පරිපාලනය සහ කළමනාකරණය සඳහා වගකිව යුතු අතර, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ ප්‍රදානය කර ඇති හෝ පනවා ඇති හෝ පවරා ඇති සියලු බලතල, රාජකාරි සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හෝ මුදා හැරීම සිදු කළ යුතු ය. 
ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉහත වගකීම පැවරී ඇති අතර, එම දෙපාර්තමේන්තුව විසින් වර්තමානයේ දී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය කළමනාකරණය සහ මෙම යෝජනා ක්‍රමය ඔස්සේ තම තැන්පත්කරුවන් වෙත සිය තැන්පතු ආපසු ලබා දීමට අපොහොසත් වූ සාමාජික ආයතනවල තැන්පත්කරුවන් වෙත වන්දි ගෙවීම් කඩිනම් ආකාරයෙන් සිදු කරනු ලබයි. 

 

සාමාජික ආයතන යනු කවරෙක් ද?

සාමාජික ආයතනයක් යන්නෙන් 1988 අංක 30 දරන බැංකු පනතෙහි අර්ථානුකූලව බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙසත්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි අර්ථානුකූලව බලපත්‍රලාභී මුදල් සමාගමක් හෝ කලින් කලට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරනු ලබන පරිදි වෙනත් යම් ආයතනයක් ලෙසත් අර්ථ දැක්වේ.  වර්තමානයේ දී, සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි සාමාජික ආයතන ලෙස ලියාපදිංචි කර ඇත. 

 

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ පවතින තැන්පතු රක්ෂණ ආවරණය

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ, සාමාජික මූල්‍ය ආයතනයක් බිඳ වැටෙන අවස්ථාවක දී රක්ෂිත තැන්පත්කරුවන් හට නිශ්චිත ව දක්වා ඇති උපරිම මුදලක් දක්වා වන්දි මුදල් පිරිනැමෙයි. මෙය ‘ආවරණය‘ ලෙස හැඳින්වෙන අතර, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ වත්මන් ආවරණය ආයතන පදනම මත එක්  තැන්පත්කරුවෙකුට රු. 1,100,000 කි. මෙම ආවරණය ගණනය කිරීමේ දී, රුපියල් සහ විදේශීය මුදලින් නිරූපිත එක් එක් තැන්පත්කරුගේ සියලු රක්ෂිත තැන්පතු වගකීම්, සාමාජික ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමේ දිනට උපචිත යම් පොලී අගයන් ඇතුළු ව, එහි සමාන රුපියල් අගයකට එක් කර ගණනය කළ යුතු ය.
ඒකාබද්ධ තැන්පතු සලකා බැලීමේ දී, එක් එක් ඒකාබද්ධ තැන්පත්කරු තනි තැන්පත්කරුවෙකු ලෙස සලකා බලන අතර, සාමාජික ආයතනයේ ඔහු/ඇයට අයිති සියලු ම රක්ෂිත තැන්පතු සලකා බලමින් රු.1,100,000/- ක උපරිමයක් දක්වා ඔහු/ඇය වෙත වන්දි ගෙවනු ලැබේ.
මිය ගිය තැන්පත්කරුවෙකුගේ හිමිකමක් සඳහා ප්‍රතිලාභීන් කිහිප දෙනෙකු සිටින්නේ නම්, මුළු තැන්පතුවලට සාපේක්ෂව එක් එක් ප්‍රතිලාභියාට අදාළ කොටසට අනූව එම ප්‍රතිලාභීන් අතර රු. 1,100,000/- දක්වා මෙම ප්‍රතිලාභීන් අතර සමානුපාතික ව බෙදා හැරේ. 

 

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදල

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් වත්කම්වලින් වෙන් ව කළමනාකරණය කළ යුතු, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලක් පිහිටුවිය යුතු ය.
2022 වසර අවසානයේ දී, මෙම යෝජනා ක්‍රමය රුපියල් මිලියන 86, 107.9ක (විගණනය කරන ලද) මුළු අරමුදල් ප්‍රමාණයක් සහිත ව සාමාජික ආයතන 67කින් සමන්විත විය. මෙම ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ අරමුදලෙහි විස්තර පහත දක්වා ඇත.
අයිතමය මුදල (රු. මිලියන)
2021.12.31 දිනට 2022.12.31 දිනට
අරමුදලෙහි ප්‍රමාණය 67,877.3 86,107.9
අනෙකුත් විස්තීර්ණ ආදායම් සංචිතය (2,103.0) (25,931.5)
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලෙහි සමස්ත ප්‍රාග්ධනය 65,784.4 60,176.4
මුළු ආදායම 19,298.9 24,882.9
මුළු වියදම (96.6) (226.3)
වර්ෂය සඳහා අතිරික්තය (බදු පෙර) 19,202.4 24,656.6
ආදායම් බද්ද (2,647.1) (6,436.1)
වර්ෂය සඳහා අතිරික්තය (බදු පසු) 16,555.2 18,220.6
මුළු වත්කම් 74,443.9 69,017.6
රජයේ සුරැකුම්පත්වල සිදු කරන ආයෝජන 69,529.2 63,596.0
ණය සහ ලැබිය යුතු දෑ (වෙන්කිරීම්වලින් ශුද්ධ) 381.9 192.7

 

රක්ෂණ වන්දි ගෙවීම

මුදල් මණ්ඩලය විසින් බලපත්‍ර අවලංගු කර ඇති හෝ අත්හිටුවා ඇති සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL), ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් (TSCFL), ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ් (TKSFL), ද ෆිනෑන්ස් පීඑල්සී (TFC), ETI ෆිනෑන්ස් ලිමිටඩ් (ETIFL), ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී (SFSP) සහ බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී (BFP) යන මූල්‍ය සමාගම් හතෙහි (07) තැන්පත්කරුවන්, එක් තැන්පත්කරුවෙකුට රුපියල් 1,100,000ක් උපරිමයක් දක්වා වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ ය.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදල විසින් 2022.12.31 දිනට ගෙවා ඇති මුළු වන්දි ප්‍රමාණය පහත දක්වා ඇත:
සමාගමේ නම මුළු රක්ෂිත අගය(රුපියල් මිලියන) ගෙවන ලද තැන්පත්කරුවන් ගණන ගෙවන ලද වන්දි මුදල (රුපියල් මිලියන) ගෙවන ලද වන්දි මුදල මුළු රක්ෂිත අගයේ ප්‍රතිශතයක් ලෙස 
සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2,465.66 3,497 1,982.76 80.41%
ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් 1,667.84 2,536 1,311.24 78.62%
ටී කේ එස් ෆිනෑන්ස් පීඑල්සී 1,190.74 1,876 1,017.37 85.44%
ද ෆිනෑන්ස් කම්පැණි පීඑල්සී 14,735.82 35,343 12,573.62 85.33%
ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් 13,915.89 26,782 12,565.68 90.30%
ස්වර්ණමහ්‍ල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී 1,253.27 2,607 1,048.57 83.67%
මුළු මුදල 35,229.22 72,641 30,499.24 86.57%

 

වන්දි ගෙවීම සඳහා හිමිකම් අයදුම්පත

බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී

 

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලෙහි මූල්‍ය ප්‍රකාශ

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන - 2022

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන - 2021

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන - 2020

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන - 2019

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන - 2018

 

මාධ්‍ය නිවේදන

02.02.2024     ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඩොලර් මිලියන 150 ක මූල්‍ය පහසුකමක් අත්සන් කරයි

10.11.2023     ලෝක බැංකුව ශ්‍රී ලංකා මූල්‍ය පද්ධති ආරක්ෂණ ඡාලය ශක්තිමත් කිරීම සඳහා එ.ජ.ඩොලර් මිලියන 150ක් අනුමත කරයි

 

විධාන, චක්‍රලේඛ සහ ගැසට් නිවේදන

2023 අංක 01 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත් විධාන -  ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ පරිපාලනය සහ කළමනාකරණය

 

අමතන්න

තැපැල් ලිපිනය: අධ්‍යක්ෂ, තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව.

දුරකථන අංකය:  0112477261

විද්‍යුත් තැපෑල: sldis@cbsl.lk , ddir@cbsl.lk

ෆැක්ස්: 0112477748

 

ආශ්‍රිත ලේඛන සහ සබැඳි

2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත

තැන්පතු රක්ෂකයන්ගේ ජාත්‍යන්තර සංගමයේ වෙබ් අඩවිය