සමස්ත විග්‍රහය
ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනයයි. 1950 වර්ෂයේ දී 1949 අංක 58 දරන මුදල් නීති පනත මගින් අර්ධ ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපනය කළ මහ බැංකුව, පස් සමාජික මුදල් මණ්ඩලයක් මගින් පාලනය කරනු ලැබේ.
හිතකර හා ස්ථාවර ආර්ථික සහ මූල්‍ය පද්ධතියක් අත්පත් කරගැනීමටත්, පවත්වාගැනීමටත් ඒ සඳහා කාර්යක්ෂම ලෙස සම්පත් යොදවා ගැනීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන අරමුණු දෙකක් පෙරදැරි ව කටයුතු කරයි:
අ ) ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගෙන යෑම
ආ) මුල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගෙන යෑම
එ මෙන් ම, මුදල් නීති පනතේ බලතලවලට අනුව, කාසි හා නෝට්ටු මහජනයා වෙත නිකුත් කිරීමේ අධිකාරීමය බලය හිමිවන්නේ ද මහ බැංකුවටයි. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ හා කළමනාකරණය කිරීමේ වගකීම ද දරනු ලබයි.
මීට අමතර ව රජයේ ආර්ථික කටයුතු උපදේශක මෙන් ම රජයේ බැංකුකරු ලෙස ද මහ බැංකුව කටයුතු කරයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එහි නියෝජිතයෙකු ලෙස සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම, විනිමය පාලන පනතට අනුව විනිමය කටයුතු කළමනාකරණය කිරීම, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධනය උදෙසා මූල්‍ය ප්‍රවේශය වර්ධනය තුළින් විදේශාධාර හා රජයේ අරමුදල් මගින් කෙරෙන ණය යෝජනා ක්‍රම පරිපාලනය කිරීම යන කාර්යයන්හි ද නිරත වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ එහි අධිපතිවරයායි. අධිපතිවරයා හැරුනු කොට, ඉහළ කළමනාකාරීත්වය සමන්විත වන්නේ නියෝජ්‍ය අධිපතිවරු, සහකාර අධිපතිවරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙනි. ශ්‍රී ලංකා මහ බැංකුව දෙපාර්තමේන්තු 29කින් සහ ප්‍රාදේශීය කාර්යාල 6කින් සමන්විත වෙයි. සහකාර අධිපතිවරයකු හරහා අධිපතිවරයාට හෝ නියෝජ්‍ය අධිපතිවරයකුට වාර්තා කරන අධ්‍යක්ෂකවරයකු විසින් (හෝ ඊට සමාන නිලධාරියකු) දෙපාර්තමේන්තු මෙහෙයවනු ලබයි.