අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ

අන්තර්බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ එක් දිනක් සහිත මුදල් වෙළෙඳපොළක් වන අතර එය ප්‍රධාන වශයෙන් බැංකු අතර ගැනුම් සහ විකුණුම් සැලසීම මගින් වාණිජ බැංකුවල ඇති ද්‍රවශීලතා අවශ්‍යතා කළමනාකරණය කර ගැනීමට උපකාරී වේ. මෙම ගනුදෙනු ස්වභාවයෙන් කෙටිකාලීන වන අතර වෙළෙඳපොළෙහි ද්‍රවශීලතා ඉල්ලුම සහ සැපයුම නිරූපණය කරයි.

ඒක්ෂණ මුදල් වෙළෙඳපොළට අදාළ පොලී අනුපාතිකය, අන්තර් බැංකු එ්ක්ෂණ අනුපාතිකය යි.  බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ගනුදෙනුවල වටිනාකම මත බරිත සාමාන්‍ය ඒක්ෂණ අනුපාතිකයෙහි බර තැබීම මගින් සිදු කරයි.   මෙය ශ්‍රි ලංකා මහ බැංකු විසින් සෑම වැඩකරන දිනයක් තුළදී ම මෙම අගය ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබයි.

අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළෙහි විධිමත් සහ ස්ථායි ක්‍රියාකාරිත්වය බැංකු පද්ධතියේ ද්‍රවශීලතා අවදානම අවම කිරීම සඳහා වැදගත් වේ. අන්තර් බැංකු ඒක්ෂණ පොලී අනුපාතිකයන් නිරන්තර උච්ඡාවචනයන් - නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව තුළ දී වුව ද හිතකර නොවේ.  මෙයට හේතුව මෙම පොලී අනුපාතිකයන් පාදක අනුපාතයක් ලෙස භාවිත කරනු ලබන අනෙකුත් වෙළෙඳපොළ පොලී අනුපාතික/මිල ගණන් මෙ මගින් දැඩි උච්ඡාවචනයකට භාජනය වීමයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ප්‍රතිපත්ති අනුපාතිකවල සිට නිත්‍ය තැන්පතු පහසුකම් සහ නිත්‍ය ණය පහසුකම් වෙනස් කිරීම මගින් ද්‍රවශීලතා වෙළෙඳපොළ කළමනාකාරණය සිදුකිරීමෙන් මුදල් වෙළෙඳපොළ ස්ථායි ව පවත්වා ගනී.
මුදල් වෙළෙඳපොළ ස්ථායිතාව පවත්වා ගැනීම මුදල් ප්‍රතිපත්තිය ස්ථාපනය කිරීමේ අරමුණ වේ.

විවිට වෙළෙඳපොළ කටයුතු මෙහෙයවීමෙන් මුදල් ප්‍රතිපත්ති ස්ථාපනය කරන ලදී. එ මගින්;
  (i)    නිත්‍ය පහසුකම් සැපයීම
  (ii)   ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය බල ගැන්වීම
  (iii)  සදාචාරාත්මක උපදෙස් සැපයීම සිදු කෙරේ.

මූල්‍ය ස්ථායිතාව ළඟා කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අන්තර් බැංකු ඒක්ෂණ අනුපාතිකය (ඒක්ෂණ අනුපාතිකය) නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව තුළ, අඩු උච්ඡාවචනයක් සහිත ව අපේක්ෂිත මට්ටම පවත්වා ගැනීමට ක්‍රියා කරයි. මුදල් ප්‍රතිපත්තියේ අවශ්‍යතාව අනුව ඒක්ෂණ අනුපාතිකයේ අපේක්ෂිත මට්ටම තීරණය කරනු ලබයි.

නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව ප්‍රතිපත්ති අනුපාත දෙකකින් යුක්ත වේ;
  (i)    නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය
  (ii)   නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය

මෙම අනුපාත දෙක පිළිවෙලින් ඒක්ෂණ අනුපාතිකයේ පහළ සහ ඉහළ සීමාවන් සපයනු ලබයි.

මෙම කොරිඩෝවෙහි වැදගත්කම වනුයේ වෙළෙඳපොළෙහි ඇතිවිය හැකි කෙටි කාලීන පොලී අනුපාතිකවල ඉහළ උච්ඡාවචනයන් සීමා කිරීමයි.

මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ සංඥා නිකුත් කරන යාන්ත්‍රණය වන මෙම අනුපාතික විධිමත් පදනමක් මත එ නම් සාමාන්‍යයෙන් මසකට වරක් විමර්ශනයට ලක් කරන අතර අවශ්‍ය විට නැවත සංශෝධනය කරයි.

ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ අනුපාතවල වෙනස්වීම් ඉතා කෙටි කාලපරිච්ඡේදයක් තුළ භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍ර හා බැංකුවල කෙටිකාලීන ණය අනුපාතවල ප්‍රතිලාභ වැනි අනෙකුත් කෙටිකාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාත වෙනස්වීම්වලට ඉඩ සලසයි.  කුඩා කාල පරාසයක් තුළ මෙම වෙනස්වීම් බැංකු හා අනෙකුත් ණය දෙන ආයතනවල මධ්‍යකාලීන ණය හා තැන්පතු අනුපාත මෙන්ම අනෙකුත් ණය දෙන ආයතනවල ප්‍රතිලාභ මත බලපෑම් ඇති කළ හැකි ය.

නිත්‍ය පහසුකම්

එක් දිනකදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අරමුදල් ලබාගැනීම හෝ අරමුදල් තැන්පත් කිරීම සිදු කරන සහභාගීත්ව ආයතන වන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් මේ යටතේ පහසුකම් ලබයි.  එ බැවින් මේවා එක් දින පහසුකම් වේ.  සහභාගීත්ව ආයතනවල සිය අතිරික්ත අරමුදල් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව තුළ තැන්පත් කළ හැකි අතර, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යටතේ රාජ්‍ය සුරැකුම්පත් උකස් කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අරමුදල් ණයට ගැනීම කළ හැකි ය. නිත්‍ය ණය පහසුකම ප්‍රතිවිකුණුම් පහසුකමක් වන අතර මෙ මගින් සහභාගිත්ව ආයතන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යටතේ නැවත මිල දී ගැනීමේ එකඟතාව මත සිය සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුවට අලෙවි කරයි.