මූල්‍ය උපකරණ

තැන්පතු

තැන්පතු යනු ගනුදෙනුකරුවකුගේ ගිණුමකට බැර කිරීම සඳහා මූල්‍ය ආයතනයක තබා ඇති මුදලේ එකතුවයි. 

තැන්පතු වර්ග තුනක් ඇත. 

         (අ) ඉල්ලුම් තැන්පතු

         (ආ) ඉතුරුම් තැන්පතු

         (ඇ) ස්ථාවර හෝ කාලීන තැන්පතු

ඉල්ලුම් තැන්පතු

ඉල්ලුම් තැන්පතු ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ගනුදෙනු කටයුතු ආරක්ෂා කිරීම සඳහායි. මෙහි ඇති මුදල් ඉල්ලූ සැණින් ආපසු ලබා ගත හැක. ඉල්ලුම් තැන්පතු පොලියක් උපයන්නේ නැත. එහෙත් ඉල්ලුම් තැන්පතුකරුවන්ට මුදල් ආපසු ලබා ගැනීමේ දී සහ ගෙවීම් කටයුතුවල දී පහසුකම් සැලසීමට චෙක්පත්, ස්ථාවර නියෝග, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් සහ ණය කාඩ්පත් වැනි සේවා කිහිපයක් බැංකු විසින් සපයයි. 

ඉතුරුම් තැන්පතු

ඉතුරුම් තැන්පතු පොලියක් උපයයි. එය ගණනය කරනු ලබන්නේ දිනපතා, සතිපතා, මාස්පතා හෝ වාර්ෂික ව ය. ඕනෑ ම වේලාවක දී ඉතුරුම් ගිණුම්වලින් මුදල් ලබා ගත හැක. ඉතුරුම් තැන්පතුකරුවන්ට ගනුදෙනුවල විස්තර ඇතුළත් පාස් පොත් හෝ ප්‍රකාශන මූල්‍ය ආයතන විසින් නිකුත් කරයි. එ ලෙස ම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ ණය කාඩ්පත් වැනි සේවා ද සපයයි.

ස්ථාවර හෝ කාලීන තැන්පතු

ස්ථාවර හෝ කාලීන තැන්පතු යනු යම්කිසි නිශ්චිත කාලපරිච්ඡේදයක් සඳහා මූල්‍ය   ආයතනවල තබා ඇති මුදල් වේ. ස්ථාවර හෝ කාලීන තැන්පතු සඳහා ඉතුරුම් තැන්පතුවලට වඩා වැඩි පොලී අනුපාතිකයක් ගෙවනු ලැබේ. ඒවා කෙටි, මධ්‍යම හෝ දිගු කාලීන විය හැක. කල් පිරෙන දිනයට පෙර දිනයක දී මුදල් ආපසු ලබා ගත හැක්කේ කලින් දැනුම් දීමක් මගින් පමණි. මෙහි දී දඩයක් පැනවිය හැක. ඇපයක් ලෙස තැන්පතු ව භාවිත කර මූල්‍ය  ආයතනවලින් ණය ලබාගැනීමට පහසුකමක් ස්ථාවර/කාලීන තැන්පත්කරුවන්ට ඇත.

 

ණය

ණයක් යනු එකඟ වූ පොලී අනුපාතිකයකට එකඟ වූ දිනවල දී වාරික ව හෝ එකවර නැවත ගෙවීමේ කොන්දේසිය මත ණය දෙන්නෙකු, සාමාන්‍යයෙන් මූල්‍ය  ආයතනයක්, විසින් සපයනු ලබන නිශ්චිත මුදල් ප්‍රමාණයකි. බොහෝ අවස්ථාවල මූල්‍ය ආයතන ලබා දෙනු ලබන ණය සඳහා යම් ආකාරයක සුරැකුමක් ලබා ගනියි.

 

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර

භාණ්ඩාගාර බිල්පත්

•    භාණ්ඩාගාර බිල්පත් යනුවෙන් හැඳින්වෙන්නේ වසරක් දක්වා කල්පිරීම් කාලයක් ඇති රජයේ සුරැකුම්පත් ය.
•    දේශීය භාණ්ඩාගාර බිල්පත් ආ‍‍ඥා පනතෙහි ඇතුළත් නියෝග යටතේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි.
•    භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනු ලබන්නේ දින 91, දින 182 සහ දින 364 ක පරිණත කාලයකට ය.
•    භාණ්ඩාගාර බිල්පත් ශුන්‍ය කූපන් සුරැකුම්පත් වන අතර කල් පිරීමේ දී ගෙවනු ලබන මුහුණතෙහි ප්‍රකාශිත අගයට වට්ටමක් සහිත ව අලෙවි කරනු ලැබේ.
•    හිමිකරුට ලැබෙන පොලී ආදායම වන්නේ මිල දී ගන්නා අගය සහ මුහුණතෙහි ප්‍රකාශිත අගය අතර වෙනසයි.
•    භාණ්ඩාගාර බිල්පත් ද්‍රවශීල වත්කම් ලෙස සලකනු ලබන්නේ ඒවා  ද්වීතියික වෙළෙඳපොළේ පහසුවෙන් අලෙවි කළ හැකි බැවින් හා මුදල් බවට පත් කළ හැකි බැවිනි.

භාණ්ඩාගාර බැඳුම්කර

•    භාණ්ඩාගාර බැඳුම්කර මධ්‍ය සහ දිගු කාලීන රජයේ සුරැකුම්පත් වන අතර ඒවා නිකුත් කරනු ලබන්නේ අවුරුදු 2 සිට අවුරුදු 30 අතර කල් පිරීමේ කාල පරාසවලිනි.
•    ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් ආඥා පනතෙහි ඇතුළත් නියෝග යටතේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබේ.
•    ඒවා වසරකට දෙ වතාවක් ගෙවනු ලබන පොලියක් සහිත සුරැකුම්පත් වේ. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර රජය විසින් සහතික කරනු ලැබේ. නො ගෙවා පැහැර හැරීමේ අවදානමක් නො මැති බැවින් අනෙකුත් සියළු ම ආයෝජනයන්ට වඩා මේවා සුරක්ෂිත ය.

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳුන්ට වෙන්දේසියක දී විකිණිය හැකි නිසා සහ ඔවුන් එම සුරැකුම්පත් නැවතත් මහජනයාට අලෙවි කරන නිසා මිලට ගෙන අලෙවි කළ හැකි සුරැකුම්පත් වේ.

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මත ඇති ප්‍රතිලාභය තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළයි. එය සක්‍රිය සහ ද්‍රවශීල වෙළෙඳපොළකි.

2004 වසරේ සිට, නිර්ලේඛන ස්වරූපයෙන් (ලේඛන රහිත ව) භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කරනු ලබන අතර මහ බැංකුවේ ලංකාසෙක්‍යු පද්ධතියෙහි විද්‍යුත් මාධ්‍යයෙන් ගනුදෙනු වාර්තා කරනු ලැබේ.

 

ප්‍රතිමිලදී ගැනිමේ ගිවිසුම්

ප්‍රතිමිලදී ගැනිමේ ගිවිසුම යනු;
    (අ)     මුදල් ලබා ගැනීම සඳහා සුරැකුම්පත් (සාමාන්‍යයෙන් රජයේ සුරැකුම්පත්),
    (ආ)     නිශ්චිත මිලකට,
    (ඇ)    එම සුරැකුම්පත ම හෝ ඒ හා සමාන සුරැකුම්පත් නැවත මිල දී ගැනීමේ පොරොන්දුවක් සහිත ව,
    (ඈ)    ස්ථාවර මිලකට,
    (ඉ)     නියම කර ගත් ඉදිරි දිනයක දී,
    අලෙවි කිරීම සම්බන්ධ ව පවත්නා විධිවිධානයි.

අලෙවි කිරීමේ මිල සහ ප්‍රතිමිලදී ගැනීමේ මිල අතර වෙනස පොලී ආදායමයි.

සුරැකුම්පත් මිල දී ගන්නා ගැනුම්කරුගේ පාර්ශ්වයෙන් බලන කල මෙම ගිවිසුම ප්‍රතිවිකුණුම් ගිවිසුම වශයෙන් හැඳින්වේ.  ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුමක් සුරැකුම්පත් ඇපයට තබා ගත් ණයකට සමාන වේ.

බොහෝ ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුම් ඉතා කෙටි කාලීන මුදල් වෙළෙඳපොළ උපකරණ වේ.
 

වාණිජ පත්‍ර

වාණිජ පත්‍ර යනු;
•    කෙටි කාලීන,
•    සුරැකුම් නොමැති (අනාරක්ෂිත),
•    පෞද්ගලික අංශයේ සමාගම් විසින්,
•    තමන්ගේ ම භාවිතය සඳහා අරමුදල් නගා සිටුවීම පිණිස,
බැංකු හා අනෙකුත් මූල්‍ය අතරමැදියන් හරහා නිකුත් කරනු ලබන මූල්‍ය උපකරණයකි.

ණය දීමට සුදුසු (ඉහළ ශ්‍රේණිතග කිරීමක් සහිත) සහ ගෙවීමේ දී අමතර බැංකු ඇප ඇති ආයතන විසින් විශාල අගයන් සහිත ව මේවා සාමාන්‍යයෙන් නිකුත් කරනු ලැබේ. 

වාණිජ පත්‍ර සාමාන්‍යයෙන් අලෙවි කරනු ලබන්නේ වට්ටමකට වුවත් සමහර අවස්ථාවල දී පොලී ගෙවීම සිදු කරයි.

 

සාංගමික බැඳුම්කර සහ ණයකර

සාංගමික බැඳුම්කර යනු;
•    මධ්‍ය සහ දිගුකාලීන,
•    පෞද්ගලික අංශයේ සමාගම්වලට අයත්,
•    කිසියම් වූ සුරැකුමකට යටත් ව,
•    නිකුත් කරන්නා විසින් පොලිය ගෙවීම සඳහා බැඳී සිටින,
•    නිකුත් කරන්නා විසින් කල් පිරීමේ දී මුල් මුදල මුදා හැරීම සඳහා බැඳී සිටින ණය උපකරණ වේ.

විශේෂිත සුරැකුමක් මගින් ආවරණය නො වන සාංගමික බැඳුම්කර ණයකර නමින් හැඳින්වේ.

ණයකර යනු;
•    ඇප රහිත
•    මධ්‍ය හෝ දිගුකාලීන
•    පොලී සහිත
•    පෞද්ගලික අංශයේ සමාගම්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන විසින් නිකුත් කරනු ලබන
•    නිකුත් කරන්නාගේ සාමාන්‍ය ණයෙන් පමණක් ආවරණය වන බැඳුම්කර වේ.

ස්ථාපිත, විශාල ආයතන විසින් සාමාන්‍යයෙන් ණයකර නිකුත් කරනු ලැබේ.

ණයකර හිමියන් සලකනු ලබන්නේ ණයහිමියන් ලෙස ය. නිකුත් කරනු ලබන සමාගමේ ද්‍රවශීලතා අවස්ථාවක දී කොටස්කරුවන්ට පෙර ගෙවීම් ලැබීම සඳහා ඔවුන් හිමිකම් ලබයි.

 

වත්කම් මත පදනම් ඇපකර සහිත සුරැකුම්පත්

වත්කම් මත පදනම් ඇපකර සහිත සුරැකුම්පත් යනු උකස්කර, ණය හෝ අය කර ගත හැකි දේ ඇපයට තබන ලද (ආරක්ෂිත) බැඳුම්කර වේ. නිකුත් කරනු ලබන ආයතනය විසින් උකස්කර, ණය, ණය වාරික, ණය කාඩ්පත් හෝ අනෙකුත් අය කර ගත හැකි දේ භාරකාර මණ්ඩලයකට හෝ විශේෂිත අරමුණ වාහකයෙකුට අලෙවි කරන අතර, අනතුරු ව එම භාරකාර මණ්ඩලය හෝ විශේෂිත අරමුණ වාහකයා විසින් වත්කම් මත පදනම් ඇපකර සහිත සුරැකුම්පත් මහජනයාට අලෙවි කරනු ලබයි. වත්කම් මත පදනම් ඇපකර සහිත සුරැකුම්පත් පොලී සහිත ණය උපකරණයි. රක්ෂණ හෝ ඇප සහතික භාවිතය හරහා ඒවා බොහෝ විට ඉහළ අගයකට නංවයි.

 

මූල්‍ය කල්බදු

මූල්‍ය කල්බදු යනු ප්‍රාග්ධනය හෝ කල් පවත්නා උපකරණ මිල දී ගැනීම සඳහා මූල්‍යකරණය කිරීමට සපයන ලද අවකාශය යි. එහි දී ප්‍රාග්ධනය සහ පොලියත් සහිත ව මුළු වියදම ආවරණය වන පරිදි ගෙවීමකට එකඟ ව නීතිමය හිමිකරු (කල් බදු දෙන්නා) බදු ගැනුම්කරුට උපකරණය ණයට දෙයි. බදු ගැනුම්කරු වත්කම භාවිත කිරීමෙන් ලැබෙන සිය‍ළු ම ප්‍රතිලාභ ලබා ගන්නා අතර නඩත්තුව, රක්ෂණය සහ බදු වැනි එහි හිමිකම ආශ්‍රිත වියදම් දරයි. ණයෙහි ප්‍රාග්ධනය සහ පොලී ගෙවීම්වලින් සම්පූර්ණයෙන් ම නිදහස් වූ විට බදු ගැනුම්කරුට උපකරණයේ නීතිමය හිමිකම පවරනු ලබයි.