ව්‍යවස්ථාදායක ප්‍රඥාප්ති

මූල්‍ය පද්ධතිය සහ ශ්‍රී ලංකා  මහ බැංකුව

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත ඉවත් කිරීම පිණිස ද; සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

1949 අංක 58 දරන මුදල් නීති පනත (2014 ජුනි 30 වැනිදා දක්වා සංශෝධන ඇතුළත් ව)

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්‍රමය ස්ථාපිත කිරීමට, පරිපාලනය කිරිමට සහ නියාමනය කිරිමට හා ශ්‍රී ලංකා මහ බැංකුව පහිටුවීමට හා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට එහි කාර්යයන්, පරිපාලනය හා නියාමනය වැනි පරමාර්ථයන් උදෙසා අවශ්‍ය වන්නා වු වගකීම් ප්‍රදානය කරන හා පනවන පනතකි. 

බැංකු

2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත

මහ බැංකුවේ නිරාකරණය කිරීමේ අධිකාරී බලය සහ ප්‍රාග්ධනය,  ද්‍රවශීලතාව, බුන්වත්භාවය පිලිබඳ හෝ වෙනත් යම් අවධානමකට යටත් බලපත්‍රලාභී බැංකුවක් කාලින ව නිරාකරණය කිරීම සඳහා මහ බැංකුව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි නිරාකරණ ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කරමින් එවැනි බැංකුවක තැන්පත්කරුවන්ගේ සහ ණයහිමියන්ගේ යහපත සහතික කිරීම සඳහා එකී බැංකුව අඛණ්ඩ පැවැත්මක් සහිතව යලි පණගැන්වීම පිණිස ද; එවැනි බලපත්‍රලාභී බැංකු සඳහා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක් සහ ගණන් බෙර වසා දැමීමේ ක්‍රියාවලියක් සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වු පනතකි.

1988 අංක 30 දරන බැංකු පනත

බැංකු ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් සම්බන්ධ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාපටිපාටිය හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම හා ඒ හා සම්බන්ධ විධිවිධාන ක්‍රියාත්මක කිරීම ඇතුළත් පනතකි.

බැංකු නොවන මූල්‍ය ආයතන

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

බලපත්‍රලාභී මුදල් සමාගම් පාලනය සහ අධීක්ෂණය සඳහා විධිවිධාන සලසන සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සලසන පනතකි. නීතිවිරෝධී මුදල් ව්‍යාපාර මැඩලීම සඳහා බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීමට 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත අහෝසි කර ප්‍රතිස්ථාපනය කිරීම මගින් එය 2011.11.09 දින බලාත්මක කරන ලදී.

2000 අංක 56 දරන කල්බදු සමාගම් පනත

මෙම පනත කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සමාගම් නියාමනය කිරීම සහ අධීක්ෂණය සඳහාත් කල්බදු විකුණුම්කරුවන් සහ එම උපකරණ සපයන්නන් සඳහා බලපවත්වන අයිතිවාසිකම් යුතුකම් පැහැදිලි කිරීම හා ඒ හා බැඳුනු හා ඊට අනුෂාංගික ප්‍රතිපාදන සැලසීම සඳහා ඇති පනතකි.

ක්ෂුද්‍ර මූල්‍ය පනත

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත

ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරය කර ගෙන යනු ලබන සම‍ාගම් සඳහ‍ා බලපත්‍ර දීම, ඒවා නියාමනය හා අධීක්ෂණය කිරීමට ද; ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නො වන සංවිධාන වශයෙන් සීමිත ඉතිරි කිරීමේ තැන්පතු භාරගන්නා රාජ්‍ය නො වන සංවිධාන ලියාදිංචි කිරීම; ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නො වන සංවිධාන ක්ෂුද්‍ර ණය රාජ්‍ය නො වන සංවිධාන නියාමනය සහ අධීක්ෂණය කිරීම සඳහා ප්‍රමිති ස්ථාපිත කිරීමට සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

විදේශ විනිමය

2017 අංක 12 දරන විදේශ විනිමය පනත

විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම සහ නියාමනය කිරීම පිණිස විධිවිධාන සැලැස්වීම සඳහා ද; විදේශ විනිමය ප්‍රවර්ධන කිරීම සහ නියාමනය කිරීම පිළිබඳ වගකීම රජයේ නියෝජිත වශයෙන් මහ බැංකුව වෙත පැවරීම සඳහා ද; (423 වන අධිකාරය වූ) විනිමය පාලන පනත ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලසීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

1953 අංක 24 දරන විනිමය පාලන පනත

මෙම පනත මගින් රන් මුදල්, ගෙවීම්, සුරැකුම් ණය සහ ආයනය, අපනයන, දේපල පැවරුම් වැනි අංශ පිළිබඳ කටයුතු පරිපාලනය කිරීමට අවසර දීම හා යුතුකම් හා සීමාකිරීම් පැනවීමටත් ඒ සම්බන්ධ වු කරුණු සම්පාදනයටත් මහ බැංකුවට අධිකාරී බලය ලබාදීම ඇතුලත් පනතකි.

 

සේවක අර්ථසාධක අරමුදල

2012 අංක 2 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත (සංශෝධනය)

 

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සහ සංශෝධන (1998 දෙසැම්බර් 31 වනදා දක්වා සංශෝධන ඇතුළත්ව)

 

වෙනත් ව්‍යවස්ථාදායක ප්‍රඥාප්ති

1923 අංක 08 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත

ශ්‍රී ලංකාවෙහි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය මුදල් ලබා ගැනීම සඳහා නිකුත් කර ඇති ආඥා පනත.

1937 අංක 07 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත

ශ්‍රී ලංකාවේ ණය උත්පාදන කරනු වස් ලියාපදිංචි ව්‍යාපාර කොටස්, රජයේ පොරොන්දු නෝට්ටු සහ ධාරක බැඳුම්කර ඇති කිරීමට හා නිකුත්කිරීමට අදාළව විධිවිධාන ඇතුලත් ආඥා පනත.

2005 අංක 28 දරණ ගෙවීම් හා පියවීම් පද්ධති පනත

ගෙවීම්, නිශ්කාෂණය සහ පියවීම් වලට අදාල රෙගුලාසි ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් පැවැරීම් මුදල් සේවාවන් සපයන්නන්ට අදාල නීති, විද්‍යුත් චෙක්පත්වලට අදාල නීති සහ මේ හා සම්බන්ධ අනිකුත් කරුණු හා බැඳුනු නීති මෙම පනත මගින් සපයනු ලැබේ.

2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනත

ත්‍රස්තවාදය හා සම්බන්ධ මුදල් විශුද්ධිකරණය හා මූල්‍යකරණයේ වැරදි වළක්වාලීම, අඩුකර ගැනීම, නිරීක්ෂණය කිරීම සහ පැමිණිලි කිරීම සඳහා පහසුකම් සපයන සැක කටයුතු මූල්‍ය ගනුදෙනු වලට අදාල දත්තයන් රැස්කිරීම සඳහා නිතී රීති මෙම පනතින් සපයයි.
තවද, මෙම පනතට අදාල සෑම ආයතනයකම වගකිව යුතු නිලධාරීන් හඳුනාගැනීම, මේ හා සම්බන්ධ තොරතුරු සැපයීමට අදාල ප්‍රතිපාදන සැපයීම මෙම පනතින් සිදුකෙරේ.