සාර්ව විචක්ෂණ අධ්‍යයනය
2008 ගෝලීය මූල්‍ය අර්බුදය මගින් ප්‍රත්‍යක්ෂ වූ කාරණයක් වූයේ, එක් මූල්‍ය ආයතනයක ඇති වූ අහිතකර තත්ත්වයක් ඒ හා සම්බන්ධ අනෙක් ආයතනවලට, වෙනත් අංශවලට මෙන් ම වෙනත් රටවල් කරා ද ඉතා ඉක්මණින් පැතිර යමින් පද්ධතිමය ගැටලු ඇති කිරීමට හැකි බවයි. ලෝක මූල්‍ය අර්බුදය හා ඒ සම්බන්ධ පශ්චාත් ප්‍රවණතා මගින් පැහැදිලි වූයේ මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා ක්ෂුද්‍ර විචක්ෂණ අධ්‍යයනය පමණක් ප්‍රමාණවත් නො වන බවයි. ඒ අනුව, රටෙහි සමස්ත මූල්‍ය ස්ථායීතාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි පුළුල් වෙළෙඳපොළ හා ආර්ථික සාධක පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා, තනි ආයතන මට්ටමේ අධීක්ෂණයෙන් ඔබ්බට ගිය, වඩා විස්තීරණ සාර්ව විචක්ෂණ ප්‍රවේශයක වැදගත්කම ශ්‍රී ලංකා මහ බැංකුව හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙතෙක් විකසනය වූ ආයතනික ව්‍යුහය තුළින් වඩාත් විස්තීරණ සාර්ව විචක්ෂණ අධ්‍යයන රාමුවක් ආයතනගත කිරීම සඳහා බැංකුවේ පැහැදිලි කැපවීම පිළිබිඹු වේ. නුදුරු අනාගතයේ දී ඇති විය හැකි ප්‍රධාන අස්ථායීතා හා අසංතුලනවලට මුල් විය හැකි අවදානම් හා අන්තරායයන් කල්තබා හඳුනාගෙන ඒවා තක්සේරු කිරීම හා එවැනි අස්ථායීතා හා සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති නිර්දේශ කිරීම ද ඇතුළත් විෂය පථයක් සහිත ව 2006 මැයි මස, එ නම් ගෝලීය මූල්‍ය අර්බුදයට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මූල්‍ය ස්ථායීතා ඒකකය” පිහිටුවන ලදී. පසුව, 2006 අගෝස්තුවල මාසයේ දී, සාර්ව විචක්ෂණ අධ්‍යයන පිළිබඳ පැහැදිලි අරමුණකින් යුතු ව මූල්‍ය ස්ථායීතා ඒකකය, වෙන ම දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපනය කරන ලදී.
පද්ධතිමය අවදානමට තුඩු දෙන විවිධ අවදානම් ප්‍රභවයන් පුළුල් ව ආවරණය කිරීමේ අරමුණු පෙරදැරි ව ශ්‍රී ලංකා මහ බැංකුවේ සාර්ව විචක්ෂණ අධ්‍යයන රාමුව ක්‍රමයෙන් විකාශනය විය. අරමුදල් ගලා යෑම, මූල්‍ය මිල ගණන්, මුදල් දත්ත, විදේශ අංශයෙහි මූල්‍ය දත්ත හා සාර්ව ආර්ථික දත්ත සමඟින් බැංකු/මූල්‍ය ව්‍යුහ හා ගුණාත්මක තොරතුරු නියෝජනය කරන පුළුල් පරාසයක දත්ත මත එකී සාර්ව විචක්ෂණ අධ්‍යයන රාමුව පදනම් ව ඇත. එසේ සිදු කරන සාර්ව විචක්ෂණ ඇගයීම් පහත දැක්වෙන ආකෘති යටතේ පිළිබිඹු කෙරේ.
(අ) මූල්‍ය ස්ථායීතා දර්ශක හා සිතියම්
පදනම් වර්ෂයට සාපේක්ෂ ව සලකා බලන අවස්ථාව වන විට මූල්‍ය පද්ධතියේ පවත්නා පද්ධතිමය ආතතියට අනුරූප මුල්‍ය ස්ථායීතා දර්ශක හා සිතියම් මගින් නිරූපණය කෙරේ. වර්තමානයේ, මූල්‍ය වෙළෙඳපොළ ස්ථායීතා දර්ශකය, බැංකු අංශයේ ශක්තිමත්භාවය පිළිබඳ දර්ශකය හා මූල්‍ය සමාගම් අංශයේ ශක්තිමත්භාවය පිළිබඳ දර්ශකය ආදී වශයෙන් අනු ඛාණ්ඩිත දර්ශක තුනක් ඇත.
මූල්‍ය වෙළෙඳපොළ, බැංකු අංශය සහ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය යන මූල්‍ය පද්ධතියේ විවිධ අංශ වලින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවට අදාල වන අවදානම්/අස්ථාවර සාධක ගණනාවක සමකාලීන වර්ධනයන් මත මෙම දර්ශක තුන පදනම් වී ඇති අතර එම සාධකවල වෙනස්කම් ඉහත සඳහන් කළ එක් එක් කොටස් තුනෙහි වත්මන් ස්ථාවරත්වය දැක්වෙන තනි සංඛ්‍යානයක් වශයෙන් සංක්ෂිප්ත කෙරේ. මූල්‍ය පද්ධති ස්ථායීතා දර්ශකය යනු මූල්‍ය වෙළෙඳපොළ ස්ථායීතා දර්ශකය, බැංකු අංශයේ ශක්තිමත්භාවය පිළිබඳ දර්ශකය සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අංශයේ ශක්තිමත්භාවය පිළිබඳ දර්ශකය යන අනු ඛාණ්ඩිත දර්ශක තුන භාවිතයෙන් ව්‍යුත්පන්න කරන ලද සංයුක්ත දර්ශකයකි. එසේ ඉදිරිපත් කෙරෙන මූල්‍ය පද්ධති ස්ථායීතා දර්ශකය සහ මූල්‍ය ස්ථායීතා සිතියම මගින් මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථායීතාව පිළිබඳ සංඛ්‍යානමය වශයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කෙරේ. මූල්‍ය පද්ධතිය ඉටු කරන්නාවූ අතරමැදිකරණ ක්‍රියාවලියට බාධා වන කාලපරිච්ඡේද හඳුනාගැනීම සඳහා 2020 වසරේදී නව ස්ථායීතා දර්ශකයක් වන මූල්‍ය ආතති දර්ශකය (FSI) ගොඩ නගන ලදී. මෙම නව දර්ශකය මූල්‍ය පද්ධතියේ පවතින ආතතිය නිර්ණය කිරීම සඳහා කොටස් වෙළෙඳපොළ, බැඳුම්කර වෙළෙඳපොළ, විදේශ විනිමය වෙළෙඳපොළ සහ බැංකු අංශයේ දර්ශක ඒකාබද්ධ කර නිර්මාණය කරන ලද සංයුක්ත දර්ශකයකි.
(ආ) නුබුන්වත් ආතති පරීක්ෂණය
සර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුව බැංකු අංශය සඳහා නුබුන්වත් ආතති පරීක්ෂණය ද්විවාර්ෂික පදනමින් සිදු කරනු ලබයි. මෙම පරීක්ෂණ මගින්, පදනම් අවස්ථාව සහ අහිතකර අවස්ථාව වශයෙන් උපකල්පිත මූල්‍ය ආර්ථික අවස්ථා දෙකක් යටතේ බැංකු අංශයේ ඔරොත්තු දීමේ හැකියාව තක්සේරු කිරීම සිදු කරයි. ආතති පරීක්ෂණයෙහි ප්‍රතිඵල මුදල් මණ්ඩලය වෙත නිරන්තරයෙන් ඉදිරිපත් කරනු ලබයි.
(ඇ) අන්තර්සම්බන්ධිතබාවය සහ සංස්පර්ෂණය විශ්ලේෂණය
අන්තර්සම්බන්ධිතබාවය සහ සංස්පර්ෂණය විශ්ලේෂණය මගින් අන්තර් බැංකු නිරාවරණ හරහා සමස්ත බැංකු පද්ධතියට ඇති විය හැකි අවදානම් වෙත ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන අතර මෙහි දී නුබුන්වත් සහ ද්‍රවශීලතා මාධ්‍ය ඔස්සේ අවදානම් සම්ප්‍රේෂණය වීමේ හැකියාව ද සැලකිල්ලට ගෙන ඇත. තවද, මෙම විශ්ලේෂණය රාජ්‍ය ව්‍යවසායන් සහ බලපත්‍රලාභී මුදල් සමාගම් තුළින් පැන නැගිය හැකි සංස්පර්ෂණ අවදානම් තක්සේරු කිරීම සඳහා ද ව්‍යාප්ත කර ඇත.
(ඈ) ද්‍රවශීලතා ආතති පරීක්ෂණය
අරමුදල් පිටතට ගලා යෑමේ කම්පනයකින් පසු ශුද්ධ මුදල් ශේෂයන් මත පදනම් වූ ද්‍රවශීලතා අවදානම් වලට බැංකුවල ඔරොත්තු දීමේ හැකියාව තක්සේරු කිරීම මුදල් ප්‍රවාහ ආතති පරීක්ෂණය මගින් සිදු කරනු ලබයි. මෙහිදී ආතති අවස්ථාව මගින් ද්‍රවශීලතා අර්බුදයක් තුළ දී සුලබව නිරීක්ෂණය කළ හැකි දැඩි ද්‍රවශීලතා පීඩනය අනුරූපණය කරනු ලබයි. මුදල් ප්‍රවාහ ආතති පරීක්ෂණය තුළින් එක් එක් කල්පිරීමේ කාල සීමාව තුළ දී සමුච්චිත ප්‍රතිතුලනය කිරීමේ හැකියාව භාවිතයෙන් බැංකුවල ද්‍රවශීලතා අවදානම දරා සිටීමේ හැකියාව පිලිබඳ අදහසක් සපයනු ලබයි.
(ඉ) මූල්‍ය පද්ධතිමය අවදානම පිලිබඳ සමීක්ෂණය
සාර්ව විචක්ෂනතා අධ්‍යයන දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය පද්ධතිමය අවදානම පිලිබඳ සමීක්ෂණය (SRS) 2017 වසරේ සිට ද්විවාර්ෂික පදනමින් සිදු කරයි. මූල්‍ය පද්ධතිමය අවදානම පිලිබඳ සමීක්ෂණය යනු මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට ඇති විය හැකි අවදානම සහ දැඩි බලපෑමක් ඇති කල හැකි සිදුවීම්වල වියහැකියාව පිලිබඳ වෙළදපොළ සහභාගිවන්නන්ගේ ආකල්ප හඳුනාගැනීමට පවත්වන ඉදිරි දැක්මක් සහිත සමීක්ෂණයකි. මෙම අවධානම් යතාර්ථයක් බවට පත්වුවහොත් මූල්‍ය අතරමැදිකරණ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි අතර මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පිළිබද මහජන විශ්වාසයට ද බලපානු ඇත. තවද, මූල්‍ය පද්ධතියේ දුර්වලතා පිලිබඳ සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුවහි අභ්‍යන්තර තක්සේරු වලංගු කිරීම සඳහා ද මූල්‍ය පද්ධතිමය අවදානම පිලිබඳ සමීක්ෂණය උපකාරී වේ.
(ඊ) කාලානුරූප අවදානම් තක්සේරු කිරීම්
සාර්ව විචක්ෂනතා අධ්‍යයන දෙපාර්තමේන්තුව මූල්‍ය අංශයේ අවදානම් සහ වර්ධනයන් ඉස්මතු කරන කාර්තුමය අවදානම් තක්සේරුව කාර්තුමය පදනමින් සකස් කරනු ලබයි. මූල්‍ය පද්ධති ස්ථායිතා කමිටුව හරහා මුදල් මණ්ඩලය වෙත මෙම කාර්තුමය අවදානම් තක්සේරුව ඉදිරිපත් කරනු ලැබේ.
(එ) මූල්‍ය පද්ධති ස්ථායිතා සමාලෝචනය
සාර්ව විචක්ෂනතා අධ්‍යයන දෙපාර්තමේන්තුව අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ පරීක්ෂාව සඳහා මූල්‍ය පද්ධති ස්ථායීතා සමාලෝචනය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබයි. මූල්‍ය පද්ධති ස්ථායීතා සමාලෝචනය සාර්ව මූල්‍ය තත්ත්වයන්, මූල්‍ය වෙළඳපල, මූල්‍ය ආයතන, ආයතනික හා ගෘහස්ථ අංශය සහ මූල්‍ය යටිතල පහසුකම් යන පරිච්ඡේද පහක් යටතේ මූල්‍ය පද්ධතියේ අවදානම සහ ඔරොත්තු දීමේ හැකියාව විශ්ලේෂණය කරයි.
(ඒ) ගෘහස්ත සහ ආයතනික අංශ විශ්ලේෂණය
ආයතනික සහ ගෘහස්ථ යන දෙඅංශයෙන් පැන නගින මූල්‍ය අවදානම් තක්සේරු කිරීම සඳහා සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුව විසින් විශ්ලේෂණ සිදු කරයි. මේ අනුව, මූල්‍ය නොවන සමාගම් සඳහා නිදර්ශකයක් වන කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම් පිළිබඳ තොරතුරු භාවිතා කරමින්, එම සමාගම් මගින් මූල්‍ය පද්ධතියට පැන නගින අවදානම් තක්සේරු කිරීම තුළින් ආයතනික අංශයේ දුර්වලතා කාර්තුමය පදනමින් විශ්ලේෂණය කරයි. මීට අමතරව, ගෘහස්ථ හා ආයතනික අංශවල ණය ගැතියන්ගෙන් පැන නගින මූල්‍ය අවදානම් තක්සේරු කිරීමට සහ පද්ධතිමය අවදානම් ගොඩ නැගීම හඳුනා ගැනීමට සාර්ව විචක්ෂනතා අධ්‍යයන දෙපාර්තමේන්තුව විසින් එම ණයගැතියන්ගේ ණයගැතිභාවය විශ්ලේෂණය කරනු ලබයි. ණය තොරතුරු කාර්යාංශයෙන් (CRIB) ලබාගත් බැංකු අංශයේ සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අංශයේ කාර්තුමය ණය දත්ත මත පදනම්ව මෙම විශ්ලේෂණය සිදු කරයි.
(ඔ) තිරසාර මූල්‍යකරණය
ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය පිළිබද පෙර දැක්ම (Road Map) ක්‍රියාත්මක කිරීමේ ලේකම් කාර්යාලය ලෙස සාර්ව විචක්ෂනතා අධ්‍යයන දෙපාර්තමේන්තුව ක්‍රියා කරන අතර රට තුළ තිරසාර මූල්‍යකරණය ප්‍රවර්ධනය කිරීමට උනන්දුවක් දක්වන බහු පාර්ශවකරුවන්ගේ කණ්ඩායම් සම්බන්ධීකරණය කිරීමෙහි අඛණ්ඩව නිරත වේ.