සේවා අනිසි, විකෘති කරන ලද හා විකල වූ මුදල් නෝට්ටු

විකල වූ හෝ පලුදු වූ මුදල් නෝට්ටු

ගෙවීයාම සහ ඉරීම නිසා නෝට්ටුවේ සම්මත ප්‍රමාණය අඩුවී ගිය හෝ නැතහොත් ඉරීගිය,  හානි වූ, විකෘති කළ, පිලිස්‍සී ගිය, අපවිත්‍ර වු හෝ කෘමීන්ගෙන් හානි වු, රසායනික ද්‍රව්‍ය වැටීම නිසා හෝ වෙනත් අයුරකින් සිදුරු වී ගිය ව්‍යවහාර මුදල් නෝට්ටු විකල වු හෝ පලුදු වු මුදල් නෝට්ටු බවට පත් වේ. මෙම තත්වයේ මුදල් නෝට්ටුවක වටිනාකම තීරණය කිරීමට එය විශේෂ පරීක්ෂාවකට ලක්කළ යුතුය.

 

සිතා මතා විකෘති කළ, වෙනස් කළ හෝ හානි කළ මුදල් නෝට්ටු

ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වරදක් වන අතර සිරගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද “ඊ” රෙගුලාසිය (Regulation “E”) යටතේ සිතා මතා විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර ඒ සඳහා කිසිඳු ගෙවීමක් සිදු නොකරයි. මෙවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නන් හට එම මුදල් නෝට්ටු වල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදු වනු ඇත.    

විකල වූ මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමෙහි ලා ශ්‍රී ලංකා මහ බැංකුවේ භූමිකාව

වළක්වාගත නොහැකි හේතූන් නිසා( ගින්නෙන්, ජලයෙන්, කෘමීන්ගෙන් හෝ වෙනත් සතුන්ගෙන්) මුදල් නෝට්ටු වලට හානි සිදුවුවහොත් ඒ සඳහා අදාළ වටිනාකම ගෙවීමේ බලය “ඊ” රෙගුලාසිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී.
කෙසේ නමුත් හානි වූ මුදල් නෝට්ටු සඳහා අදාළ වටිනාකම ගෙවනු ලබන්නේ හුදු අනුග්‍රහයක් වශයෙන් පමණක් වන හෙයින් එකී නෝට්ටු හිමිකරුවකුට එය අයිතිවාසිකමක් ලෙස සළකා හිමිකම් පෑමේ අයිතියක් නොමැත.
 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විකල වූ හෝ පලුදු වූ මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේ ක්‍රියාපටිපාටිය

විකල වූ හෝ පලුදු වූ හෝ මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේ ක්‍රියාපටිපාටිය 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ සඳහන්වන අතර, ගෙවිය යුතු වටිනාකම් සම්බන්ධයෙන් පනතේ සඳහන් උපදෙස් හා විධිවිධාන තරයේ අනුගමනය කරනු ලැබේ.

රෙගුලාසි “ඊ” කොටසට අනුව;

විකෘති වූ හෝ පලුදු වූ මුදල් නෝට්ටු සඳහා සම්පූර්ණ වටිනාකම ලබා ගැනීමට නම් එම මුදල් නෝට්ටු;

  • අව්‍යාජ විය යුතුය.
  • විකෘති වූ මුදල් නෝට්ටුවේ ඉතිරි වී ඇති ප්‍රමාණය ආසන්න වශයෙන් එහි සම්මත ප්‍රමාණයෙන් ¾ පංගුවක්වත් විය යුතුය.
  • මුදල් නෝට්ටුවේ දකුණු හා වම් පස ඇති අංක දෙකින් එක් අංකයක් හෝ සම්පූර්ණයෙන් පැහදිලිව කියවාගත හැකි විය යුතුය.
  • මුදල් නෝට්ටුව කැබලි කීපයකට ඉරී වෙන් වී ඇත්නම් එම කැබලි එකම මුදල් නෝට්ටුවේම කොටස් බවට හඳුනා ගත හැකිවිය යුතුය.

විකෘති වූ හෝ පලුදු වූ මුදල් නෝට්ටු සඳහා අර්ධ වටිනාකම ලබා ගනීමට නම් එම මුදල් නෝට්ටු;

  • අව්‍යාජ විය යුතුය.
  • මුදල් නෝට්ටුවේ ඉතිරි වී ඇති ප්‍රමාණය එහි සම්මත ප්‍රමාණයෙන් හරි අඩකට නොඅඩු විය යුතු අතර එම කොටස තනි කැබැල්ලක් ලෙසින් තිබිය යුතුය.
  • අංකය සම්පූර්ණයෙන් හා පැහදිලිව තිබිය යුතුය.

 විකෘති වූ මුදල් නෝට්ටු සඳහා ගෙවීම විශේෂයෙන් සළකා බැලිය යුතු අවස්ථා වලදී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිළිඹඳව ඒ ඒ අවස්ථානුකූලව සළකා බලනු ලබයි.