මුදල් ප්‍රතිපත්ති සන්නිවේදනය 

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී ඉහළ විනිවිදභාවයකින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැප වී සිටී. සෑම වසරකම සැලසුම්ගත දින අටක දී ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව තීරණය සහ එම තීරණ සඳහා බලපෑ සාධක සහ එහි තාර්කික බව පැහැදිලි කරමින් පුවත්පත් නිවේදන නිකුත් කරයි. (මුදල් ප්‍රතිපත්ති නිවේදන සඳහා වන දින දර්ශනය සඳහා මෙතැනින් පිවිසෙන්න.) එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය නිතිපතා යාවත්කාලීන කෙරේ. ප්‍රතිපත්ති තීරණවල සැලකිය යුතු වෙනස්වීම් සිදු වන්නේ නම්, එවැනි අවස්ථාවල දී සාමාන්‍යයෙන් මහ බැංකු අධිපති සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මාධ්‍ය සාකච්ඡා පවත්වනු ලැබේ. ඊට අමතරව, මාධ්‍ය ආයතන නිරතුරුවම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වනු ලැබේ. 

මහජනතාව වෙත තොරතුරු බෙදාහැරීම සම්බන්ධයෙන් වගකීම දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පුවත්පත් නිවේදන හා මාධ්‍ය සාකච්ඡා මෙහෙයවනු ලැබේ. සතිපතා හා මාසික පදනමින් වන ආර්ථික දර්ශක, මාසික විවරණිකා, පුවත්පත් නිවේදන, වාර්ෂික වාර්තාව හා වෙනත් ප්‍රකාශන මාර්ගයෙන් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අදාළ තොරතුරු සහ අනෙකුත් ප්‍රයෝජනවත් ආර්ථික තොරතුරු බෙදා හරිනු ලැබේ.

ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් යෝජනා කරනු ලබන අවස්ථාවල දී එම වෙනස්වීම්වල බලපෑමක් ඇති විය හැකි අංශ විශේෂයෙන් බැංකුකරුවන්ගේ සංගමය, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමය වැනි ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරයි. බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ මහ බැංකු අධිපති විසින් මුදල් තත්ත්වය හා අනෙකුත් ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා පිළිබඳව මසකට වරක් සාකච්ඡා පවත්වනු ලැබේ. එමෙන්ම, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ ප්‍රාථමික අලෙවිකරුවන් සමඟ ද මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු නිතිපතා සාකච්ඡා පවත්වති.