මහ බැංකුවේ තිරසර මූල්‍ය කටයුතු

2016 වසරේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව විසින් සහාය දක්වනු ලබන දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය ඇතුළු ව නැගී එන වෙළෙඳපොළ තුළ පාරිසරික, සමාජීය සහ පාලන අවදානම කළමණාකරණය ඉහළ නැංවීමට කැපවූ රටවල් 66ක මහ බැංකු, බැංකු නියාමකයන් සහ බැංකු සංගම්වලින් සමන්විත, තිරසර බැංකු සහ මූල්‍ය ජාලය සමග ශ්‍රී ලංකා මහ බැංකුව අත්වැල් බැඳ ගන්නා ලදී. තිරසර බැංකු සහ මූල්‍ය ජාලයේ සාමාජිකයෙකු ලෙස, ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවෙහි තාක්ෂණික සහාය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි මූල්‍ය සහාය ඇති ව 2019 දී ශ්‍රී ලංකාවේ තිරසර මූල්‍යය සඳහා වන මෙම පෙර දැක්ම දියත් කළේ ය.

මෙහෙයුම් කමිටුව සහ තාක්ෂණික කමිටුව නම් වූ අභ්‍යන්තර කමිටු දෙකක් තිරසර මූල්‍ය පෙර දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති අතර, මූල්‍ය අංශ පාර්ශ්වයන්ගෙන් සමන්විත පාර්ශ්ව කමිටුව මෙම පෙර දැක්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා නිතිපතා රැස් වේ.

2022 වසරේ දී, මහ බැංකුව පාරිසරික වශයෙන් තිරසර යැයි සැලකිය හැකි ආර්ථික කටයුතු හඳුනා ගැනීම සඳහා වන වර්ගීකරණ පද්ධතියක් වන ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය නිකුත් කළේ ය. මෙම වර්ගීකරණයේ සංවර්ධනය සඳහා මූල්‍ය අංශයේ සිට ශාස්ත්‍රීය අංශය දක්වා වෙසෙන පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරිත්වය සහිත ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවෙහි තාක්ෂණික සහ මූල්‍යමය සහාය හිමි විය.

තිරසර මූල්‍ය පෙරදැක්මට අනුව, මහ බැංකුව තිරසර මූල්‍ය කටයුතු වාර්තා කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු වෙත විධානයක් නිකුත් කළ අතර, මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා ද එවැනි ම මාර්ගෝපදේශයක් නිකුත් කරන ලදී.

2023 වසරේ දී, තිරසර ආයෝජනයන්හි ආයෝජනය කළ පෞද්ගලික ප්‍රාග්ධන අගය ඉහළ නැංවීමේ සමස්ත අරමුණ ඇතිව ප්‍රතිපත්ති සම්පාදකයන් අතර සංවාදයක් සඳහා යුරෝපීය සංගමය විසින් පිහිටු වන ලද සංසදයක් වන තිරසර මූල්‍යය සඳහා වන ජාත්‍යන්තර වේදිකාවෙහි 20 වන සාමාජිකයා බවට ශ්‍රී ලංකාව පත් විය.

තිරසර මූල්‍යනය පිළිබඳ ව මූල්‍ය අංශයේ ධාරිතාව ගොඩනැංවීම සඳහා මෙන් ම රටේ තිරසර මූල්‍යනය ප්‍රචලිත කිරීම ද සඳහා ජාත්‍යන්තර නියෝජිත ආයතන සහ වෙනත් පාර්ශ්ව සමග සම්බන්ධීකරණය තුළ නිරත වී සිටින, ශ්‍රී ලංකාවේ තිරසර මූල්‍ය පෙර දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන ලේකම් කාර්යාලය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සාර්ව විචක්ෂණතා අධ්‍යයන දෙපාර්තමේන්තුව කටයුතු කරයි. මෙම වර්ගීකරණයට අනුකූල වන මූල්‍ය ආයතන විසින් හරිත මූල්‍ය වර්ගීකරණයට අදාළ ව යොමු කරන ගැටලුවලට පිළියම් යෙදීම සඳහා බාහිර විශේෂඥ මණ්ඩලයක් ද මහ බැංකුව විසින් පිහිටුවන ලදී.

 

සබැඳි

තිරසර මූල්‍ය පෙරදැක්ම

ශ්‍රී ලංකා හරිත මූල්‍ය වර්ගීකරණය

වර්ගීකරණ පසුබිම් වාර්තාව

බැංකු මාර්ගෝපදේශය

බැංකු නොවන මූල්‍ය ආයතන මාර්ගෝපදේශය

හරිත මූල්‍ය කටයුතු පිළිබඳ විස්තර පත්‍රිකාව