Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2026 අගෝස්තු

අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ අගෝස්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කළේය. ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය විය. මැද පෙරදිග ගැටුම් උත්සන්න වීම හේතුවෙන් විදේශීය අංශයට බලපෑ පීඩන පිළිබිඹු කරමින්, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ සමුච්චිත හිඟය එ.ජ. ඩොලර් මිලියන 291ක් විය.

2026 අගෝස්තු මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල ඉහළ යෑමක් වාර්තා විය

පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 59.4ක අගයක් වාර්තා කළේය. පවතින බිටුමන් (තාර) හිඟය හේතුවෙන් මාර්ග ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය අඩාල වී ඇති බවත්, එමගින් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය සීමා වී ඇති බවත් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. 2026 වසරේ මැයි මාසයේ දී පූර්වෝපායික පියවරක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ගය මෙන්ම ඒ හා සමගාමීව ක්‍රියාවට නැංවූ අනෙකුත් ක්‍රියාමාර්ගවල බලපෑම් බොහෝ දුරට දැනටමත් ආර්ථිකය වෙත සම්ප්‍රේෂණය වී පැවතීම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ අවධානය යොමු විය. එමෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින භූදේශපාලනික ආතතීන් හේතුවෙන් මතුවන අවිනිශ්චිතතා  සහ එල් නිනෝ තත්ත්වයන් තුළින්  ආර්ථිකයට ඇති විය හැකි අවදානම් පිළිබඳව ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. 

ශ්‍රී ලංකා මහ බැංකුව "ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත - 2026" ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2026" වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 49 වන වෙළුමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි

එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් මෑතකාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය, සහ 2026 වසර සඳහා වන IVවන වගන්තිය යටතේ වන උපදේශනයට අදාළ ප්‍රතිපත්ති නිර්දේශ සාකච්ඡා කිරීම සඳහා 2026 වසරේ සැප්තැම්බර් මස 10වන දින සිට 23වන දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. සංචාරය අවසානයේ දී  ජා.මූ. අරමුදල විසින් 2026 වසරේ සැප්තැම්බර් මස 23වන දින පහත මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලද අතර, එයට පහත සබැඳියෙන් ප්‍රවේශ විය හැක.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ ක්‍රියාවිරහිත කිරීමේ (Freezing Orders) නියෝග

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 44 වන වගන්තියේ විධිවිධාන අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පහත සඳහන් ආයතන සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු සියලු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගණුදෙනු කිරීම වළක්වාලමින් නියෝග නිකුත් කර ඇත. ඒ අනුව, කොළඹ මහාධිකරණය විසින් පහත වගුව 1 හි සඳහන් ආයතන සම්බන්ධයෙන් නිකුත් කර ඇති එම ක්‍රියාවිරහිත කිරීමේ නියෝග (Freezing Orders) තහවුරු කරමින්, එකී නියෝග තවදුරටත් දීර්ඝ කර ඇත.

Pages