Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම,             2026 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට පත් කරන ලද අද්මිනිස්ත්‍රාසිකරුගේ ධුර කාලය, 2023 අංක දරන 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ දීර්ඝ කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කරන ලද පී.බඩ්.ඩී.එන්.ආර් රොද්‍රිගෝ මහතාගේ ධුර කාලය, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාර ව දීර්ඝ කර ඇත.

පළමු ව 2025.07.04 දිනැති අංක 2443/57 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද නියමය අනුව පත් කරන ලද රොද්‍රිගෝ මහතා, 2026.01.04 සිට 2026.07.03 දක්වා තවත් මස හයක (06) කාලයක් සඳහා අද්මිනිස්ත්‍රාසි ධුරයේ කටයුතු කරනු ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී නොවෙනස්ව පැවතුණි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවතුණි. 2025 දෙසැම්බර් මාසයේ දී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස මාසිකව ඉහළ ගියද, හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් සහාය විය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි 2025 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 3.0ක උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී නොවෙනස්ව පැවතුණි. ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2025 නොවැම්බර් මාසයේ පැවති සියයට 1.7ට සාපේක්ෂව 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 1.8ක් දක්වා ඉහළ ගියේය.

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2025 නොවැම්බර්

2025 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙක තුළ දී අඛණ්ඩ මාසික ජංගම ගිණුමේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව 2025 වසරේ නොවැම්බර් මාසයේ දී, ජංගම ගිණුම නැවත අතිරික්තයක් වාර්තා කළේය. 2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ජංගම ගිණුමේ අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 1,678කි.

2025 වසරේ නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. තවද, 2025 වසරේ ජනවාරි-නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 6.9ක් දක්වා පුළුල් විය.

2025 නොවැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක් වාර්තා කළේය

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 66.2ක අගයක් වාර්තා කළේය. මාසයේ අවසන් භාගයේ දී කාලගුණය ආශ්‍රිත බාධාවන් පැවතියද, බොහෝ සමාගම් මාසය තුළ ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළේය.

නොවැම්බර් මාසයේදී නව ඇණවුම් දර්ශකය ද ඉහළ ගියේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් බොහෝ දෙනෙකු විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නව ව්‍යාපෘතිවල වැඩිවීමක් වාර්තා කරන ලදී.  ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රමාණය අඛණ්ඩව ඉහළ යනු ඇති බවට එම ආයතනවල පවතින විශ්වාසය පිළිබිඹු කරමින්, සේවා නියුක්තිය  සහ තොග මිලදී ගැනුම් දර්ශක මාසය තුළ දී ඉහළ ගියේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය නොවැම්බර් මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම

2026 ජනවාරි 01 වන දා සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ලංකාසෙක්‍යු අංශය, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පැවරීම මෙයින් දැනුම්දෙනු ලැබේ. 

Pages

නිවේදන