ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2017 අග භාගයේ සිට මුහුණ දුන් උග්‍ර ද්‍රවශීලතා අර්බුදය ද ඇතුළත් ව 2011 සිට පැවති විවිධ අක්‍රමිකතා සඳහා විසඳුම් ලබා දීමට ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පැවති අතිශයින් අවදානම් ද්‍රවශීලතා තත්ත්වය මත තැන්පත්කරුවන්ට අ‍යත් තැන්පතු ආපසු ගෙවීමේ දුෂ්කරතා හේතු කොට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ආයතනයේ මෙහෙයුම් කටයුතු සීමා කරමින් විධාන කීපයක් 2018.01.02 වන දින නිකුත් කරන ලදී. තව ද, ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සලකා බැලීමෙන් අනතුරු ව තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ මූලික අරමුණින් ඊ ටී අයි ෆිනෑන්ස් ලිම්ටඩ් ආයතනයේ හඳුනා ගත් පාලිත සමාගම්, උප පාලිත සමාගම් ඇතුළු ආයෝජන වත්කම් ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක සමස්ථ වටිනාකමකට විකිණීමට මුදල් මණ්ඩලය විසින් එකඟතාව ලබා දෙන ලදී.

වාරික 4ක් වශයෙන් ලද එම මුදල වූ ඇමෙ‍රිකානු ඩොලර් මිලියන 70ක වටිනාකමට අදාළ ව ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් ගැනුම්කරුවා‍ වෙත පැවරීමෙන් අනතුරු ව එම ගනුදෙනුව අවසන් කෙරී ඇත. ගැනුම්කරුවා ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ප්‍රේෂණය නො කිරීම හේතුවෙන් එම වටිනාකමට අදාළ ව පැවරීමට නියමිත වූ පාලිත සමාගමක් වන ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී සමාගම, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය භාරයේ තවදුරටත් රඳවා තබා ගත්තේ ය. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී සමාගම එකතුව එකී සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විකල්ප පියවර සලකා බලමින් පවතී. ගනුදෙනුව සම්පූර්ණයෙන් නිම නො වුව ද හිඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ට අදාළ ව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී සමාගම රඳවා තබා ගත් නිසා ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත මූල්‍යමය අලාභයක් සිදු වී නොමැත.

ඉහත කී වාරික 4ට අදාළ ව මුදල් ලද අවස්ථාවේ දී පැවති විනිමය අනුපාත පදනම් කර ගෙන ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම වෙත මේ වන විට රුපියල් බිලියන 11ක් ලැබී ඇත. එම මුදල්වලින් උපචිත පොලිය ද සමඟ තැන්පත්කරුවන්ට තැන්පතු මුදල්වලින් 20% ක් මේ වන විට ආපසු ගෙවා ඇත. තවත් 10% ක් තැන්පත්කරුවන්ට ගෙවීම දැනට සිදු වෙමින් පවතී.

ඒ අනුව ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය රුපියල් බිලියන 10කට වැඩි ප්‍රමාණයක් තැන්පත්කරුවන්ට ගෙවීම සිදු කරන ලබනුයේ ශ්‍රී ලංකා රජ‍යේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා අධාරක වැඩසටහනෙන් කිසිඳු මූල්‍යමය ආධාරයක් ලබා නො ගෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

ඊ ටී අයි ෆිනෑන්ස් ආයතනය අරඹයා කලින් කලට ගත් විවිධ නියාමන ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් වශයෙන්, ආයතනයේ සෘණ ශුද්ධ වත්කම් ආවරණය කිරීම සඳහා අධ්‍යක්ෂවරුන් විසින් ඊ ඒ පී බ්‍රෝඩ්කාස්ටින්ග් කම්පැනි ලිමිටඩ් සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් ඇතුළු පෞද්ගලික වත්කම් පැවරීමට අමතර ව තවත් අතිරේක පෞද්ගලික වත්කම් පැවරීම සඳහා පොරොන්දු ලිපියක් ලබා දී ඇත.

තැන්පත්කරුවන්ට මෙම මුදල් ප්‍රමාණය ගෙවීමට හැකි වූයේ ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ විකිණූ වත්කම්වලින් වන අතර එසේ සිදු වූයේ ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පැවති ගැටළු හඳුනාගෙන ගත් නියාමන ක්‍රියාමාර්ග හේතු කොට ගෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් අවධාරණය කර සිටී. තව ද, මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික වත්කම් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත පවරා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක් ම ගෙන ඇත.

ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනා අදාළ සමාගම් මාර්ගයෙන් ආයෝජකයින් විසින් ඉදිරිපත් කර ඇති අතර ඒවා පුළුල් වශයෙන් සලකා බලා, එ‍ම‍ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ප්‍රගතීන් ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනවල තැන්පත්කරුවන් වෙත සන්නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.

Published Date: 

Thursday, May 2, 2019