Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැකුවේ 2018 වසර සදහා වන වාර්ෂික වාර්තාව

2018 වසරේ දී පහළ උද්ධමනකාරී වාතාවරණයක් මධ්‍යයේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය සහ දේශීය බාධාවන්ට ලක්වීමේ අවදානම් සහගත බව වැඩි වශයෙන් පිළිබිඹු කළේ ය. 2018 වසරේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පසුගිය වසරේ වාර්තා කළ සියයට 3.4ට සාපේක්ෂ ව සියයට 3.2ක අගයක් වාර්තා කළේ ය. සේවා අංශයේ ක්‍රියාකාරකම්වල සිදු වූ සියයට 4.7ක වර්ධනය සහ කෘෂිකාර්මික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් එම අංශයේ වාර්තා කළ සියයට 4.8ක වර්ධනය මේ සඳහා වැඩි දායකත්වයක් සැපයුවේ ය. ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් කටයුතුවල පසුබෑම හේතු කොට ගෙන වසර තුළ දී කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 0.9ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී විය. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ වියදම් ප්‍රවේශය අනුව, පරිභෝජන වියදම් සහ ආයෝජන වියදම් යන දෙඅංශය ම 2018 වර්ෂයේ ආර්ථික වර්ධනය සඳහා දායක විය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ආයෝජන පෙර වසරේ වාර්තා කළ සියයට 28.8ට සාපේක්ෂ ව සියයට 28.6ක් ලෙස පැවතුණු අතර ඉතුරුම් - ආයෝජන පරතරය වසර තුළ දී තවදුරටත් පුළුල් වූයේ එහි හිඟය සපුරා ගැනීම සඳහා විදේශීය සම්පත් මත වූ රැඳියාව ඉහළ යෑම පිළිබිඹු කරමිනි.

2019 මාර්තු මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ප්‍රධාන වශයෙන් ම පසුගිය වසරේ අනුරූප මාසයේ දී පැවති අඩු පදනම් අගය හේතුවෙන් 2019 පෙබරවාරි මාසයේ පැවති සියයට 2.4 හි සිට 2019 මාර්තු මාසයේ දී සියයට 2.9 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, ආහාර සහ ආහාර නො වන කාණ්ඩයන්හි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 මාර්තු මාසයේ දී පිළිවෙලින් සියයට -2.3 සහ සියයට 7.1 ලෙස වාර්තා විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ වෙනස, 2019 මාර්තු මාසයේ දී සියයට 1.7 හි නො වෙනස් ව පැවතුණි.

මාසික වෙනස් වීම සලකා බැලීමේ දී, සහල්, පොල් සහ එළවළු මිල ගණන් පහළ යෑම ප්‍රධාන කොට ගෙන ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්වල සිදු වූ පහළ යෑම, 2019 මාර්තු මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය සියයට 0.2කින් පහළ යෑමට හේතු විය. කෙ සේ වුව ද, ආහාර නො වන කාණ්ඩයේ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්); රෙදිපිළි හා පාවහන්; සහ විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය.

සම්පුර්ණ ලිපිය

2019 පෙබරවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වසර පහකට වඩා වැඩි කාලයකට පසුව වූ අඩුම වෙළඳ හිඟය වාර්තා කරමින් 2019 වසරේ පෙබරවාරි මාස‍යේදී වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 451 ක් දක්වා තවදුරටත් අඩු විය.

2019 වසරේ පෙබරවාරි මාසයේදී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීමට, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ආනයන වියදම සියයට 27.6 කින් කැපී පෙනෙන ලෙස අඩු වීම සහ අපනයන ආදායම සියයට 7.2 කින් වර්ධනය වීම හේතු විය.

2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට සංචාරක පැමිණීම් මාසිකව 240,000 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කරමින් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 2019 වසරේ පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම් සියයට 7.0 ක වර්ධනයක් වාර්තා කළ අතර එමගින් සංචාරක ඉපැයීම්හි ඉහළ වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගත්තේය.

සම්පුර්ණ ලිපිය

2019 ජනවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2019 ජනවාරි මාස‍යේ වෙළඳ හිඟයෙහි පසුගිය මාසවලදී පිළිබිඹු කළ යහපත් ප්‍රවණතාව අඛණ්ඩව පැවතිණි. වෙළඳ හිඟය 2018 වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා කළ එ.ජ. ඩොලර් මිලියන 701 සහ 2018 වසරේ ජනවාරි මාසයේදී වාර්තා කළ එ.ජ. ඩොලර් මිලියන 1,049 සමඟ සැසඳීමේදී 2019 වසරේ ජනවාරි මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 617 ක් වාර්තා කළේය.

වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වීම, අපනයන ආදායම ඉහළ යෑමේ සහ ආනයන වියදම කැපී පෙනන ලෙස පහළ යෑමේ ඒකාබද්ධ ප්‍රතිඵලයක් විය. 2019 වසරේ ජනවාරි මාසයේදී අපනයන පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 7.5 කින් වර්ධනය වූ අතර, ආනයන සියයට 17.8 කින් සැලකිය යුතු ලෙස අඩු විය.

සංචාරක පැමිණීම් 2019 වසරේ ජනවාරි මාසයේදී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 2.2 කින් වර්ධනය වූ අතර, එමගින්, මාසය තුළදී සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 458 ක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 මාර්තු

2019 පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2019 මාර්තු මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය විය. නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් පිළිඹිබු කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 46ක් තුළ වාර්තා කළ ඉහළ ම අගයට ළඟා විය. උත්සව සමයේ පවතින ඉල්ලුමත් සමඟ, විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ, නව ඇණවුම්වල දක්නට ලැබුණු වර්ධනය මාර්තු මාසය තුළ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය පිළිබඳ ශ්‍රී ලාංකීය පෙර දැක්මක් දියත් කෙරේ

Dr. P Nandalal Weerasinghe, Senior Deputy Governor, Central Bank of Sri Lanka Launching the Roadmap for Sustainable Finance in Sri Lanka at the Sustainable Banking Network Global Meeting of the International Finance Corporation.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම 2019 අප්‍රේල් 10 වැනි දින එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation, IFC) තිරසාර බැංකු ජාලයේ (Sustainable Banking Network, SBN) ගෝලීය හමුවේදී දියත් කරන ලදී. මෙම පෙර දැක්ම තුළින් මූල්‍ය නියාමකයින් සහ මූල්‍ය ආයතන සඳහා පුළුල් මඟ පෙන්වීමක් ඉදිරිපත් කර ඇති අතර, මූල්‍ය ආයතන විසින් මූල්‍යනය කරන ව්‍යාපෘතිවලට අනුබද්ධිත පාරිසරික, සමාජයීය සහ පාලන (Environmental, Social and Governance, ESG) අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමත්, කාලගුණික හිතකාමී, සමාජයීය අන්තර්ගතික (Socially Inclusive) හරිත ව්‍යාපාර සඳහා වැඩි අනුග්‍රාහකත්වයක් දැක්වීමත් අපේක්ෂා කරයි.

Pages