ශ්‍රී ලංකා මහ බැකුවේ 2018 වසර සදහා වන වාර්ෂික වාර්තාව

2018 වසරේ දී පහළ උද්ධමනකාරී වාතාවරණයක් මධ්‍යයේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය සහ දේශීය බාධාවන්ට ලක්වීමේ අවදානම් සහගත බව වැඩි වශයෙන් පිළිබිඹු කළේ ය. 2018 වසරේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පසුගිය වසරේ වාර්තා කළ සියයට 3.4ට සාපේක්ෂ ව සියයට 3.2ක අගයක් වාර්තා කළේ ය. සේවා අංශයේ ක්‍රියාකාරකම්වල සිදු වූ සියයට 4.7ක වර්ධනය සහ කෘෂිකාර්මික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් එම අංශයේ වාර්තා කළ සියයට 4.8ක වර්ධනය මේ සඳහා වැඩි දායකත්වයක් සැපයුවේ ය. ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් කටයුතුවල පසුබෑම හේතු කොට ගෙන වසර තුළ දී කර්මාන්ත අංශයේ වර්ධනය සියයට 0.9ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී විය. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ වියදම් ප්‍රවේශය අනුව, පරිභෝජන වියදම් සහ ආයෝජන වියදම් යන දෙඅංශය ම 2018 වර්ෂයේ ආර්ථික වර්ධනය සඳහා දායක විය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ආයෝජන පෙර වසරේ වාර්තා කළ සියයට 28.8ට සාපේක්ෂ ව සියයට 28.6ක් ලෙස පැවතුණු අතර ඉතුරුම් - ආයෝජන පරතරය වසර තුළ දී තවදුරටත් පුළුල් වූයේ එහි හිඟය සපුරා ගැනීම සඳහා විදේශීය සම්පත් මත වූ රැඳියාව ඉහළ යෑම පිළිබිඹු කරමිනි. 2018 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය එක්සත් ජනපද ඩොලර් බිලියන 88.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය එක්සත් ජනපද ඩොලර්ඩො 4,102ක් ලෙස පෙර වසරට වඩා මදක් පහළ අගයක් වාර්තා කළේ ය. ආර්ථික කටයුතුවල මධ්‍යස්ථ වර්ධනය හමුවේ, සේවා වියුක්ති අනුපාතිකයේ සුළු ඉහළ යෑමක් හා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතයේ පහළ යෑමක් වසර තුළ දී නිරීක්ෂණය විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, April 25, 2019