ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය පිළිබඳ ශ්‍රී ලාංකීය පෙර දැක්මක් දියත් කෙරේ

Dr. P Nandalal Weerasinghe, Senior Deputy Governor, Central Bank of Sri Lanka Launching the Roadmap for Sustainable Finance in Sri Lanka at the Sustainable Banking Network Global Meeting of the International Finance Corporation.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තිරසාර මූල්‍ය පිළිබඳ වූ ශ්‍රී ලාංකීය පෙර දැක්ම 2019 අප්‍රේල් 10 වැනි දින එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (International Finance Corporation, IFC) තිරසාර බැංකු ජාලයේ (Sustainable Banking Network, SBN) ගෝලීය හමුවේදී දියත් කරන ලදී. මෙම පෙර දැක්ම තුළින් මූල්‍ය නියාමකයින් සහ මූල්‍ය ආයතන සඳහා පුළුල් මඟ පෙන්වීමක් ඉදිරිපත් කර ඇති අතර, මූල්‍ය ආයතන විසින් මූල්‍යනය කරන ව්‍යාපෘතිවලට අනුබද්ධිත පාරිසරික, සමාජයීය සහ පාලන (Environmental, Social and Governance, ESG) අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමත්, කාලගුණික හිතකාමී, සමාජයීය අන්තර්ගතික (Socially Inclusive) හරිත ව්‍යාපාර සඳහා වැඩි අනුග්‍රාහකත්වයක් දැක්වීමත් අපේක්ෂා කරයි.

පාරිසරික, සමාජයීය සහ පාලන අවදානම් සහ තිරසාර මූල්‍ය අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා මාර්ගෝපදේශ සහ නිර්දේශ සැපයීම මගින් මූල්‍ය ක්ෂේත්‍රයේ - එනම් බැංකු සහ මූල්‍ය අංශය, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රක්ෂණ අංශවල - දායකත්වය පුළුල් කිරීමත් වඩාත් ශක්තිමත් තිරසාර හරිත ආර්ථිකයක් ගොඩනැගීමත් මෙම පෙර දැක්මෙහි අරමුණ වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද තිරසාර මූල්‍ය පිළිබඳ පෙර දැක්ම සඳහා ලේකම් කාර්යාලය සහ තාක්ෂණික උපදේශක ලෙස ලෝක බැංකුව හා අනුබද්ධිත ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව කටයුතු කරනු ලැබූ අතර, මේ සඳහා මූල්‍ය අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (United Nations Development Programme, UNDP) යටතේ වන ජෛව විවිධත්වය සඳහා වූ මූල්‍ය ව්‍යාපෘතිය (Biodiversity Finance Initiative, BIOFIN) ඔස්සේ ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය, ද ෆයිනෑන්ස් හවුස් ඇසෝසියේෂන්, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාව යන පාර්ශ්වකරුවන්ගේ අදහස් සහ යෝජනා මෙම පෙර දැක්ම සකස් කිරිමෙහි ලා ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකාව තුළ තිරසාර මූල්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික ක්‍රියාකාරකම් මාලාවක් මෙම පෙර දැක්ම තුළින් හඳුන්වා දී ඇති අතර අදාළ පාර්ශ්වකරුවන් විසින් කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ක්‍රියාවේ යෙදවිය යුතු ක්‍රියාකාරී සැලැස්මක් ද සම්පාදිතය. 2030 ඉදිරි දැක්ම මූල්‍යනය කිරීම, මූල්‍ය වෙළෙඳපොළ තුළ පාරිසරික, සමාජයීය සහ පාලන යන සංරචක අනුගත කිරීම, මූල්‍ය අන්තර්ගතභාවය, තිරසාර මූල්‍ය පිළිබඳ දැනුම වර්ධනය කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව සහ ප්‍රගති සමාලෝචනය හා වාර්තාකරණය යන අංශ පෙර දැක්මෙහි ඇති සය වැදෑරුම් උපායමාර්ගික ක්‍රියාකාරකම් වේ.

 

Published Date: 

Thursday, April 11, 2019