ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා 2019 පෙබරවාරි 15 දින සිට බල පැවැත්වෙන පරිදි කෙටි කාලීන පියවරක් ලෙස 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතේ නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් බලාත්මක කිරීමට පියවර ගන්නා ලදී. එම නියාමන ක්‍රියාමාර්ග අතර ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම වෙනුවෙන් නව තැන්පතු බාර ගැනීම අත්හිටුවීම, තැන්පතු ආපසු ගැනීම අත්හිටුවීම, ණය හා අත්තිකාරම් ප්‍රදානය අත්හිටුවීම ආදිය අන්තර්ගත වේ.

මේ අතර, ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය විසින් යොමු කරනු ලැබ ඇති ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පිළිබඳ ව සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඉහත නියාමන ක්‍රියාමාර්ග 2019 මැයි 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 3ක කාලයක් සඳහා නැවත දීර්ඝ කිරීමට තීරණය කරන ලදී. තැන්පත්කරුවන්ට තම තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූල ව අඛණ්ඩ ව සිදු කෙරේ.

මේ සම්බන්ධ ව වැඩිදුර පැහැදිලි කර ගැනීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112477573, 0112477229 හෝ 0112477504 යන දුරකථන අංක මගින් හෝ snbfi_query@cbsl.lk විද්‍යුත් ලිපිනය මගින් තැන්පත්කරුවන්ට සම්බන්ධ විය හැකි යි.

Published Date: 

Wednesday, May 15, 2019