ණය අනුපාත පහත දැමීම මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය සැපයීම් යොමු කරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග

වෙළෙඳපොළ ද්‍රවශීලතාව වර්ධනය කිරීම සඳහා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළීම සහ එක් දින පොලී අනුපාතික අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ලබා ගෙන තිබිය දී, බලපත්‍රලාභී බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන මගින් ණය ලබා දීමේ දී, අධික පොලී අනුපාත අය කිරීම සහ තැන්පතු සඳහා ඉතා ඉහළ පොලී අනුපාත ලබා දීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන් ම, මනා ලෙස පාලනය කරන ලද උද්ධමනයක් හා උද්ධමන අපේක්ෂාවක් පවත්වා ගෙන යනු ලබන වටපිටාවක් තුළ, ශ්‍රී ලංකාවේ මූර්ත පොලී අනුපාත කලාපයේ අනෙකුත් ආර්ථිකයන් හා සැසඳීමේ දී අධික ව පවතින බව පෙනී යන කරුණකි.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන විසින් තැන්පතු සඳහා ලබා දෙනු ලබන පොලී අනුපාත පහත දමන ලෙසට ඉල්ලීමක් කරන ලද අතර එ මගින් මූල්‍ය අංශය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කඩිනම් කිරීමට සහ ඒ අනුව බලපත්‍රලාභී බැංකු විසින් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හා පොදුවේ ණය ලබා දීමේ දී අය කරන පොලී අනුපාත පහත හෙළීම මගින් මූර්ත ආර්ථිකය වෙත ණය ප්‍රවාහ ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

බලපත්‍රලාභී බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන මගින් ඉතිරි කිරීමේ සහ මාස 3ට අඩු අනෙකුත් තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාත නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය මත පදනම් වන අතර එයට වඩා වැඩි කාල සීමාවකින් යුතු තැන්පතු සඳහා පොලී අනුපාත දින 364 භාණ්ඩාගාර බිල්පත් අනුපාතය මත පදනම් වනු ඇත. වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා වන ඉතිරි කිරීමේ ගිණුම් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වසරකට හෝ ඊට වැඩි කාල සීමාවකින් යුතු ස්ථිර තැන්පතු සඳහා පදනම් අංක 50ක් (50 basis points) දක්වා අමතර පොලියක් ලබා දීමට බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතනවලට හැකියාවක් ඇත. මෙයට අමතර ව බැංකු නො වන මූල්‍ය ආයතන විසින් නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා ද උපරිම පොලී අනුපාත සීමා අදාළ වේ. මෙකී ක්‍රියාමාර්ග ගන්නා අතරතුර තැන්පතුකරුවන් හට සැලකිය යුතු මූර්ත ප්‍රතිලාභයක් ලැබෙන පරිදි තැන්පතු පොලී අනුපාත තරගකාරී ව පවත්වා ගෙන යනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

ඉහත ක්‍රියාමාර්ග මගින් මූල්‍ය අංශය විසින් අරමුදල් වෙනුවෙන් දරනු ලබන අධික පිරිවැය අඩු වන අතර, ඉදිරි කෙටි කාලය තුළ දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දෙන ණය සඳහා වන පොලී අනුපාත පදනම් අංක 200කින් (200 basis points) පමණ අඩු වෙතැ යි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. 2018 නොවැම්බර් සහ 2019 මාර්තු යන කාල සීමාවන්හි දී පියවර දෙකක් යටතේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 250කින් (250 basis points) පහත හෙලන ලද අතර එ මගින් මේ වන විටත් අරමුදල් සඳහා දැරිය යුතු පිරිවැය අඩු වී ඇත. එ මගින් තැන්පතු හා ණය පොලී අනුපාත අතර පරතරය අඩු වෙතැ යි අපේක්ෂිත ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන තැන්පතු හා ණය පොලී අනුපාතිකයන්ගේ හැසිරීම සමීප ව නිරීක්ෂණය කරනු ඇති අතර අනාගතයේ දී සුදුසු පරිදි අමතර ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරනු ඇත.

Published Date: 

Monday, April 29, 2019