Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

“ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2019” ප්‍රකාශනය නිකුත් කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2019” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

මෙම ප්‍රකාශනයෙහි ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මූදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන්ම අනෙකුත් රටවල්වල තෝරාගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ.

දත්ත භාවිතා කරන්නන්ගේ විවිධ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි කාලශ්‍රේණි සහ හරස්කඩ පදනමින් මෙම ප්‍රකාශනයේ දත්ත ඉදිරිපත් කර ඇති අතර, මෙය ව්‍යවසායකයන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ගුරුවරුන්ට, ශිෂ්‍යයන්ට සහ මහජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 ජූලි

2019 ජූලි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවදුරටත් වැඩි වේගයකින් වර්ධනය විය. ඒ අනුව, 2019 ජුනි මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 1.8කින් ඉහළ යමින් 2019 ජූලි මාසයේ දර්ශක අගය 55.7ක් ලෙස වාර්තා කරන ලදී. විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි නව ඇණවුම්වල සිදු වූ සැලකියයුතු ඉහළ යෑම හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යාම ද, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ  මෙම වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයෙන් පසු බාධා පැමිණ තිබූ ආර්ථික ක්‍රියාකාරකම් නැවත යථා තත්ත්වයට පත්වීම, නව ඇණවුම් ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය.  මේ අතර, රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයෙහි බොහෝමයක් ප්‍රතිචාර දක්වන්නන් ඉස්මතු කළ පරිදි  එම අංශයෙහි සේවකයින් සේවය හැර යෑම් ඉහළ මට්ටමක පැවතිය ද, සේවා නියුක්ති උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය.

ප්‍රාථමික අලෙවිකරුවෙකු මත ගනු ලබන නියාමන ක්‍රියාමාර්ගය - පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී, ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019 අගෝස්තු මස 15 වැනි දින පෙ.ව. 10.00 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරන ලදී.

මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට සහභාගි වීමට පෑන් ඒෂියා බැංකුවට ඇති හැකියාව අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙසේ වෙතත්, මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් ඇති නොවේ.

මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය පත් කරයි

ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය 2019 ජූලි 29 වන දා සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස පත් කර ඇත.

සිය ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු 1994 දී ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හා සම්බන්ධ වී දැනට එහි විධායක අධ්‍යක්‍ෂවරියක සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන දුෂ්නි වීරකෝන් මහත්මිය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කලාපීය වෙළෙඳ ඒකාබද්ධතාව සහ ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ ලිපි රැසක් ලියා පළ කොට ඇත.

විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කිරීමේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක පිළිවෙත්

විද්‍යුත්  ගෙවීම් ක්‍රම මගින් තම ජංගම හා ඉතුරුම් ගිණුම්වල ඇති අරමුදල් තත්කාලීන ලෙස හුවමාරු කිරීමට හැකි වීම මෙන් ම කාඩ්පත් ගෙවීම් කටයුතු සඳහා භාවිත කිරීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට පහසුවක් වී ඇත. මෙම ගෙවීම් කටයුතු සුමට ව සිදු කිරීම සඳහා සහ ගනුදෙනුකරුවන්ගේ අරමුදල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ  ගෙවීම් ක්‍රම  සහ ගෙවීම් යටිතල පහසුකම් ජාත්‍යන්තර  ප්‍රමිතීන්ට අනුකූල ව ක්‍රියාත්මක වේ. මෙම පහසුකම් අඛණ්ඩ ව භුක්ති විඳීම සඳහා ගනුදෙනුකරුවන් විද්‍යුත්  ගෙවීම් සිදු කිරීමේ දී සුදුසු ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු වේ. ඒ අනුව, ගනුදෙනුකරුවන් තම ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත් හෝ විද්‍යුත්-පසුම්බිවලට (e-Wallet) ප්‍රවේශ වීමට සහ භාවිත කිරීමට යොදා ගනු ලබන රහස්‍ය  තොරතුරු අන් අයට ලබා දීමේ දී ප්‍රවේශම් විය යුතු ය.

2019 ජූනි මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන්, 2019 මැයි මාසයේ පැවති සියයට 3.5 හි සිට 2019 ජුනි මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේය. මේ අතර, 2019 ජුනි මාසයේ දී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට -0.4 හි සහ සියයට 6.7 හි සිට සියයට -2.9 සහ සියයට 6.2 දක්වා පහළ යන ලදී.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2019 ජුනි මාසයේ දී සියයට 2.0 හි නොවෙනස්ව පැවතුණි.

මාසික වෙනස් වීම සලකා බැලීමේදී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිලගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම් හේතුවෙන්, 2019 ජුනි මාසයේදී ජා.පා.මි.ද. සියයට 0.4 කින් ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි මාළු, ලොකු ළූණු, අමු මිරිස්, රතු ළූණු සහ සහල් මිලගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයෙහි ප්‍රවාහන; සහ ආපනශාලා සහ හෝටල් උපකාණ්ඩයන්හි අයිතමවල මිලගණන් ද මෙම මාසය තුළ දී ඉහළ ගියේය.

Pages

නිවේදන