රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් හඳුන්වා දී ඇති ක්‍රියාමාර්ග

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම, විදේශ විනිමය අනුපාතය මත දැනට පවතින පීඩනය අවම කිරීම සහ කොවිඩ් - 19 (Covid – 19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සළකා බලා, ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් මාස තුනක (03) කාල සීමාවක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග පනවමින් නියෝගයක් නිකුත් කරන ලදී.

1.  පහත සඳහන් ආයෝජන හැර, ශ්‍රී ලංකාව තුළ නේවාසික පුද්ගලයන් විසින් විදේශ රටක ආයෝජන සිදු කිරීමේ අරමුණ සඳහා ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් (Outward Investment Accounts) හරහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සඳහා ලබා දී ඇති පොදු අවසරය අත්හිටුවීම

අ.  විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන යටතේ, ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවෙන් බැහැර නේවාසික පුද්ගලයෙකුගෙන් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගත් ණය මුදලක් මඟින් එකී ආයෝජනය මූල්‍යනය කිරීමට නියමිත අවස්ථාවකදී;
ආ.  ආයෝජනය සිදු කිරීමට නියමිත රටෙහි නියාමන අවශ්‍යතාවක් සපුරාලීම සඳහා සිදු කරන ආයෝජන.

2.  ශ්‍රී ලංකාව තුළ නේවාසික පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික විදේශ විනිමය ගිණුම් (Business Foreign Currency Accounts) හා පුද්ගලික විදේශ විනිමය ගිණුම් (Personal Foreign Currency Accounts) හරහා ජංගම ගනුදෙනු සඳහා හැර අනෙකුත් අරමුණු සඳහා ශ්‍රි ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම අත්හිටුවීම

3.  දැනටමත් සංක්‍රමණික දීමනාවට (Migration Allowance) හිමිකම් පා ඇති විගාමිකයන් විසින් ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම් (Capital Transaction Rupee Accounts) හරහා සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් විදේශ රටකට යැවීම අත්හිටුවීම

4.  සංක්‍රමණික දීමනාව සඳහා පළමුවරට හිමිකම් පාන විගාමිකයන් විසින් සුදුසුකම් ලබන සංක්‍රමණික දීමනාව ඇ.එ.ජ. ඩොලර් 30,000 ක උපරිමය දක්වා සීමා කිරීම.

5.  පොදු අවසරයෙහි නිශ්චිතව දක්වා ඇති සීමාවන් ඉක්මවා යන ආයෝජන සඳහා, එක් එක් ආයෝජනය මත පදනම්ව විශේෂ අවසර ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සතුව පවතින අධිකාරිය, ඉහත 1(අ) සහ 1(ආ) වගන්තිවල සඳහන් නිර්ණායකවලට යටත් වන ආයෝජන සඳහා පමණක් සීමා කිරීම.

ඉහත සඳහන් සීමා කිරීම් හඳුනාගත් ප්‍රාග්ධන ගනුදෙනු සඳහා පමණක් අදාළ වන අතර, දැනටමත් අවසර ලබා දී ඇති ජංගම ගනුදෙනු සඳහා අදාළ නොවේ.

2020.04.02 දිනැති අංක 2169/3 දරන රජයේ (අති විශේෂ) ගැසට් නිවේදනයේ පළ කර ඇති ඉහත සඳහන් නියෝගයට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ (www.dfe.lk) “බාගත කිරීම්” යටතේ ප්‍රවේශ විය හැකි ය.

Published Date: 

Thursday, April 9, 2020