Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2019 අංක 1

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 පෙබරවාරි මස 21 වැනි දින පැවති රැස්වීමේ දී වාණිජ බැංකු වෙතැති සියලු ම රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, 2019 මාර්තු මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සියයට 5.00 දක්වා ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කළේය. තව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළ අතර, ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී. මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය උපරිම වර්ධන මට්ටමට ළඟා වීම සඳහා සහාය වීමේ පුළුල් අරමුණ ඇති ව, දේශීය ආර්ථිකයේ සහ දේශීය මූල්‍ය වෙළඳපොළ තුළ මෙන් ම ගෝලීය ආර්ථිකයේ දැනට පවත්නා සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ව  මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබී ය. 

2019 ජනවාරි මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ පැවති සියයට 0.4 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.2 දක්වා ඉහළ ගියේ ය. 2019 ජනවාරි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයේ දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතු විය. ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 4.7 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය. කෙසේ වුව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට -4.5 හි සිට 2019 ජනවාරි මාසයේ දී සියයට -4.8 දක්වා තවදුරටත් පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෙෘ්ගික මිල දර්ශකයේ වෙනස, 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.1 සිට 2019 ජනවාරි මාසයේ දී සියයට 1.8 දක්වා පහළ ගියේ ය.

LankaCNews වෙබ් අඩවියේ පළ වූ ලිපියට මහ බැංකු අධිපති තුමාගෙන් පිළිතුරක්

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මැතිතුමා විසින් මා වෙත යොමු කරනු ලැබ ඇතැ යි සඳහන් කර LankaCNews වෙබ් අඩවියේ 2019.02.17 දින ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ ගනුුදෙනු පිළිබඳ ව පළ කරනු ලැබූ ලිපිය කෙරෙහි මාගේ අවධානය යොමු කොට ඒ සම්බන්ධයෙන් පහත කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරන අතර එම ලිපිය මෙතෙක් මා වෙත ලැබී නැති බව ද මෙයින් දන්වා සිටිමි.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 ජනවාරි

නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වීම සඳහා 2018 දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව 2019 ජනවාරි මාසයේ දී  නිමි ඇඳුම් නිෂ්පාදන අංශය තුළ රැකියා නියුක්තියේ සහ නිෂ්පාදනයේ දක්නට ලැබුණු වර්ධනය හේතු විය. පැවති රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සිදු කරන ලද නව බඳවා ගැනීම් හේතුවෙන් රැකියා නියුක්තියේ මෙම සැලකිය යුතු වර්ධනය දක්නට ලැබුණි. රැකියා නියුක්තියේ වර්ධනය මෙන් ම පෙර මාසයෙන් ඉදිරියට ගෙනා ඇණවුම් හේතුවෙන් නිෂ්පාදනයේ ද වැඩි වීමක් ඇති විය.

ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම

ඉහත කරුණ සම්බන්ධයෙන් 2019 පෙබරවාරි 13 වැනි දින ඉංග්‍රීසි දිනපතා පුවත්පතක පළ වූ ලිපිය හා බැ‍ඳේ. 

ඉහත සඳහන් ලිපියේ දෝෂ සහිත සහ ‍නො මග යවන සුලු කරුණු කිහිපයක් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පහත පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමු.

ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුදල් සමාගමක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර වර්තමානය වන විට ඉතා ඉක්මනින් විසඳිය යුතු උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් බවට පත් ව ඇත. ආයතනය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුව ද එම ප්‍රයත්න තවමත් ප්‍රමාණාත්මක වශයෙන් සාර්ථක වී නොමැත. ආයතනය වර්තමාන තත්ත්වය යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ දීම තුළින් ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ යහපත තවදුරටත් අවම වනු ඇත.

Pages