ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය - එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරයි

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොල වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ("ශ්‍රී ලංකාව") වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 5 ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක හා වසර 10ක (දිගු) පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර (බැඳුම්කර) දෙකක්, පිළිවෙළින් 2024 මාර්තු 28 සහ 2030 මාර්තු 28 යන කල් පිරීම් දින සහිතව 2019 ජුනි 24 වන දින නිකුත් කරන ලදී. මෙම බැඳුම්කර සඳහා මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (Moody’s Investor Service), ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor’s) සහ ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) යන ආයතන මගින් පිළිවෙළින් ‘B2’, ‘B’ සහ ‘B’ යන ශ්‍රේණිගත කිරීම් ලබා දෙන ලදී.

මෙය 2007 වසරේ සිට ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාව සිදු කළ දහහතර වන එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර නිකුතුව වන අතර, මෙම වසර තුළ සිදු කළ දෙවැනි නිකුතුව සනිටුහන් කරයි. වසර 10ක (දිගු) බැඳුම්කර නිකුතුව, මෙතෙක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොල තුළ සිදු කළ දීර්ඝතම කල් පිරීමක් සහිත නිකුතුව වන අතර, එමඟින් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලැබෙන ජාත්‍යන්තර ආයෝජක සහයෝගය සහ රටේ ආර්ථික මූලධර්ම හා දිගුකාලීන වර්ධන අපේක්ෂාවන් කෙරෙහි ඔවුන් තුළ පවතින විශ්වාසය ප්‍රබල ලෙස පෙන්නුම් කරයි. එමෙන්ම වසර 10ක (දිගු) බැඳුම්කර නිකුතුව, ශ්‍රී ලංකාවේ අනාගත ණය සේවාකරණ වගකීම් සහ ණය කළමනාකරණ උපාය මාර්ග සමඟ අනුකූල වන පරිදි නිසි ලෙස අර්ථ දක්වා ඇත. මෙම සාර්ථක ගනුදෙනුවෙහි ඒකාබද්ධ නියමු කළමනාකරුවන් සහ පොත් පවත්වාගන්නනන් (Bookrunners) වූයේ බී ඕ සී ඉන්ටර්නැෂනල් (BOC International), සිටිගෘප් (Citigroup), ඩොයිෂ් බෑන්ක් (Deutsche Bank), එච් එස් බි සී (HSBC), ජේ. පී. මෝර්ගන් (J.P. Morgan), එස් එම් බි සී නිකෝ (SMBC Nikko) සහ ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව (Standard Chartered Bank) යන ආයතනයන්ය.

හිතකර වෙළඳපොල පරිසරයක වාසි සහගත තත්වයන් ප්‍රයෝජනයට ගනිමින්, 2019 ජුනි 24 වන දින ආසියානු කලාපයේ උදය කාලයේදී ශ්‍රී ලංකාව විසින් බැඳුම්කර නිකුතුව නිවේදනය කරන ලදී. ඒකාබද්ධ හවුල්කාරීත්වය විසින් මෙම නව, වසර 5ක සහ වසර 10ක (දිගු) පරිණත කාල සහිත ණය කාණ්ඩ සඳහා පිළිවෙළින් 6.60%ක් සහ 7.80%ක් ලෙස කොන්දේසි සහ මූලික මිල මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. අනතුරුව, පුළුල් පරාසයක පැතිරුණු, ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ආයෝජකයන්ගේ දැඩි උනන්දුව හේතු කොට වසර 5ක පරිණත කාලය සඳහා 6.40%ක් දක්වාත් (+/- පදනම් අංක 5) සහ වසර 10ක (දිගු) පරිණත කාලය සඳහා 7.60%ක් දක්වාත් (+/- පදනම් අංක 5) මිල මාර්ගෝපදේශන දැඩි කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.

අවසානයේදී, වසර 5 සහ වසර 10 (දිගු) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙක සඳහාම බැඳුම්කර මිලකරණය නිව්යෝර්ක් වෙළඳපොල සක්‍රීය කාල පරාසය තුළදී පිළිවෙළින් 6.35%ක සහ 7.55%ක ඵලදා අනුපාත සහිතව මූලික මිල මාර්ගෝපදේශයට වඩා පදනම් අංක 25කට වඩා අඩු අගයකින් සිදු කරන ලදී.

අවසාන ඇණවුම් පොතෙහි වසර 5හි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගිණුම් 165කට අධික ප්‍රමාණයක් තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.8 කට අධිකව ද, වසර 10හි (දිගු) ණය කාණ්ඩය සඳහා ගිණුම් 290කට වඩා වැඩි ප්‍රමාණයක් තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4කට අධිකව ද, එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2ක (තුන් ගුණය ඉක්මවූ) මුළු ඇණවුම් දායකත්වයක් ලැබී තිබුණි. මෙමගින් පැහැදිලිව පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව සහ එහි ආර්ථික දැක්ම කෙරෙහි ආයෝජකයන් තුළ ඇති අඛණ්ඩ විශ්වාසය සහ ධනාත්මක දැක්ම යි.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා වූ ඇණවුම් පොත ඉතා හොඳින් විවිධාංගීකරණය වී ඇත. පස් අවුරුදු කාණ්ඩයෙන් 30%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන් ද, 50%ක් යුරෝපා, මැද පෙරදිග හා අප්‍රිකානු ආයෝජකයන්ගෙන් ද, ඉතිරි 20% ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ. ආයෝජක වර්ගය අනුව 80%ක් අරමුදල් කළමනාකරුවන්ට ද, 9%ක් රක්ෂණ, විශ්‍රාම අරමුදල් හා සංස්ථාවලට ද, 8%ක් බැංකු භාණ්ඩාගාරවලට ද, 3%ක් පෞද්ගලික බැංකුවලට සහ අනෙකුත් ආයෝජකයන්ට ද බෙදී ගොස් ඇත. දස අවුරුදු කාණ්ඩයෙන් 44%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන් ද, 40%ක් යුරෝපා, මැද පෙරදිග හා අප්‍රිකානු ආයෝජකයන්ගෙන් ද, ඉතිරි 16% ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ. මෙය ආයෝජක වර්ගය අනුව බෙදා වෙන් කිරීමේදී 87%ක් අරමුදල් කළමනාකරුවන්ට ද, 6%ක් රක්ෂණ, විශ්‍රාම අරමුදල් හා සංස්ථාවලට ද, 5%ක් බැංකු භාණ්ඩාගාරවලට ද, 2%ක් පෞද්ගලික බැංකු වලට සහ අනෙකුත් ආයෝජකයන්ට ද බෙදී ගොස් ඇත.

සටහන:

මෙම පුවත්පත් නිවේදනය එක්සත් ජනපදය තුළ සුරැකුම්පත් විකිණීම සඳහා ඉදිරිපත් කිරීමක් නොවේ. මෙහි දක්වා ඇති සුරැකුම්පත් 1933 එක්සත් ජනපද සුරැකුම්පත් පනත, සංශෝධිත ("සුරැකුම්පත් පනත") යටතේ ලියාපදිංචිය ලබා නැති අතර, ඉදිරියේදී ලියාපදිංචි නොකරනු ඇත. තව ද, එක්සත් ජනපදයේ කිසිදු සුරැකුම්පත් නීතියකට හෝ එක්සත් ජනපදයේ ලියාපදිංචි නොමැතිව ඉදිරිපත් කිරීමට හෝ විකිණීම කළ නොහැකි අතර, අදාළ නිදහස් කිරීම්වලින් හෝ සුරැකුම්පත් පනත යටතේ ලියාපදිංචි වීම අවශ්‍ය නොවන සහ එක්සත් ජනපදයේ අදාළ සුරැකුම්පත් නීතිවලට යටත් නොවන ගනුදෙනු වේ. එක්සත් ජනපදය තුළ සුරැකුම්පත් ප්‍රසිද්ධ නිකුතුවක් සිදු කරනුයේ නිකුත් කරන්නාගෙන් ලබා ගන්නා සහ නිකුත් කරන්නා පිළිබඳව සවිස්තර තොරතුරු අඩංගු ප්‍රකාශ පත්‍රිකාවක් මගිනි. මෙම පුවත්පත් නිවේදනයේ කිසිවක් සුරැකුම්පත් විකිණීමට හෝ මිලදී ගැනීමට කරනු ලබන ඉදිරිපත් කිරීමක් නොවන අතර, එවැනි ඉදිරිපත් කිරීමක් හෝ විකිණීමක් ඕනෑම අධිකරණයක නීති විරෝධී ලෙස සැලකේ. ශ්‍රේණිගත කිරීම, සුරැකුම්පත් මිලදී ගැනීම, විකිණීම හෝ තබා ගැනීම නිර්දේශ කිරීමක් නොවන අතර, ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ඕනෑම අවස්ථාවක, අඩු කිරීම හෝ ආපසු ගැනීමේ හෝ අත්හිටුවීමේ කටයුතුවලට යටත් විය හැක.

Published Date: 

Tuesday, June 25, 2019