ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 164.1 ක හයවන වාරිකය මුදා හැරීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජා.මූ. අරමුදලෙහි) විධායක කමිටුව විසින් විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 118.5 ක (දළ වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 164.1) හයවැනි වාරිකය මුදා හැරීම අනුමත කරන ලදී. විධායක කමිටුව විසින් මෙම පහසුකම 2020 වසරේ ජුනි මාසය දක්වා වසරකින් දීර්ඝ කරන ලද අතර ඉතිරි වාරික මුදා හැරීම් ඊ‍ට අනුකූලව සිදු කිරීමට නියමිතය.

පසුබෑම් ගණනාවක් හමුවේ වුව ද, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ නැවත පණ ගන්වමින් වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතිකයක් සමඟ විචක්ෂණශීලි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගනිමින්, වඩාත් හොඳින් ඉලක්ක ගත වූ 2019 වසරේ අයවැය හරහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ඉදිරියට ගෙන යෑම සහ විදේශ සංචිත ගොඩනංවා ගැනීම තුළින් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන පෙර පරිදි සාර්ථකව ක්‍රියාවට නැංවීමේදී බලධාරීන් විසින් අත්කරගත් ප්‍රගතිය ජා.මූ. අරමුදලෙහි ඇගයීමට ලක් විය. රාජ්‍ය ව්‍යවසායන්හි යහපාලනය ශක්තිමත් කිරීම, නම්‍යශීලි උද්ධමන ඉලක්කකරණ රාමුවක් කරා යොමු වීම සඳහා මුදල් නීති පනත සංශෝධනය කිරීම සහ මූල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය අනුගත කිරීම, සාර්ව විචක්ෂණශීලි ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම හා අර්බුදවලට මුහුණදීම පිණිස වූ යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම තුළින් මූල්‍ය අංශයෙහි ස්ථාවරත්වය ශක්තිමත් කිරීම යනාදිය සඳහා වූ මෑතකාලීන ප්‍රයත්නයන් ද සමඟ ශක්තිමත් සහ සාර්ව සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයකට සහාය වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ජා. මූ. අරමුදල අවධාරණය කර සිටියි.

නවතම වාරිකය මුදාහැරීමත් සමඟ මෙම පහසුකම යටතේ මේ දක්වා සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය වි.ගැ.හි. මිලියන 833.73 ක් (දළ වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 1,155 ක් පමණ) වේ. බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව වර්ධනය කර ගැනීමට මෙන්ම අභියෝගාත්මක ගෝලීය හා දේශීය පරිසරය තුළ වෙළඳපොළ කෙරෙහි විශ්වාසය ඉහළ නංවා ගැනීමට සහාය වීම මෙම විස්තීර්ණ ණය පහසුකම මගින් අපේක්ෂා කරයි.

Published Date: 

Tuesday, May 14, 2019