මුදල් මණ්ඩලය විසින් 2016 ඔක්තෝබර් 14 වැනි දින පවත්වන ලද විශේෂ මුදල් මණ්ඩල රැස්වීමේ දී 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සහ 2016 අගෝස්තු 31 දිනෙන් අවසන් මාස පහ තුළ ප්‍රාථමික වෙළෙඳුන්ගේ මූල්‍ය කාර්යසාධනය ඇතුළු සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳ ව වූ අතුරු වාර්තාව සැලකිල්ලට භාජනය කරන ලදි. එම වාර්තාව මගින් ප්‍රාථමික වෙළෙඳුන්ගේ ක්‍රියාකාරිත්වයේ තියුණු විෂමතා මෙන් ම භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ ගනුදෙනු රටාවේ පවතින යම් යම් ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළේ ය. ඒ අනුව මුදල් මණ්ඩලය විසින් දැනට කරමින් පවතින පරීක්ෂණ වාර්තා ක්‍රියාවලිය කඩිනමින් නිම කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙය මුදල් මණ්ඩලය ඉදිරියේ දී ගත යුතු ක්‍රියා මාර්ග කඩිනමින් නිර්ණය කිරීමට ඉවහල් වනු ඇත.















2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 සැප්තැම්බර් 27 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් එම් එන් රණසිංහ සහ ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි.