ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා සංචාරය නිමා වේ

රටක සංචාරය අවසන් කිරීමෙන් පසු දූත මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ මූලික නිරීක්ෂණයන් ඇතුළත් වේ. මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එ මඟින් අවශ්‍යයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය පිළිබිඹු නො කෙරෙයි. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් වාර්තාවක් පිළියෙළ කරන අතර එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙයි.

ජේවූ ලී (Jaewoo Lee) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් 2017 වසරේ පෙබරවාරි මස 21 වැනි දින සිට මාර්තු මස 07 වැනි දින දක්වා කාලය තුළ දී, අවුරුදු තුනක කාල පරාසයක් පුරා දිවෙන විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කර ගෙන යනු ලබන ආර්ථික වැඩසටහනෙහි දෙවන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොළඹට පැමිණියේ ය. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ රාජ්‍ය මූල්‍ය තිරසාර මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා සහ සමාජීය හා සංවර්ධන වැඩසටහන සඳහා අවකාශය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ බලධාරීන්ගේ සුබවාදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය දැක්වීමයි. මෙම සංචාරය අවසානයේ දී ලී මහතා විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදි.  

“දූත මණ්ඩලය දෙවන ආර්ථික කාර්යසාධන සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳ ව රජය සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කළේ ය. අප්‍රේල් මාසයේ දී වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත සෘතුවේ රැස්වීම්වලට සමගාමී ව මේ පිළිබඳ ව තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත. 

“සමස්තයක් ලෙස 2016 වසරේ දෙවන භාගයේ දී සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය, ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආර්ථික වර්ධනය හා නියඟයේ බලපෑම සහ එකතු කළ අගය මත බදු වැඩි කිරීම හේතුවෙන් ඉහළ නැගුණු උද්ධමනය සමඟ මිශ්‍ර ව පැවැතුණි. ජංගම ගිණුම ස්ථාවර ව පැවතිය ද, ප්‍රාග්ධන ගලා යෑම් යළි ආරම්භ වීම හේතුවෙන් මූල්‍ය ගිණුම දුර්වල විය. නියං තත්ත්වය දීර්ඝ කාලීන ව පැවතිය හොත්  ආහාර සහ බොරතෙල් ආනයන ඉහළ යෑමට හැකි අතර එය ආර්ථික වර්ධනය, උද්ධමනය සහ ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කළ හැකි ය. 

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇති ව ක්‍රියාත්මක කර ගෙන යනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවා දෙසැම්බර් මාසය අවසන් වන විට සැපිරිය යුතු සියලු රාජ්‍ය මූල්‍ය කාර්ය සාධන ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් දැරූ ඉහළ දායකත්වය දූත මණ්ඩලයේ පැසසුමට ලක් වේ. ආදායම් එකතු කිරීම ඉහළ නැංවීමට සහ ආදායම් පරිපාලනය ස්වයංක්‍රීය ව මෙහෙයවීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ඉහළ ප්‍රගතියක් අත් කර ගෙන ඇත. එ නමුත්, ශුද්ධ විදේශීය සංචිත මට්ටම විස්තීර්ණ ණය පහසුකම යටතේ වූ ඉලක්කයට වඩා අඩු මට්ටමක පැවැති අතර සමහර ප්‍රතිසංස්කරණ අපේක්ෂිත කාල වකවානුවල දී සිදු නො වීම හේතුවෙන් ව්‍යුවහාත්මක කඩඉම් ක්‍රියාත්මක කිරීමේ දී යම් පසුබෑමක් පවතියි. ඒ අනුව, විදේශීය අංශයේ අවිනිශ්චිතතා හමුවේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග පිළිබඳ දූත මණ්ඩලය හා බලධාරීන් සාකච්ඡා පවත්වන ලදී. 

“රජය විසින්, ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව අඛණ්ඩ ව පවත්වා ගැනීම තුළින් සමාජීය හා සංවර්ධන අරමුණු අත් කර ගැනීම සඳහා දායක විය හැකි වන පරිදි සම්පත් සපයා ගැනීම සහ රාජ්‍ය ණය තිරසාර මට්ටමක පවත්වා ගැනීම වැදගත් වේ. විශේෂයෙන් ම නව දේශීය ආදායම් පනත සඳහා වන නීති සම්පාදන ක්‍රියාමාර්ග ඵලදායී මහජන මත විමසුමක් මත සිදු කිරීම, පවත්නා බදු ක්‍රමය වඩාත් නිවැරදි ලෙස පුරෝකථනය කළ හැකි කාර්යක්ෂම හා සාධාරණ ව්‍යුහයක් බවට පත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් වේ. 

“උද්ධමන පීඩන පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුව සුපරීක්ෂාකාරී ව අධීක්ෂණය කර උද්ධමනය හෝ ණය වර්ධනය පහළ යෑමක් සිදු නො වන්නේ නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස දිරිමත් කරයි. විදේශීය අංශය වෙත පීඩනය ඉහළ යෑමත් සමඟ විදේශීය සංචිත යළි වර්ධනය කිරීම සඳහා සහ විදේශ විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලිත්වය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට දිරිමත් කෙරේ. එහි දී නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳ ව දූත පිරිස සහ බලධාරීන් සාකච්ඡා පවත්වන ලදී. 

“පසු ගිය කාලය තුළ ලද තාක්ෂණික සහාය ද පදනම් කර ගනිමින් රජය විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්හි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම වඩාත් කඩිනම් කිරීමට දූත මණ්ඩලය විසින් දිරිමත් කෙරෙයි. තව ද, රජය සතු විශාල වාණිජ ව්‍යවසායයන්හි සංස්ථාපිත අභිප්‍රායයන් පිළිබඳ ප්‍රකාශන අවසන් කොට ප්‍රකාශයට පත් කිරීම මෙම ආයතනයන් විනිවිදභාවය සහ වගකීම ඉහළ නැංවීමට අවශ්‍ය පළමු පියවර වනු ඇත. ඊට අමතර ව, ව්‍යාපාරික වාතාවරණය සහ තරගකාරිත්වය ඉහළ නැංවීමට සංවර්ධන හවුල්කරුවන්ගේ ආධාර සමඟ දැනට සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණයන් සඳහා දූත මණ්ඩලය සිය අනුබලය දක්වයි.”

දූත පිරිස මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය කරුණානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි යන මහත්වරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවේ සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිතයන් ද හමු විය. 

 

Published Date: 

Tuesday, March 7, 2017