ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 පෙබරවාරි

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 පෙබරවාරි මාසයේ දී 57.1ක දර්ශක අගයක් වාර්තා කරමින් 2017 ජනවාරි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 0.9කින් ඉහළ යන ලදී. මෙම ඉහළ යෑම තුළින් පෙබරවාරි මාසයේ දී ද නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනය පිළිබිඹු වන අතර මේ සඳහා එළඹෙන උත්සව සමය සඳහා ඇති නව ඇණවුම්වල ඉහළ යෑම පෙන්නුම් කරමින් නව ඇණවුම් උප දර්ශකය සැලකිය යුතු ලෙස වර්ධනය වීම ප්‍රධාන වශයෙන් හේතු විය. රැස් කර ගත් තොග භාවිතා කිරීම මෙන් ම ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ යෑම මඟින් ද පිළිබිඹු වන පරිදි භාණ්ඩ තොග ලැබීම පමා වීම හේතුවෙන් ද ගැනුම් තොග උප දර්ශකය පෙබරවාරි මාසයේ දී පහත වැටුණි. මේ අතර, සේවා නියුක්ති උප දර්ශකය පසු ගිය මාසයට සාපේක්ෂ ව ඉහළ ගිය අතර නිෂ්පාදන උප දර්ශකය නො වෙනස් ව පැවතුණි. පෙබරවාරි මාසයේ වැඩ කරන දින ගණන සාපේක්ෂ ව අඩු වූ බැවින් ඉහළ ගිය නව ඇණවුම් ප්‍රමාණයට අනුරූප ව නිෂ්පාදනය වැඩි කිරීම කෙරෙහි බලපෑමක් ඇති කළ බව අනාවරණය විය.  මෙහි දී සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරන ලදී. 

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ජනවාරි මාසයේ දී වාර්තා වූ 57.5ක දර්ශක අගයක සිට පෙබරවාරි මාසයේ දී 57.3ක දර්ශක අගයක් දක්වා පහළ යන ලදී. පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සිදු වූ මෙම සුළු පහළ යෑමෙන් 2017 පෙබරවාරි මාසයේ දී සේවා අංශයෙහි ආර්ථික ක්‍රියාකාරකම් පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි. ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය වීම සහ නිම කිරීමට ඇති කාර්යයන් උප දර්ශකයෙහි සිදු වූ පහළ යෑම සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි සිදු වූ මෙම පහළ යෑමට හේතු විය. 2017 ජනවාරි මාසය හා සැසඳීමේ දී පෙබරවාරි මාසයේ දී නව ව්‍යාපාර, සේවා නියුක්ති සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් උප දර්ශකය වර්ධනය විය. අය කරන මිල ගණන් (ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ගණනය කිරීමේ දී සලකා නො බලන) 2017 පෙබරවාරි මාසයේ දී පසුගිය මාසයට සාපේක්ෂ ව පහළ යන ලදී. ශ්‍රම පිරිවැය පිළිබඳ අපේක්ෂා මඟින් මනිනු ලබන ඉදිරි ශ්‍රම පිරිවැය 2017 පෙබරවාරි  මාසයේ දී ඉහළ යන ලදී. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, March 15, 2017