විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2026 අප්‍රේල්

2026 වසරේ අප්‍රේල් මාසයේදී ද විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය තුළින් මැදපෙරදිග යුද්ධයේ බලපෑම පිළිබිඹු විය. 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ වාර්තා වූ අතිරික්තයට සාපේක්ෂව, 2026 වසරේ අප්‍රේල් මාසයේ දී විදේශීය ජංගම ගිණුම හිඟයක් වාර්තා විය. පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම හමුවේ වුව ද, වෙළඳ හිඟය පුළුල් වීම, සේවා ගිණුමේ අතිරික්තය අඩු වීම සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය ඉහළ යෑම මේ සඳහා මූලිකව ම හේතු විය. ඒ අනුව, 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළ දී ජංගම ගිණුම සුළු හිඟයක් වාර්තා කළේය. 

අපනයනවලට සාපේක්ෂව ආනයනවල ඉහළ වර්ධනයක් පිළිබිඹු කරමින් 2026 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය. තවද, 2026 වසරේ ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ හිඟය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එ. ජ. ඩොලර් බිලියන 2.3ට සාපේක්ෂව එ. ජ. ඩොලර් බිලියන 3.7ක් දක්වා පුළුල් විය.

මැද පෙරදිග පවතින ගැටුම් මධ්‍යයේ ගෝලීය වෙළෙඳපොළ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉහළ ආනයන පරිමා හේතුවෙන් ඉන්ධන ආනයන වියදම 2026 වසරේ අප්‍රේල් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 149.9%කින් එ.ජ. ඩොලර් මිලියන 886ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.  

පෞද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයන වියදම 2026 වසරේ අප්‍රේල් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 208ක් වූ අතර, එමගින්, 2026 වසරේ ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී මුළු වාහන ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 821ක් දක්වා ඉහළ ගියේය.

අපනයන මිල ගණන් ඉහළ යෑම ඉක්මවා ආනයන මිල ගණන් ඉහළ ගිය බැවින්, 2026 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළඳ මිල අනුපාතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. මේ අතර, 2026 වසරේ ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී වෙළඳ මිල අනුපාතය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පහළ ගියේය.

2026 වසරේ අප්‍රේල් මාසයේ දී සේවා ගිණුමේ අතිරික්තය එ.ජ. ඩොලර් මිලියන 229ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 37.8%කින් පහළ ගිය අතර, සංචාරක ඉපැයීම්වල සිදු වූ අඩු වීම මේ සඳහා මූලිකවම හේතු විය. 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළ දී වූ සමුච්ඡිත අතිරික්තය ද 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 24.3%කින් අඩු විය. 

මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයේ බලපෑම හේතුවෙන් 2026 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 22.3%ක පහළ යෑමක් වාර්තා කරමින්, පැමිණීම් 135,643ක් දක්වා අඛණ්ඩව දෙවන මාසයටත් අඩු විය. 2026 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක ඉපැයීම්  වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 38.8%ක අඩු වීමක් නිරූපණය කරමින්  එ.ජ. ඩොලර් මිලියන 157ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2026 වසරේ පළමු මාස හතර තුළ දී සමුච්චිත ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 1,111ක් දක්වා 19.4%කින් පහළ ගියේය. 

මෑත මාසවල දී දක්නට ලැබුණු ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, 2026 වසරේ අප්‍රේල් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ  එ.ජ. ඩොලර් මිලියන 768ක් විය. වසරේ පළමු මාස හතර තුළ දී සමුච්චිත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 3,063ක් දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 24.5%කින් වර්ධනය විය.

2026 වසරේ අප්‍රේල් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 2ක සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, ප්‍රාථමික හා ද්විතීයික වෙළඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 16ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය ණය සේවාකරණ ගෙවීම් සහ මහ බැංකුව විසින් සිදු කළ විදේශ විනිමය ශුද්ධ විකිණීම් මධ්‍යයේ, 2026 වසරේ අප්‍රේල් මස අග වන විට, චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.8ක් විය. 

2026 වසරේ පෙබරවාරි මස අග භාගයේ දී මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වීමේ බලපෑමෙන් පසුව විදේශීය අංශයේ ඇති වූ පීඩනය ඉහළ යෑම පිළිබිඹු කරමින්, 2026 වසරේ මැයි මස අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව 5.4%කින් අවප්‍රමාණය විය. මෙම අවප්‍රමාණය වීම, කලාපීය රටවල මුදල් ඒකකයන්හි දක්නට ලැබුණු අවප්‍රමාණය වීම්වලට සමගාමී විය.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් 2026 වසරේ මැයි මස 27වන දින ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 508ක (එ.ජ.ඩොලර් මිලියන 695ක පමණ) මූල්‍යන පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ක්ෂ්ණික ප්‍රවේශයක් ලබා දෙන ලදී..

PDF

Published Date: 

Friday, May 29, 2026