භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන පැහැදිලි කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් 1937 අංක 07 දරන සංශෝධිත ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතෙහි 4 වැනි වගන්තියට අදාළ ව අනුගමනය ක ඇති ක්‍රියාවලිය සම්බන්ධයෙන් පහත සඳහන් පැහැදිලි කිරීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ. 

1.ලියාපදිංචි ස්කන්ධ. රජයේ පොරොන්දු නෝට්ටු, ධාරක බැඳුම්කර සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ අරමුණින් ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත සම්මත කරන ලදී. 

2.ශ්‍රී ලංකා රජය වෙනුවෙන්  වෙන්දේසි ක්‍රමය මත පදනම් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම 1997 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. භාණ්ඩාගාර බැඳුම්කර, ප්‍රාථමික අලෙවිකරුවන් හරහා වෙන්දේසියේ නිකුත් කිරීම ආරම්භ වීමත් සමඟ භාණ්ඩාගාර බැඳුම්කරවල මිල සහ ප්‍රමාණය වෙළෙඳපොළ බලපෑම් හරහා තීරණය ‍කෙරිණි. එම නිසා අදාළ ගැසට් නිවේදනයන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලින් පසු ව ඉදිරිපත් වුව ද දිනය සහ ගැසට් නිවේදන අංකය කලින් වෙන් කර ගන්නා ලද ඒවා විය. ශ්‍රී ලංකා මහ බැංකුව පවත්නා නීතිමය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා පහත සඳහන් පියවරයන් ගන්නා ලදී.

   (අ) එක් එක් මූලය වර්ෂයක් සඳහා වූ විසර්ජන පනත යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් අනුමත කරන ලද සීමාව තුළ යම් වර්ෂයක දී සිදු කරන ලද මුළු ණය ගැනීම් ප්‍රමාණය පවත්වා ගෙන යන ලදී.

   (ආ) මුදල් අමාත්‍යාංශය මගින් සපයනු ලබන තොරතුරු මත පදනම් ව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හරහා රැස් කර ගත යුතු මුදල, පොලී අනුපාතය, වෙන්දේසි දිනය, පියවිය යුතු දිනය සහ කල් පිරීම් ඇතුළු සියලු ම තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව භාෂා තුනෙන් ම ජාතික පුවත්පත්වල සහ එහි වෙබ් අඩවියෙහි ප්‍රකාශයට පත් කරනු ලබයි.

   (ඇ) එක් එක් වෙන්දේසිය අවසාන වූ වහා ම එම වෙන්දේසියට අදාළ ප්‍රතිඵල ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා පොදු මහජනතාවගේ දැන ගැනීම පිණිස බෙදා හැරේ.

3.නව භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩයක් නිකුත් කිරීමට අමතර ව, ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පවතින කාණ්ඩයන් නැවත විවෘත කිරීමක් ද සිදු කරන අතර ඒවා පිළිගත් ජාත්‍යන්තර ණය කළමනාකරණ පරිචයන්ට අනුකූල ව කල් පිරීමට ඉතිරි ව ඇති කාල සීමාව මත පදනම් ව නිකුත් කෙරේ. එම නිසා, සලකා බලන මූල්‍ය වර්ෂය තුළ අලුතින් නිකුත් කරන ලද මෙන් ම නැවත විවෘත කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ තොරතුරු කිසියම් වර්ෂයකට අදාළ ගැසට් නිවේදනයෙහි අන්තර්ගත වේ. ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතේ නම් කරන ලද නීතිමය අවශ්‍යතාවනට අනුකූල ව කටයුතු කර ඇති බව තහවුරු කර සිටී.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පූර්ණ නෛතික අධිකාරීත්වයකින් සහ බලාත්මක බවකින් යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු මහජනතාව වෙත සහතික වේ. 

මීට අමතර ව, ශ්‍රී ලංකා මහ බැංකුව ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතට අදාළ යෝග්‍ය සංශෝධන කිරීමට ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශයන් සිදු කරනු ඇත.

 

Published Date: 

Thursday, March 2, 2017