2017 පෙබරවාරි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජනවාරි මාසයේ දී වාර්තා ක‍ළ සියයට 6.5 හි සිට 2017 පෙබරවාරි මාසයේ දී සියයට 8.2 දක්වා ඉහළ ගියේ ය. 2017 පෙබරවාරි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 2017 පෙබරවාරි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ සැලකිය යුතු ඉහළ යෑමට 2016 පෙබරවාරි මාසයේ දී පැවැති අඩු පදනම් අගය ප්‍රමුඛතම සාධකය වූ අතර මාසික මිල ගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම ද හේතු විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.6 හි සිට 2017 පෙබරවාරි මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය.

මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 ජනවාරි මාසයේ වාර්තා වූ දර්ශක අංක 119.3 සිට 2017 පෙබරවාරි මාසයේ දී දර්ශක අංක 119.9 දක්වා ඉහ‍ළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් ඉහළ යෑම මෙම මාසික ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ පොල්, එළවළු වර්ග, පොල්තෙල්, අමු මිරිස් සහ මාළු මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේ ය. ආහාර නො වන කාණ්ඩය තුළ ප්‍රවාහන; අධ්‍යාපන; නිවාස‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; විවිධ භාණ්ඩ හා සේවා; සහ රෙදිපිළි හා පාවහන් උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ ගියේ ය. ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයෙහි මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගියේ ය. මධ්‍යසාර පාන හා දුම්කොළ; සහ විනෝදාත්මක හා සංස්කෘතික  උපකාණ්ඩයන්හි මිල ගණන් 2017 පෙබරවාරි මාසය තුළ දී පහළ ගිය අතර සෞඛ්‍ය උප කාණ්ඩයෙහි මිල ගණන් සුළු පහළ යෑමක් වාර්තා කළේ ය. මේ අතර සන්නිවේදන උපකාණ්ඩයෙහි මිල ගණන් මාසය තුළ දී නො වෙනස් ව පැවැතුණි.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 7.1 හි නො වෙනස් ව පැවතුණි. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 6.2 සිට 2017 පෙබරවාරි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Tuesday, March 21, 2017