කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 මැයි මාසයේ දී සුළු වශයෙන් ඉහළ ගියේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ දේශීය බලශක්ති මිල ගණන් ඉහළ දැමීමේ බලපෑම පිළිබිඹු කරමින්, 2026 මැයි මාසයේ දී ඉලක්කගත මට්ටමට වඩා සුළු වශයෙන් ඉහළින් පැවතුණි. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 5.4ට සාපේක්ෂව 2026 මැයි මාසයේ දී සියයට 5.5ක් ලෙස වාර්තා විය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 මැයි මාසයේ දී සියයට 7.8ක් දක්වා ඉහළ ගොස් මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා දායකත්වයක් දැක්වීය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 2.8හි සිට 2026 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ ගියේය.

මාසික පදනම මත මනිනු ලබන කො.පා.මි.ද. 2026 මැයි මාසයේ දී සියයට 0.9කින් ඉහළ ගියේය. මෙම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන (එල්.පී. ගෑස්) සහ ප්‍රවාහන (පෙට්‍රල්) උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩය ප්‍රතිශතාංක 0.6කින් දායක වූ අතර, ඒ සඳහා ආහාර කාණ්ඩය ප්‍රතිශතාංක 0.3කින් දායක විය.

මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2026 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 3.8හි සිට 2026 මැයි මාසයේ දී සියයට 3.9ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

මැද‍පෙරදිග ගැටුම්කාරී තත්ත්වයේ නිරන්තර වෙනස්වන ස්වභාවය සහ ගෝලීය මෙන්ම දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි එමගින් ඇතිවන පුළුල් වක්‍ර බලපෑම් මධ්‍යයේ, දේශීය උද්ධමන ඉදිරි දැක්ම සඳහා ඉහළ අවිනිශ්චිතතා පවතී. දැනට පවතින තොරතුරු සහ උපකල්පන මත පදනම්ව, 2026 මැයි මාසයේ මුදල් ප්‍රතිපත්ති වාරයේ දී සිදු කළ උද්ධමන පුරෝකථන මඟින් මතුපිට උද්ධමනය ඉදිරි කාලයේ දී සියයට 5ක ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පෙන්නුම් කෙරෙන අතර, ඉන් අනතුරුව සුදුසු ප්‍රතිපත්තිවල සහාය ඇතිව, මැදි කාලීනව යම් පහළ යෑමක් වාර්තා කරමින් උද්ධමන ඉලක්කය වටා ස්ථායී වනු ඇතැයි පෙන්නුම් කෙරේ.

PDF

Published Date: 

Friday, May 29, 2026