ආහාර සහ ආහාර නො වන කාණ්ඩ දෙකෙහි ම මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා කරන ලද සියයට 4.5 හා සැසඳීමේ දී 2017 ජනවාරි මාසයේ දී සියයට 5.5ක් දක්වා ඉහළ ගියේ ය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය ද 2016 දෙසැම්බර් මාසයේ වාර්තා කරන ලද සියයට 5.8 සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 7.0 ක් දක්වා ඉහළ ගියේ ය. කාල පමාවක් සහිත ව ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම් ව ගණනය කරනු ලබන මතුපිට හා මූලික උද්ධමනයෙහි කිසියම් ඉහළ යෑමක් පෙන්නුම් කරමින් 2016 දෙසැම්බර් මාසයේ දී පිළිවෙළින් සියයට 4.2ක් සහ සියයට 6.7ක් විය. බදු ව්‍යුහයේ සිදු කරන ලද වෙනස්කම් සහ අයහපත් කාලගුණ තත්ත්වයන්හි බලපෑම හේතුවෙන් මෑත කාලයේ දී උද්ධමනයේ කිසියම් ඉහළ යෑමක් සිදු වුව ද, නිසි සැපයුම් සහ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් වසර තුළ දී සාමාන්‍ය උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවතිනු ඇතැ යි පුරෝකතනය කෙරේ.