Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 අගෝස්තු

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට හා මූලික උද්ධමනය 2016 ජූලි මාසයේ දී පහළ ගියේ ය. දේශීය සැපයුම් යථා තත්ත්වයට පත් වීම මෙන් ම ඇතැම් බදු සංශෝධන අත්හිටුවීම පාරිභෝගික මිල උද්ධමනය පහළ යෑමට හේතු විය. කෙ සේ වුවත්, වාර්ෂික සාමාන්‍ය මිල වෙනස් වීම් මගින් පිළිබිඹු වන පරිදි යටිදැරි උද්ධමනයේ ඉහළ යෑමේ ප්‍රවණතාව වසරේ මේ දක්වා ම නො කඩවා පැවැතුණි. 

2016 ජූලි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූනි මාසයේ දී වාර්තා කළ සියයට 6.4 සිට 2016 ජූලි මාසයේ දී සියයට 5.8 දක්වා පහළ ගියේ ය. 2016 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 ජූනි මස වාර්තා වූ සියයට 3.1 සිට 2016 ජූලි මස දී සියයට 3.4 දක්වා ඉහළ ගියේ ය. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 ජූලි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූනි මාසයේ වාර්තා කළ 55.1 සිට 2016 ජූලි මාසයේ දී 50.6ක් දක්වා පහළ ගියේ ය. මෙහි දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සහ උප දර්ශක මැයි මාසයට ස‍ාපේක්ෂ ව ජූනි මාසයේ දැක් වූ සැලකිය යුතු වර්ධනයෙන් පසු ව ජූලි මාසය තුළ දී මෙ ලෙස මන්දගාමී වී ඇත. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන දර්ශකවල පහත වැටීම ප්‍රධාන වශයෙන් හේතු විය. තව ද, සේවා නියුක්ති සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහත වැටුණි. නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා අඩු අගයක් වාර්තා කළ ද නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් සමස්ත දර්ශකය වර්ධනය විය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016

ශ්‍රී ලංකා මහ බැංකුවේ  වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයේ දළ දේශීය නිෂ්පාදිතය, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය බැංකු, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා විදුලි සංදේශ සේවා, ජනගහනය සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් සොයා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ තොරතුරු ද මෙහි ඇතුළත් කර ඇත. තව ද, මූලික ආර්ථික විචල්‍යයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද පළාත් මට්ටමින් මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ. දත්ත විශ්ලේෂණය කරන්නන්ගේ විවිධ අවශ්‍යතාවලට ගැලපෙන අන්දමින් විවිධ අනුඛණ්ඩ යටතේ කාලශ්‍රේණි/හරස් අංශ දත්ත වශයෙන් මෙම ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇත.

2016 මැයි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ හිඟය පුළුල්  වීම, සංචාරක ඉපැයුම් අඛණ්ඩ ව වර්ධනය වීම සහ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වර්ධනය වීම සමඟ 2016 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂ ව ආනයන වියදම සුළු වශයෙන් වර්ධනය වූ අතර තේ, රබර් නිෂ්පාදන සහ රෙදිපිළි සහ ඇඟලුම් අපනයනයන්හි මන්දගාමී ක්‍රියාකාරිත්වය හමුවේ අපනයන ඉපැයුම් අඩු වීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, සමුච්චිත පදනම මත 2016 මැයි මාසය අග වන විට වෙළෙඳ හිඟය ඉහළ යෑමෙන් වූ බලපෑම සංචාරක සේවා මත වූ අඛණ්ඩ ඉපැයීම්, වර්ධනය වූ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ මූල්‍ය ගිණුම වෙත වූ මධ්‍යස්ථ ලැබීම් ප්‍රමාණය සමඟ තරමක් දුරට සමනය විය.

සම්පූර්ණ ලිපිය

පළාත් දළ දේශීය නිෂ්පාදිතය – 2015

 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2010වසර පදනම් වර්ෂය ලෙස සලක‍ා (2010 - ස්ථාවර මිල ගණන් යටතේ) සකස් කර ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2015 වසර සඳහා පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. දළ දේශීය නිෂ්පාදිතය හා සම්බන්ධ එක් එක් අයිතමවල අගයන් පළාත් මට්ටමින් සකස් කර ගත් දර්ශක පදනම් කොට ඒ ඒ පළාත් සඳහා බෙදා හැරීමෙන් පළාත් දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරන ලදි. 

2015 වසරේ දී, ස්ථාවර මිල (මූර්ත අගය) අනුව සියයට 4.8කින් වර්ධනය වූ දළ දේශීය නිෂ්පාදිතය පවත්නා වෙළෙඳපොළ මිල (නාමික අගය) අනුව රුපියල් බිලියන 11,183 දක්වා සියයට 7.0කින් වර්ධනය විය. පවත්නා වෙළෙඳපොළ මිල අනුව ගණනය කළ පළාත් දළ දේශීය නිෂ්පාදිතය සංඛ්‍යා සටහන 1හි දක්වා ඇත. 

සම්පූර්ණ ලිපිය

Pages

නිවේදන