ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2026 සැප්තැම්බර්

2026 සැප්තැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 සැප්තැම්බර් මාසයේ දී 53.0ක දර්ශක අගයක් වාර්තා කළ අතර, එය පෙර මාසයේ අගයට සාපේක්ෂව නොවෙනස්ව පැවතිණි. මේ මඟින් සැප්තැම්බර් මාසය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් පෙර මාසයට සමාන වේගයකින්  වර්ධනය වූ බව පෙන්නුම් කරයි. 

නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වර්ධනය සඳහා, ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ දක්නට ලැබුණු ධනාත්මක ප්‍රවණතා ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, සැප්තැම්බර් මාසයේ දී සේවා නියුක්ති උප දර්ශකය අඩු වේගයකින් වුවද අඛණ්ඩව වර්ධනය විය. කෙසේ වෙතත්, තොග මිලදී ගැනුම් උප දර්ශකය කඩඉම් මට්ටමට පැමිණි අතර, එමඟින් මෙම මාසය තුළ තොග මට්ටම් සමස්තයක් ලෙස නොවෙනස්ව පැවති බව පෙන්නුම් කරයි. තවද, ඇණවුමක් සැපයීම සඳහා සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ ද දීර්ඝව පැවතිණි.

වසර අවසාන උත්සව සමයේ ඉල්ලුම සම්බන්ධයෙන් පවතින ධනාත්මක අපේක්ෂාවන් හේතුවෙන්, ඉදිරි මාස තුන සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා තවදුරටත් ධනාත්මක මට්ටමක පවතියි.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2026 සැප්තැම්බර් මාසයේදී දර්ශක අගය 60.5ක් වාර්තා කළ අතර, එමඟින් පෙර මාසයට සාපේක්ෂව සේවා අංශයේ ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි.

උප අංශ කිහිපයක සිදු වූ වැඩිදියුණු වීම් සමඟ, 2026 සැප්තැම්බර් මාසයේ දී සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා දායක වූ අතර, අධ්‍යාපන හා වෘත්තීය සේවා ද සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.

2026 සැප්තැම්බර් මාසයේ දී නව ව්‍යාපාර වර්ධනය වූ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා ප්‍රසාරණය දායක විය. රක්ෂණ, අධ්‍යාපන, වෘත්තීය සහ අනෙකුත් පෞද්ගලික සේවා යන උප අංශ ද මෙම ඉහළ යෑමට ධනාත්මක දායකත්වයක් ලබා දුන්නේය. 

අංශ කිහිපයක සමාගම්වල මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සහ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා සිදු කළ නව සේවක බඳවාගැනීම් හේතුවෙන් 2026 සැප්තැම්බර් මාසයේදී සේවා නියුක්තිය ඉහළ ගියේය. මේ අතර, නිම කිරීමට ඉතිරිව ඇති කාර්යයන් ප්‍රමාණය පෙර මාසයට සාපේක්ෂව අඩු වේගයකින් පහළ ගියේය.

ඉදිරි මාස තුන තුළ ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් 2026 සැප්තැම්බර් මාසයේ දී තවදුරටත් වර්ධනය වූ අතර, මේ සඳහා හිතකර සාර්ව ආර්ථික තත්ත්වයන්, සංචාරක පැමිණීම් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කිරීම සහ එළඹෙන උත්සව සමය දායක විය. කෙසේ වෙතත්, පුළුල් ගෝලීය අවිනිශ්චිතතා ඉදිරි දැක්ම කෙරෙහි තවදුරටත් අවදානම් ඇති කරයි.

PDF

 

Published Date: 

Thursday, October 15, 2026