සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී වෙත 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රය සහ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කරයි

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී සමාගමේ සිදු ව ඇති විවිධාකාර වංචනික කටයුතු සහ කළමනාකාරණ දුර්වලතා හේතු කොට ගෙන දැඩි මූල්‍ය ගැටලුවලට පසුගිය වසර හතර තුළ මුහුණ දීමට සිදු ව ඇත. සමාගමේ තැන්පත්කරුවන් පසුගිය වසර හතර පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට අපොහොසත් වී ඇති අතර, විවිධ උපක්‍රම හරහා ආයතනය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගත් සියලු ප්‍රයත්න අසාර්ථක විය. වර්තමානයේ පවතින තත්ත්වයෙන් ම මෙම සමාගම අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම තැන්පත්කරුවන්ට සහ අනෙකුත් සම්බන්ධිත පාර්ශ්වයන්ට තවදුරටත් අහිතකර විය හැක. 

මෙම තත්ත්ව සලකා බලා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනය වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2018 මාර්තු 5 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අවලංතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළේ ය. ඒ අනුව, එම දිනයේ සිට බල පැවැත්වෙන පරිදි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනයට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යෑමට අවසරයක් නොමැත. 

තව ද, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ කල්බදු මූල්‍යකරණ ආයතනයක් ලෙස සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනය වෙත නිකුත් කළ ලියාපදිංචි කිරීමේ සහතිකය 2018 මාර්තු 5 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තීරණය කර ඇත. ඒ අනුව, එම දින සිට බල පැවැත්වෙන පරිදි නව කල්බදු මූල්‍යකරණ පහසුකම් ලබා දීම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනයට අවසර නොමැත. 

පවතින නීති හා රෙගුලාසිවලට යටත් ව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය විසින් රක්ෂිත තැන්පත්කරුවන්ට රක්ෂිත වන්දි අරමුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ. එ මෙන් ම, ආයතනය ඈවර කිරීමේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතා අනුපිළිවෙළට යටත් ව තැන්පත්කරුවන්ට තමා වෙත ලැබිය යුතු මුදල් ආපසු ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

ආයතනයේ සියලු ම ණයගැතියන් විසින් ගෙවීමට ඇති ණය මුදල් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනය විසින් දන්වා සිටිනු ලබන ගිණුමක් හරහා ආයතනය වෙත ගෙවා නිම කළ යුතු ය. 

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් අැන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනයේ සිදු ව ඇති වංචනික කටයුතු හා අයුතු කලමනාකරණය සඳහා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහි ව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දන්වා සිටී. 

 

Published Date: 

Monday, March 5, 2018